තෑගි

ධනුද්දරගේ පෙම්වතියකගේ මුහුණු පොතට මට එබෙන්න ඉඩ ළැබුණේ අහම්බෙන්. ඇය සහ ධනුද්දර අතර අවුරුදු හයක විතර සම්බන්ධතාවයක් තිබුණ බව මම ඔහු එක්ක විවාහ වෙනකොටත් දැනගෙන හිටියේ. සම්බන්ධතාවය නැවතුනේ දෙදෙනාගේම එකඟවීම මතකියලා කිව්වේත් ධනුද්දරමයි. ඉන් එහාටඒ ගැන හාරලා අවුස්සලා විමසන්න මට උවමනාවක් තිබුනෙත් නැහැ. ධනුද්දර ඒ ගැන කතා කරන්න උනන්දු උනෙත් නැහැ. ඉතින් ඒ කතා එහෙමම අතීතය ට ශේෂ වුණා. 

ධනුද්දර ගේ පෙම්වතිය මල්ලිගේ කාර්‍යාලයේ සේවය කරන බව මම දැනගත්තේ මල්ලිගේ මුහුණු පොතේ පල කරලා තිබුණ පින්තූරයකින්.  කවදාවත් නොදැනුණ හැඟීමක් නිසා මට ධනුද්දර ගේ පෙම්වතියගේ ගිණුමට එබෙන්න හිතුණා. 

පලමු දැක්මේම ඇය එක්ක මම සැසඳෙන එක නවත්තගන්න මට පුළුවන් වුණේ නැහැ. ඇය ඇත්තටම සුන්දර තරුණියක්. ජීවිතේ සම්පූර්ණයෙන් නිදහසේ ඉගිලෙන්න දීලා ඉන්න තරුණියක්. ටිකෙන් ටික ඇගේ මුහුණු පොත් ගිණුමේ පහලට යනකොට එක තැනකදී දැක දේකින් මගේ හිත නැවතුණා.

ඇය ගාලු මුවදොර පිටියේ එක් තැනක සිටගෙන, දෑත් දෙපසට විහිදවාගෙන ගත් සේයාරුවක් එය. එහි ඇය රෙද්දෙන් සකස් කරන ලද දිග බෑගයක් පැළඳ සිටියා. මගේ මතකය නිවැරැදි නම්, ඒ මම ධනුද්දර ට තෑගි කල බෑගයක්. එය මල්ලීගේ මිතුරෙකු ලවා මට සහ ඔහුට වන පරිදි මගේ  සිත් සේ සකස් කරවාගත් බෑගයක් නිසා එය අන් කොහෙ හෝ තිබූ  බෑගයක් යැයි සිතන්නට මට හිත දුන්නේත් නැහැ. 

 මම ඒ බෑග් එක ගැන ධනුද්දර ගෙන් අහන හැම වෙලාවකම එයා ඒ කතාව යටපත් කරපු හැටිත් මට මතක් වුණා.

මම ඇගේ මුහුණු පොත් ගිණුම වසා දමා ඇඳේ වැතිරුණේ මුළු ඇඟම ගිණියම් වෙලා තියෙද්දී. ඊට පස්සේ ආයෙම එක පාරටම නැගිටලා ඇයගේ ඒ සේයාරුව මගේ ජංගම දුරකථනය ට බාගත කරගත්තා. ඊටත් පස්සේ මම ධනුද්දර ට ඔය බෑගය ඇණවුම් කල වෙලේ සංවාදයේ කොටසක සේයාරුවකුත් බා ගත කරගත්තා.

ධනුද්දර අද ඉතාම කාර්‍යබහුල දවසක් කියලා දැන දැනම මම ඒ සේයාරුවක් දෙකම ධනුද්දර ගේ වට්සැප් ගිණුමට යැව්වා.

ඊට පහලින් ඉතාම වේගයෙන් මෙහෙමත් ඇමිණුවා.

” මං සල්ලි එකතු කරන්  එක වගේ බෑග් දෙකක් ම හදවගත්තේ..ඒ එකක් ඔයාට දුන්නේ හරි ආදරෙන්…

 ඒනම් ඔයා ඒක චාපාට දුන්නා.. ?? මං ඒ බෑග්  කෝ කියලා අහපු කිහිප වතාවකම ඔයා කිව්වා ඒක ගෙදර ගිහින් දැම්මා කියලා …

 මෙහෙ ඉඩ නෑ කිව්වා. ගෙදර එච්චර ඉඩ නැති වෙන්න ඒක එච්චර ලොකු බෑග් එකක්ද  කියලා ඇහවේ නැතුව, . මං ඒකත් විශ්වාස කලා… මොකෝ මට නිකමටවත් හිතුණේ නෑ ඔය ඒක වෙන කෙනෙක්ට දේවි කියලා .. 

ස්තූතියි ඔයාට.. ඔයා දිගින් දිගටම දවස් වල මට පෙන්නනවා, මං ඔයාගේ ජීවිතේ ඉන්න තැන… අවුලක් නෑ   මම ඔයාව තෝරගත්ත එක ගැන ආයේ හිතන්න මට ඉඩ ඉතුරු කරනවට ස්තූතියි ..

 මං බලාගෙන ඉන්නවා මම වැරදියි කියලා ඔයා මට පෙන්නාවි කියලා ….!!!”

ඊට පස්සේ මම ජංගම දුරකථන විසන්ධි කරලා ඇඳේ වැතිරුණා. ජීවිතේ හිස් බව දැනෙන බයට මම ඇඳේ එහෙ මෙහෙ පෙරලුණා. ඇස් කෙවෙනි වල දැනෙන දැවිල්ලට හේතුව කඳුලු බර බව මම දන්නවා.

ධනුද්දර කිසිම වෙලාවක මගේ විශ්වාසය කඩපු කෙනෙක් නොවුණත්, ඔහුගේ අතිශය විවෘත ජීවිතය ඇතුළේ මම ඉත්තෙක් වෙලා කියලා මට හිතෙන්න ගත්තා. ගැහැණු පිරිමි බේදයක් නැති යාලුකම් අස්සේ ඔහු මාව පාවිච්චි කරන්නේ වාසියට විතරක්මද කියලා හිතෙන්න ගත්තා. ඉතාම සියුම්ව පටන් ගත්ත සැකය මහා බූවල්ලෙක් වෙලා ඇවිල්ලා මාව වහගන්න පැය කිහිපයයි ගියේ. 

හවස ධනුද්දර ගෙදර ආවට මගේ දිහාවත් බැලුවේ නැහැ. මමත් එයාව මඟ ඇරලාම හිටියා. මම තනියම කෝපි එකක් හදාගෙන බිව්වා. ධනුද්දර වතුර වීදුරුවක් බොනවා මම දැක්කා. 

වෙනදාට ධනුද්දර ගෙදර ආව වෙලාවේ ඉඳන් එයා ළඟම දැවටෙන්න තියෙන ප්‍රහර්ශණීය හැඟීම මගෙන් ගැලවිලා ගිහින් තිබුණේ. එදා රෑ අපි දෙන්නම නිදාගත්තේ කුසගින්නේ. පහුවෙනිදා මං ඇහැරෙනකොටත් ධනුද්දර පිටත් වෙලා තිබුණා.

“ඒ තෑග්ග එයාට දුන්න නම් ඇයි ඊට පස්සේ ඒක පස්සේ එළවන්නේ.. ? සමහරවිට ඒ බෑග් එක එයාට සෙට් නැතුව ඇති.. ඉතින් ඒක වෙන කෙනෙක් ට දෙන්න ඇති.. එහෙම නැත්නම් ඒ බෑග් එක වෙන කෙනෙක් දැකලා ඉල්ලන්න ඇති…”

යටිහිත තර්ක හදන්න පටන් අරගෙන තිබුණේ ධනුද්දර ගේ පැත්තට.

“ඒ වුනාට තෑග්ගක් දෙන්නේ කොච්චර ආශාවෙන්ද ? ඒක ළඟ තියාගන්න ධනුද්දර ට යුතුකමක්  තිබුණා..  තෑග්ගක් කියන්නේ මතකයක්.. ඒ මතක කොහොමද වෙන කෙනෙක්ට දෙන්නේ.. ඒකත් එයාගේ කලින් ප්‍රේමවන්තියකටම….”

