හිතුන ගමන් ඕන වෙලාවක ලේසියෙන්ම හදාගෙන කන්න පුළුවන් කෑම තුනක්

නිතරම බඩගිනි වෙන පොඩ්ඩෙක් එහෙමත් නැත්නම් ලොකු පොඩ්ඩෙක් ඔයාටත් ඉන්නවද? බත් කන්න තේ බොන්න තව මොනාහරි තිබ්බ නම් හොඳයි කියල හිතෙනවද?

ඔන්න ඒ වගේ වෙලාවට ඉක්මණින් වැඩි මහන්සියක් නැතුව ගෙදර තියෙන දේවල් වලින් හදාගන්න පුළුවන් රසම රස කෑම වර්ග තුනක් හදන විදිහ ඔබත් එක්ක බෙදාගන්නයි අපේ අද සූදානම.

එහෙනම්, අපි බලමු මොනවද මේ කෑම වර්ග, කොහොමද හදන්නෙ කියල? 

අල බෝල (Potato balls)

අවශ්‍ය ද්‍රව්‍ය 

  • හොඳින් තම්බා පොතු ඉවත් කරගත් සාමාන්‍ය ප්‍රමාණයේ අල ගෙඩි 04 ක්
  • ලුණු කුඩු තේ හැඳි 01 ක්
  • මිරිස් කුඩු තේ හැඳි 02 ක්
  • ගම්මිරිස් කුඩු හෝ කැබලි තේ හැඳි 01 ½ ක් 
  • බඩ ඉරිඟු පිටි / cornstarch මේස හැඳි 04 ක් 
  • බැඳ ගැනීමට තෙල් 

සාදාගන්නා ආකාරය

මුලින්ම තම්බාගත් අල ගෙඩි හොඳින් පොඩි කරගන්න. 

දැන් පොඩිකරගත් අල වලට බඩ ඉරිඟු පිටි, ලුණු කුඩු, ගම්මිරිස් කුඩු සහ මිරිස් කුඩු එක්කර හොඳින් කලවම් කරගන්න. 

දැන් විශ්කම්බය අඟලක් පමණ වන කුඩා අල බෝල සාදාගන්න. 

දැන් භාජනයක් ලිපතබා එයට ගැඹුරු තෙලේ බැඳීමට ප්‍රමාණවත් තරම් තෙල් එකතු කරගන්න. 

තෙල් රත්වන විට සාදාගත් අලබෝල තෙලට දමා රන්වන් පැහැවනතුරු බැඳගන්න.

උණුසුම්වම පිළිඟන්වන්න. 

ඔබ කැමති සෝස් වර්ගයක් සමඟ ආහාරයට ගන්න පුළුවන්. 

ඒ වගේම ඔබ කැමති නම්, තම්බාගත් අල බෝල කරන විට මැදට චීස් කැබැල්ලක් එකතු කරන්නත්, ලුණු කුඩු මිරිස් කුඩු සමඟම ග්‍රේට් කරගත් චීස් එකතු කරගන්න වුනත් පුළුවන්. 

කොරියන් පිපිඤ්ඤා සලාදය (Korean cucumber salad)

අවශ්‍ය ද්‍රව්‍ය

  • පිපිඤ්ඤා හෝ ගර්කින් ගෙඩියක්
  • සෝයා සෝස්
  • ලුණු කුඩු
  • ගම්මිරිස් කුඩු
  • කෑලි මිරිස් හෝ මිරිස් කුඩු 
  • අඹරාගත් සුදුළූණු බික් දෙකක් (කැමති නම්)

සාදාගන්නා ආකාරය

මුලින්ම පිපිඤ්ඤා හෝ ගර්කින් ගෙඩිය හොඳින් සෝදා ඇට ඉවත්කර සිහින්ව පෙති කපාගන්න.

(ගර්කින් ගෙඩිය මඳක් තලා දෙකට කපා හැඩයට පෙති කපාගන්නත් පුළුවන්)

කපාගත් පිපිඤ්ඤා පෙති සාමාන්‍ය ප්‍රමාණයේ භාජනයකට දමා එයට ලුණු කුඩු තේ හැඳි 01 ½ ක් පමණ දමා හොඳින් මිශ්‍රකර විනාඩි කීපයක් තබන්න. 

ඒ අතරතුර කුඩා භාජනයක් ගෙන එයට සෝයා සෝස් තේ හැඳි ½ ක්, රස අනුව කෑලි මිරිස් සහ ගම්මිරිස් කුඩු සමඟ අඹරාගත් සුදුළුණූ එකතු කර හොඳින් මිශ්‍රකරන්න. 

දැන් පිපිඤ්ඤා පෙති අතින් මිරිකමින් එහි ඇති වතුර ඉවත්කර ඉවත් කරගත් වතුර වලින් මේස හැඳි 01 ක් පමණ සෝයා සෝස් මිශ්‍රණය සමඟ කලවම් කරගන්න.

මේ වතුර වල ලුණු අඩංගු නිසා නැවත ලුණු එකතු කිරීමට අවශ්‍ය නැත. 

දැන් මිරිකා වතුර ඉවත් කරගත් පිපිඤ්ඤා පෙති වලට සාදාගත් සෝස් මිශ්‍රණය දමා හොඳින් කලවම් කර ආහාරයට ගන්න.

රෝස් කරගත් පාන් කෑල්ලක් සමඟ ආහාරයට ගැනීමෙන් වැඩි රසයක් රසවිඳින්න ඔබට පුළුවන්. 

ලූණු මල් (Onion Flower)

අවශ්‍ය ද්‍රව්‍ය

  • ලොකු ලූණු ගෙඩියක්
  • පාන් පිටි
  • මිරිස් කුඩු
  • ගම්මිරිස් කුඩු
  • ලුණු කුඩු
  • කහ කුඩු ස්වල්පයක්
  • තෙල්

සාදාගන්නා ආකාරය

මුලින්ම, ලොකු ලූණු ගෙඩිය, ගෙඩිය පිටින් පොතු ඉවත්කර සුද්ධ කරගන්න.

ලූණු ගෙඩියේ උඩ කොටසින් හරහට කුඩා පෙත්තක් කපා ඉවත් කරගන්න. 

ලූණු ගෙඩියේ මුල කොටස යටට සිටින සේ තබා ලූණු ගෙඩිය කොටස් වෙන් නොවෙන සේ කොටස් අටකට පමණ කපාගන්න. 

දැන් ලූණු ගෙඩිය මලක් ආකාරයට දිග හැරෙනව ඔබට දකින්න ලැබේවි. 

වෙනම භාජනයක් ගෙන එයට පිටි ස්වල්පයක්, මිරිස් කුඩු, ලුණු කුඩු සහ ගම්මිරිස් කුඩු රස අනුව දමා හොඳින් මිශ්‍ර කරගන්න.

දැන් එයට වතුර ටික ටික දමමින් උකු පිටි මිශ්‍රණයක් සාදාගන්න. 

දැන් කපාගත් ලූණු මල මේ පිටි මිශ්‍රණයට දමා එහි හොඳින් දවටා ගන්න.

දැන් තෙල් භාජනයක් ලිපතබා තෙල් රත්වූ විට පිටි දවටාගත් ලූණු මල එයට දමා රන්වන් පාට වනතුරු බැඳගන්න. 

උණුසුම්වම ආහාරයට ගන්න. 

එහෙනම්, මේ කෑම වර්ග හදල බලල අපිත් එක්කත් රස බෙදාගන්න කියල අපි ඔබට ආරාධනා කරනව.

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles