රිච්මන්ඩ් කාසල් වලව්ව

0
347

සිරිවර්ධන පඩිකාරම් මුදලිතුමා  කියන්නේ නානායක්කාර වංශිකයන් අතරින් දකුණට පැනලා ආව වංශවත් පවුලක බොහොම නම්බුකාර ජීවිතයක් ගෙවපු කෙනෙක්. අධ්‍යාපනය ගැන විස්වාස කරපු මේ වංශවතා තමන්ගේ පුතුන් දෙදෙනාම විදෙස් අධ්‍යාපනයට යොමු කරවන්නේ අනාගතයේ ඔවුන් දෙදෙනාගේ යහපත ගැනම හිතලා. අවුරුදු කිහිපයක විදෙස් අධ්‍යාපනය හමාර කරලා සිරිවර්ධන වංශවතාගේ බාල පුතා වුණ ආතර් ලංකාවට එන්නේ දැනුමෙන් වගේම වත්පොහොසත් කම් වලිනුත් අග තැන් වෙලා. ඊට පස්සේ ආතර්ගේ තාත්තා ගේ එකම බලාපොරොත්තුව වෙන්නේ ආතර් ට ගැලපෙන  තරුණියක් හොයලා විවාහ කරවලා දෙන එක. ඒ අනුව රටේ උන්න වංශවත්, සුරූපී තරුණියන් ආතර් හමුවට එනවා. ඒ අතරින් ආතර්ගේ හිත ගන්නේ ඒ ප්‍රදේශයේම උන්න නඩුකාරවරයෙක්ගේ දියණියක් වුණ මැටිල්ඩා. 

ආතර්ගේ හිත ගියාට, තමන්ගේ දියණියව ආතර්ට  විවාහ කරලා දෙන්න මේ විනිශ්චයකාරවරයා නම් කැමති වෙන්නේ නැහැ.  ඔහු කියන්නේ ඒ සඳහා ආතර්ගේ සුදුසුකම් සහ වත්කම් ප්‍රමාණවත් නොවන වග. ඒත් ආතර් ඒ ප්‍රතික්ෂේප කිරීම නම් වගකටවත් ගන්නේ නැහැ.

මහාරාජා මන්දිරයක අනුරුවක් 

මේ කාලෙදී ආතර්ට ඉන්දියාවේ සංචාරයක් වෙනුවෙන් ආරාධනා ලැබෙනවා. එතනදි දකින මහරාජා වලව්ව දැකලා තමයි ආතර්ට   රිච්මන්ඩ් කාසල් වලව්ව ගොඩ නඟන අදහස  තියෙන්නේ. ඒ වෙනුවෙන් මාලිගාවේ සැලැස්ම ඉල්ලා සිටියත් ආතර්ට එය ලැබෙන්නේ නැහැ. ඉන් සැලෙන්නේ නැති ආතර්, ලංකාවට ඇවිල්ලා ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පීන් දෙදෙනෙක් වහාම ඉන්දියාවට යවනවා.  මේ විශාල මාලිගාව දකින මැටිල්ඩාගේ පියා එක පයින්ම මැටිල්ඩාව ආතර්ට විවාහ කර දෙන්න එකඟ වෙනවා. අන්තිමේදි  1910  මැයි මාසේ 10 වෙනිදා ආතර් ද සිල්වා ගේ විවාහ උත්සවය සහ රිච්මන්ඩ් කාසල් වලව්වේ ගෙවැදීම එකටම කරන්නේ  ආතර්ගේ ජීවිතේ ලොකුම ජයග්‍රහණ දෙකම එකම දවසකට නතු කරලා. 

ඒ දවසේ ඉඳන් අවුරුදු 31 යනකල්ම ආතර්ද සිල්වා මහතා සහ ඒ මැතිණිය ජීවත් වෙලා තියෙන්නේ මේ වලව්වේ.

අමුද්‍රව්‍ය පවා විදෙස් රටවලින්

රිච්මන්ඩ් කාසල් වලව්වේ ඉදිකිරීම් කටයුතු වලට අවශ්‍ය කරපු ගඩොල් සහ උළු ගෙන්වලා තියෙන්නේ ඉන්දියාවෙන්.  තේක්ක දැව සහ ඕක් දැව ගෙන්වලා තියෙන්නේ බුරුමයෙන්. ඒ විතරක් නෙවෙයි ජනේල වීදුරු ගෙන්වලා තියෙන්නේ ඉතාලියෙන්.  නාන කාමර වලට අවශ්‍ය ටයිල් වගේ මැටි පුවරු ඉතාම ඉහාල ගුණාත්මක බව එක්ක එංගලන්තයෙන් තමයි ගෙන්වලා තියෙන්නේ.  කොළඹ වරාය වෙනකල් නැව් වලින් ගෙනල්ලා , ඊට පස්සේ කළු ගඟ දිගේ බත්‍තල් වලින් තමයි වලව්ව ඉදි  කරපු භූමියට ගෙනල්ලා තියෙන්නේ. හුණු, වැලි,කලු ගල් සහ තාක්ෂණය ඇරුනම අනෙක් සියලුම දේ විදේශයන්ගෙන් තමයි ගෙන්වලා තියෙන්නේ.

ශ්‍රී ලංකාවේ තියෙන විශාලතම වලව්ව 

අක්කර 42 ක භූමි ප්‍රමාණයක ඉදිකරලා තියෙන මේ වලව්ව සම්පූර්ණ උලුවහු 99ක් සහ 

ජනේල 38කින් සමන්විතයි. දෙමහක් නිවසක් විදියට තියෙන මේ වලව්වේ කාමර 14ක් තියෙනවා. ඒ කාමර අතරට නිදන කාමර, කන්තෝරු කාමර,පින්තූර කාමර සහ නැටුම් ශාලාවකුත් ඇතුලත් බව කියැවෙනවා.  විශාල පෝටිකෝවක්, බැල්කනියක් මැද සාලයක් වගේම මැද මිදුලකුත් මේ රිච්මන්ඩ් වලව්වේ තියෙනවා.

ඒ වගේම නිදන කාමර වල ශබ්ද එළියට නොයන්න සහ එළියේ ශබ්ද ඇතුකට නොඑන්න තමයි මේ කාමර හදලා තියෙන්නේ. මේ රිච්මන්ඩ් කාසල් එකේ බිත්ති අඩියකටත් වඩා පළල් කියලත් කියැවෙනවා. 

ස්වභාවික වායුසමීකරණ 

මේ මුළු වලව්වම ඒ සී කරලා තියෙන්නෙ කිව්වොත් ඔයා ඒක විශ්වාස කරනවද? ඇත්තටම ඔව්, මේ මුලු වලව්වම ස්වභාවික වායුසමීකරණ පද්ධතියකින් සීතල වෙමින් තියෙන්නේ. වැසි ජලය බට පද්ධති තුළ එකතු වෙලා නිවස පුරා බිත්ති තුළින් ගමන් කරන ක්‍රමවේදයක් මේ වලව්වේ ක්‍රියාත්මක වෙනවා. ඒ ක්‍රමවේදය එක්ක තමයි,  මේ වායුසමීකරණ පද්ධතිය වැඩ කරන්නේ. 

බිඳී ගිය වලව්ව 

අවුරුදු 31 ක් තිස්සේ ආතර් මැටිල්ඩා යුවල බොහෝම එකමුතුකමින් මේ රිච්මන්ඩ් වලව්වේ ඉන්නවා. දරුවන් නැති කම නිසා යම් පීඩාකාරී තත්වයක් තිබුණ් වුනත් ඔවුන් ජීවිතේ ගැන බොහොම  අවබෝධයක් ඇතිව තමයි ඉන්නේ. ඒත් එක දවසකට අස්සේ ඒ හැම දෙයක්ම කණපිට හැරෙනවා. තමන්ට වයස 51 ක් වෙනකොට තමයි ආතර් දැනගන්නේ තමන්ගේ බිරිඳ වසර ගණනාවක් තිස්සේ වලව්වේ සේවකයෙක් එක්ක සම්බන්ධතාවක් තියෙන බව. එක පාරටම දැනගන්න ලැබෙන විස්තරය තහවුරු කරගෙන ආතර් නිහඬවම නිවසින් පිටව යන්න තීරණය කරනවා. නමුත් ඊට වරුවකට විතර කලින් තමන්ගේ බිරිඳ ඇයගේ අනියම් සේවක පෙම්වතා එක්ක නිවසින් ගිහින් වග ආතර් දැනගන්නවා.  ඉන් පස්සේ ආතර් අන්තිම කැමති පත්‍රය සකසනවා 

තමන්ගේ සදාදරණීය බිරිඳට ආදරේ කරන එක නවත්තගන්න බැරි වෙන ආතර් ඇය ජිවත්ව සිටින තාක්  ඇයට රුපියල් තුන්සීයක් සහ පොල් ගෙඩි 250ක් යවන්න කියලත් අණ දෙනවා. ඊට පස්සේ වලව්වේ සියලු අයිතීන් පිරිමි  ළමයින් ගේ අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන්න කියලා ලියලා, ඔහු මහනුවර ක්වීන්ස් හෝටලයේ හැත්තෑපස් වෙනි කාමරය කුලියට අරගෙන මියයනතුරුම එහි ජීවත් වෙන්න තීරණය කරනවා. 

කලුතර අභිමානය 

කලුතර නගරයෙන් කිලෝමීටර තුනක් වගේ රට තුලට වෙන්න පිහිටලා තියෙන මේ රිච්මන්ඩ් කාසල් වලව්ව  මේ වෙනකොට ළමා සුභසාධන  කටයුතු වෙනුවෙන් තමයි වෙන් වෙලා තියෙන්නේ. කලු ගඟ, මුහුද වගේම , කලුතර බෝධියත් පෙනෙන අයුරින් සකස් කරලා තියෙන මේ වලව්ව අතීත ශ්‍රී ලාංකේය ගෘහ නිර්මාණ ශිල්පියාගේ වත්කම් අතර ඉහළින්ම තියෙන නිර්මාණයක් කියලා නම් කරන්න පුළුවන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here