උඩු හිත ඒ තර්ක බින්දා. 

දවල් ධනුද්දර මට කෑම එක්ක එවලා තිබුණා. කුසගින්න දරාගන්නම බැරුව උන්න නිසා මම ඒක ඉවර වෙනකල්ම කෑවා. ඒත් හිතේ ගින්න නිවුණේ නැහැ.

එදා ධනුද්දර ගෙදර ආවේ රෑ වෙලා. කෑම අරගෙන ඇවිල්ලා තිබුණා. මම ධනුද්දර ඉන්න බවක් නොදැනෙන ගානට සෙටියට වෙලා රූපවාහිනිය නරඹන ගමන් හිටියේ. 

ඉඳිආප්ප පිඟානක් අරගෙන ධනුද්දර මගේ එහා පැත්තෙන් වාඩි වෙනව දැක්කට පස්සේවත් මම හෙල්ලුනේවත් නැහැ. ධනුද්දර මගේ දිහාවෙන් ඇස් ගලවගෙන රූපවාහිනියේ අලවනවා මම දැක්කා.

“මට සමාවෙන්න … ඒක අතිශය මරණීය ඇති ඔයාට…  “

ධනුද්දර සෑහෙන්නම පහත් හඬකි එහෙම කිව්වම මම එයා දිහා හැරිලා බැලුවා.

” ඔයා ඔය බෑග් එක මට එවන දවසේ චාපා අපේ ගෙදර ඇවිල්ලා හිටියේ .. එයා එතකොට රට යන්න… නංගී පාර්සල් එක කඩනකොට එයත් එතන.. එයා ඒ බෑග් එක ලස්සනයි කියලා ඒක ගන්නවා කියලා නංගීට කියනවා මට ඇහුණා.. මං එපා කිව්වේත් නෑ…..”

ධනුද්දර එහෙම කියලා ඉඳිආප්ප පිඟානෙන් ගත්ත ඉඳි ආප්ප කිහිපයක් මගේ මුවට එබුවා.

“එවෙලේ මට අදහසක් තිබුණේ නැහැ ඒකෙන් ඔයා දුක හිතාගන්න බව. … ඇත්තටම ඒ කාලේ වෙනකොට අපි දෙන්නා අතරේ මෙහෙම බැඳීමක් තිබුනෙත් නැහැනේ… 

ඒත්, පස්සේ ඔයා ඒ ගැන අහන අහන වාරයක් ගානේ මට ඒක චාපාට නොදී උන්නා නම් කියලා හිතුන දවස් ආවා… 

තෑග්ගක් කියන්නේ දෙන්නෙක් විතරක් දන්න කතාවක් හාමිනේ…. 

මං චාපාට ඒක දුන්නා නෙවෙයි , එයා ඒක ගත්තා… ඒ බෑග් එකට, චාපට  , මට ,  වර්තමාන කතාවක් නැහැ මතකයක් විදියට රාමු වෙන්න…

ඒත් ඒ නැති වුණ බෑග් එකට, ඔයාට, මට සෑහෙන්නම මතක කන්දක් හදාගන්න පුළුවන් නේද ? …

මට සමාවෙනවද? ඒ ගැන …”

මම පැනලා ධනුද්දර ව වැලඳගත්තා. ඇත්තටම මගේ ජීවිතේ සෑහෙන්නම හය්යක් වුණ මනුස්සයෙක්ව දවස් දෙක තුනකට හරි එහෙම මානසික වදයකට ඇදලා දැම්ම එක ගැන මට හිතාගන්න බැහැ. මම ධනුද්දර ට ඇත්තටම ආදරේ බව විශ්වාස කරගන්න මම යටි හිත එක්ක රණ්ඩු කලා.

වර්තමානයේ දැනෙන සෑහෙන්නම කාරණා පැත්තකට දාලා අතීතය වෙනුවෙන් රණ්ඩු කර එක ගැන මට පසුතැවීමක් දැනුනා.  ආදරේ , විශ්වාසය රකින මිනිහෙක්ග් පපුවට  එහෙම වේදනාවක් දුන්න එක දැනෙන පසු තැවීම එක්ක මම ධනුද්දර ට තව තුරුළු වුණා.

More Stories

Don't Miss


Latest Articles