මනුස්සකම

මාලතීලා අලුත් ගෙදරට ආවේ පුතාව හොඳ ඉස්කෝලෙකට දාගන්න ඕන නිසාමයි. 

සල්ලියි බලයයි ඔක්කොම තියෙන නිසා කොලේජ් එකට පුතාව දාගන්න එක කරගන්න එක මහ ලොකු දෙයක් උනෙත් නෑ. 

ඉස්කෝලෙ තියෙන්නෙත් ගේ ළඟ හන්දා පුතාව ඉස්කෝලෙට දාන එකත් ඉතින් මාලතීටම කරන්න පුලුවන්. 

අසිත ඉතින් රස්සාව කලේ ටිකක් දුරක හන්දා ගෙදර ඔක්කොම වැඩපල ටික කරගන්න උනේ මාලතීටමයි ගෙදරයි, අවශ්‍යතාවයි ඔක්කොම පිරිමැහුනට මොකෝ අලුත් ගෙදර මාලතී උන්නෙ සන්තෝසෙන් නෙවෙයි.

ඒකට හේතුව අල්ලපු ගෙදර උන්නු වසන්ති. වසන්තිටත් වඩා වසන්තිගෙ ළමයි. ළමයිම දෙන්නෙක්. 

එක එක වයස්වල උනාට ඉතින් පොඩි ළමයිට තව ළමේක් දැක්කම ආසයි සහ සෙල්ලම් කරන්න අඬ ගහන්න හිතෙනවනේ. 

ඉතින් වසන්තිගෙ ළමයි නිතරම මාලතීගෙ පුතාටත් සෙල්ලම් කරන්න කතා කරනවා. මෙයත් යනව කොච්චර එපා කිව්වත් අහන්නෙ නෑ.

“අපිට ගැලපෙන මිනිස්සු නෙවෙයි අනේ. ඒ හස්බන්ඩ් එහෙමත් රස්සාවක්වත් කරනවද මන්දා අර වත්තෙ එලවලු හෙම විකුනල ජීවත් වෙන්නෙ. මං කොච්චර කිව්වත් පුතා අහන්නෙ නෑනෙ” කියල මාලතී අසිතට නෝක්කාඩු කිව්වට මොකෝ අසිත නම් ඕව එච්චර ගණන් ගත්තෙ නෑ. 

අසිත ගෙදර එන්නෙත් වීකෙන්ඩ් එකේ විතරක් නිසා ඒ ගෙදර මිනිස්සු එක්ක හිනාවෙනව ඇරෙන්න එහෙම ලොකු බජනෙකට යන්න අසිතට ඉඩක් නෑ.

” ඔන්න ඔහේ සෙල්ලම් කරන්න දෙන්න අනේ. ටික ටික ලොකු වෙද්දි ඔය සෙල්ලම් අඩුවෙලා යනවනෙ” කියල අසිත කිව්වෙ ඔය ගෑණු හුටපට වලට හොට දාන්න තමන්ට බැරි බව තේරිච්ච හන්දා. 

“අසිතට තේරෙන්නෙ නෑ අම්මෙ. ඒ මිනිස්සුන්ට මේ තුන් වේලවත් හරියට කන්න තියෙනවද දන්නෙ නෑ. ඉගෙනගෙනවත් නෑ. දැක්කම හැමතිස්සෙම ඇවිල්ල කතා කරනවා. මට නම් හරිම අප්‍රසන්නයි” කියල මාලතී අන්තිමේ දුක කිව්වෙ තමන්ගෙ අම්මට. 

“අපෝ ඔව් දුව, ගෙදරට නම් ගෙන්න ගන්න එපා අපි දන්නෙ නෑනෙ මොනව උස්සගෙන යාවිද කියල” කියල මාලතීට දෙවනි වෙන්නෙ නැතුව අම්මා කිව්වා 

මාලතීටත් ඒ බය නොතිබ්බ නෙවෙයි. 

