Gemini AI

0
194

ඔන්න අද අපි ඔබත් එක්ක කතා කරන්න සූදානම් වෙන්නෙ තාක්ෂණ ලෝකයේ මෙතෙක් නිපදවපු දැවැන්තම නිර්මාණ වලින් එකක් විදිහට හඳුන්වන්න පුළුවන් Gemini AI මෙවලම ගැනයි. 

කෘතිම බුද්ධිය මඟින් මෙහෙයවන භාෂා සැකසුම් මෙවලමක් විදිහට එළිදක්වපු ලොව වැඩිපුරම කතාබහට ලක්වුණ මාතෘකාවක් වුණ OpenAI සමාගමේ ChatGPT ගැන අපි මීට කලින් කතා කරා ඔබට මතකයිනෙ.   

තවමත් ක්ෂේත්‍රයේ දැවැන්තයන් තමන් බව ඔප්පු කරන්න මේ ChatGPT මෙවලමට දැවැන්ත අභියෝගයක් එල්ල කරමින් තමයි Google සමාගම Gemini AI නිර්මාණය ලෝකයට ඉදිරිපත් කරේ. 

Gemini AI කියන්නෙ මොකක්ද?

Google Gemini කියන්නෙ බහුමාධ්‍ය කෘතිම බුද්ධියක් (Multimodal Artificial Language)  මඟින් මෙහෙයවනු ලබන භාෂාව, ශ්‍රවණය, දෘෂ්ටිය, කේත සහ කථනය පිළිබඳ අවබෝධයක් ඇති විශාල භාෂා පවුලක ආකෘතියක් (Large Language Model – LLM) විදිහට හඳුන්වන්න පුළුවන් මෙවලමක්. 

Google සමාගමේ Pathways Language Model (PaLM 2) භාෂා මෙවලමට පසුව නිර්මාණය කරපු එදාමෙදා තුර නිපදවපු විශාලම භාෂා ආකෘතිය විදිහට Google Gemini හඳුන්වාදෙන්න පුළුවන්. 

Gemini AI හැදුවෙ කවුද?

කෘතිම බුද්ධිය වැඩිදියුණු කිරීම සහ ඒ පිළිබඳව පර්‍යේෂණ මෙහෙයවීමේ අරමුණෙන් ක්‍රියාත්මක වන Google සමාගමේ කොටසක් වෙච්ච Alphabet’s Google DeepMind business unit (https://deepmind.google/) පර්‍යේෂණ අංශයට මඟින් තමයි Gemini Ai නිර්මාණය කළේ. 

Google සමාගමේ අනෙකුත් කාර්‍ය මණ්ඩලය සමඟ එක්ව Google Gemini ගොඩනැගීමේ සහ ඒ සඳහා මඟ පෙන්වීමේ වැඩි ගෞරවය හිමිවෙන්නෙ Google සමාගමේ සම නිර්මාතෘවරයෙක් වන සෙර්ජේ බ්‍රින් (Sergey Brin) හටයි. 

Gemini AI ක්‍රියාත්මක වෙන්නෙ කොහොමද?

විවිධ ආකෘති සහ විවිධ භාෂාවන්ගෙන් යුත් අක්ෂර, ඡායාරූප, හඬ පට සහ වීඩියෝ පට රාශියක් භාවිතයෙන් දත්ත වෙන්කර ගැනීම සහ වැඩිදියුණු කරගැනීම සම්බන්ධ පුහුණුවක් මුලින්ම Gemini AI වෙත ලබා දී තිබෙනවා. 

මේ පුහුණු කිරීමේ ක්‍රියාවලිය වැඩිදියුණු කිරීමට Google හි නවතම TPU v5 චිප් වල සහය ලබාගෙන තිබෙන බවත් සඳහන් වෙනවා. 

ඒ වගේම පක්ෂග්‍රාහී වීම සහ වැරදි සහ භයානක අරමුණු උදෙසා යෙදවීම වැළක්වීමටත් Google Gemini යෙදවුමට හොඳ පුහුණුවක් ලබාදෙන්න Google සමාගම සැළකිලිමත්වී තිබෙන බවයි ඔවුන් සඳහන් කරන්නෙ. 

එම පුහුණුවෙන් පසු ලබාදෙන දත්ත හඳුනාගෙන, ගැටළු හඳුනාගෙන, සාරංශගත කර පිළිතුරු ලබාදීමට පුහුණු කල මිනිස් මොළයේ ක්‍රියාකාරීත්වයට සමාන ලෙස නිර්මාණය කර කෘ තිම බුද්ධියක් වන neural network techniques හරහා ක්‍රියාත්මක වෙන්න Gemini AI වලට හැකියාව ලබා දී තිබෙනවා. 

Gemini AI වලට කරන්න පුළුවන් මොනවද?

ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් නොව විවිධ භාෂාවන් හඳුනාගෙන ප්‍රතිචාර දැක්වීමේ විශේෂ හැකියාවක් මේ කෘතිම බුද්ධිය සතුයි. 

ඒ වගේම, 

දත්ත සාරංශකරණය

ප්‍රශ්න සහ පිළිතුරු ආකාරයට වචන පෙළ නිර්මාණය

භාෂා 100 කට අධික ප්‍රමාණයක් පරිවර්තනය කිරීමේ හැකියාව

වගු, ප්‍රස්ථාර, පින්තූර, හැඩතල වැනි විවිධ රූප හඳුනාගැනීමටත් ඒවාට විවිධ භාෂාවන්ගෙන් මාතෘකා සහ විස්තර කිරීම් ඉදිරිපත් කිරීමේ හැකියාව

හඬ පට හඳුනා ගැනීම සහ ඒවා ලිඛිතව ඉදිරිපත් කිරීම සහ පරිවර්තනය කිරීමේ හැකියාව

වීඩියෝ පටි හඳුනාගැනීමේ හැකියාව

ඉලක්කම්, අකුරු සහ සමීකරණ සමඟ එකම අවස්ථාවක ක්‍රියාත්මක වීමේ හැකියාව

python, c++, java සහ go වැනි විවිධ කේත භාෂා හඳුනාගැනීම සහ නිර්මාණය කිරීමේ හැකියාව Google Gemini සතුව පවතිනවා. 

Gemini AI භාවිතා කරන්නෙ කොහොමද?

OpenAI සමාගම තමන්ගෙ GPT- 3 සහ GPT- 4 නිර්මාණය සහ පරිශීලකයා සම්බන්ධ කරන මුහුණත ලෙස Chat GPT භාවිතා කරා වගේම Google සමාගම ඒ සඳහා Google Bard මුහුණත භාවිතා කරනවා.

මේ වෙද්දී Ultra, Pro සහ Nano ලෙස Google Gemini මෙවලම් වර්ග 03 ක් හඳුන්වාදී තිබෙනවා. ඔබේ දුරකථනයේ google search bar හි Google gemini ලෙස යොදා ඉදිරියට යාමෙන් මේ සමඟ සම්බන්ධ වෙන්න ඔබට පුළුවන්. 

තාක්ෂණය දියුණු විය යුතුමයි, නමුත් එක් එක් සමාගම් තරඟකාරීව කෘතිම බුද්ධිය වැඩිදියුණු කිරීමට යාමෙන් සුවිශේෂී මානව කුසලතා හීන වීමේ අභියෝගයට ලෝකය මුහුණ දී ඇති බවත් මේ සම්බන්ධව අදහස් ප්‍රකාශ කරන සමහර විද්වතුන් පවසනවා. 

කෘතිම බුද්ධිය නවතින තැන කොතන වේවිද? ඔබ මොකද හිතන්නෙ?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here