ඒ උනාට කෝ ඉතින් එහා ගෙදර කොල්ලා වැට ළඟට ඇවිත් “අරෝෂ්” කිව්ව ගමන් මෙයා පියාඹගෙන යනවා. 

මොන දේ දීලවත් කියලවත් ඕක නවත්ත ගන්න පුලුවන් උනේ නෑ. 

දවසක් ඒ මදිවට එහෙන් දෙන කෑමත් කාලා. 

ඒක දැනගත්තෙ අරෝෂ් ගෙදර ඇවිත් “අම්මි පීකුදු හදල දෙන්නකො” කිව්වම. 

ඉංග්‍රීසියෙන්ම කතා බහ කරන ගෙදරක ඉස්කෝලෙ එකේ පන්තියෙ ඉන්න පුතා පීකුදු කියන වචනෙ දැනගත්තෙ කොහොමද කියලා මාලතීට හිතාගන්න බැරිවුනා.

“පීකුදු? පීකුදු ගැන කවුද ඔයාට කිව්වේ?” මාලතී ඇහුවෙ ඒ පුදුමෙන්මයි. 

“වසන්ති ආන්ටි දුන්නා බත් එක්ක. හරිම රසයි අම්මි” කියල අරෝෂ් කිව්වම මාලතී නොදැනුවත්වම දුකටයි තරහටයි කොල්ලට පාරවල දෙකක් ගැහුවා.

ඔය ඔක්කොම අස්සෙත් අරෝෂ් නෙවෙයි එහෙ යන එක නතර කලේ. 

වසන්ති ආන්ටියි, කුසලුයි නිසලුයි ගැන තාත්ති ආවම කියන්න කතා ගොඩකුත් අරෝෂ්ට තිබුනා. 

ඔය අතරෙ තමයි ලොකුම හෙන ගෙඩිය පාත් උනේ.

දවසක් මහ රෑක වැස්සක් අරගෙන අසිත ගෙදර ආවා.

“මාව ඉන්ටඩික් කරලා” ඒ ආරංචිය මාලතීලගෙ ගෙදරම බිමට සමතලා කරල දාන ආරංචියක් උනා. 

හම්බු කරපු හැමදේම වගේ අලුත් ගේ ගන්න වියදම් කල වෙලාවක අසිතගෙ රස්සාව නැති උනාම තමන් ජීවත් වෙන්නෙ කොහොමද කියල මාලතීට මතක් උනා.

මාලතීටත් රස්සාවක් නැති බව අසිතට මතක් උනා.

ඒත් කරන්න දෙයක් තිබුනෙ නෑ. “මං ඉන්නෙත් අයිය ළඟ. ඔයා දන්නවනෙ ඔයාට උදව් කරන්න විදියක් අපිට නැති බව. අසිත ඔය්ට වඩා රෙස්පොන්සිබල් වෙන්න ඕනනෙ” කියල තමයි අම්මා කිව්වේ 

පස්සෙන්ද උදේ මාලතී කල්පනා කර කර ඉද්දි තමයි කවුරුහරි කතා කරනවා ඇහුනේ. 

බලද්දි වසන්ති. 

වැට පැනල මාලතීගෙ වත්තට එන ගමන්. අතේ බර මලු දෙකකුත් එක්ක ” එලවලු පහේ ටිකක් ගෙනාව නංගි. ඕන දෙයක් ඉල්ලන්න. වත්තෙ එලවලුයි, ගමේ කුඹුරෙන් හාල් හෙමත් අපිට ඕසෙට” කියල සුපුරුදු හිනාව දැම්මා 

වසන්තිගෙ පිටිපස්සෙ හැංගිල කුසල් නිසල් එක්ක අරෝෂ් හිනා උනා.

ඒ හැම හිනාවක් අස්සෙම වෙනද නොදැක්ක මනුස්සකමක් හිතවත්කමක් මාලතී දැක්කා.

More Stories

Don't Miss


Latest Articles