කනිෂ්ක මතක ඇති කාලෙක ඉඳන් පුරුදු වෙලා හිටියේ සැහැල්ලු ජීවිතයක් ගෙවන්න. වැඩි බරසාරකම් නැතිව දවස ඉවර කරන්න. රජයේ රැකියාවෙන් වසර පහක දේශීය නිවාඩු දාලා නාගරික ගොවිපලක් කරන්න පටන් ගත්තේත් ඒ සැහැල්ලුව ජීවිතේට තව හොයාගන්න හිතාගෙන.
විවාහයක් ගැන අදහසක්වත් තිබුණේ නැති වුණත්, අම්මාගේ හිත හදන්න ඕනි කමට මනමාලියෝ බලන්න යන ගමන් වලත් අඩුවක් කනිෂ්ක ට තිබුණේ නැහැ. මුල් කාලේ නම් ඒ මනාලියන්ගේ අඩු පාඩු හොය හොයා කියල ඒ කතා වලට තිත තිව්වේ කනිෂ්ක. ඒත් දැන් තත්වේ වෙනස්.
“පුතාගේ ජොබ් එක එතකොට ෆාර්ම් එකක මැනේජර් ද ?”
“නැ නෑ.. මං ගොවියෙක්….”
කනිෂ්ක පැනලාම එහෙම කියනවා. ඊට පස්සේ ඒ කතා එහෙමම ඉවර වෙනවා.
කනිෂ්ක ට විවාහයක් වෙනුවෙන් තිබුණ උනන්දුව, උද්‍යෝගය නැති වෙලා ගියේ පාසැල් කාලයේ පටන්ම උන්න මිතුරන් දෙදෙනාගේ ජීවිත වල වුණ හැලහැප්පීම් වලට පස්සේ. අවුරුදු ගානක ප්‍රේම සම්බන්ධතා බිඳලා දාලා, ඒ මිතුරන්ව අතිශය දරුණු විදියට මුලාවේ දාලා ඔවුන්ගේ පෙම්වතියන් ගෙවූ ජීවිත කනිෂ්ක ඇස් පනාපිටම දැක්කා.
සරසවි මිතුරෙකුගේ බිරිඳ ඇගේ පාසැල් පෙම්වතා සමඟ වසර ගණනාවක් තිස්සේ රහස් සම්බන්ධතාවයක ඉන්න බව දැනගත්තාට පස්සේ ගෙල වැල දාගෙන මිය ගිය මිතුරාවත් කනිෂ්ක ට අමතක කරන්න බැහැ. කනිෂ්ක ට කල් ඇඳුණු ප්‍රේම සම්බන්ධතා තිබුණේ නැති වුනත්, ආශ්‍රය කරපු ගැහැණු ළමයි කිහිප දෙනා නිසා කොහොමටත් ගැහැණුන් විෂයෙහි හා ඔහුට තිබුණේ ඕලාරික හැඟීමක්.
තව සෙනසුරාදාවක කනිෂ්ක ට මනමාලියක් බලන්න යන්න සිදු වුණා. ඒත් සෙනසුරාදා උදේ ඇමතුමක් ආවේ හදිසි කටයුත්තක් නිසා මනමාලියට නිවෙසින් බැහැරව යන්න සිදු වෙලා තියෙන නිසා ඒ ගමන ඉදිරි දවසකට යොදාගන්න සිදු වෙන බව කියලා. කනිෂ්ක ගොවිපොළේ වැඩට ගියා.
ඒ වෙනකොට ගොවිපළ වටේ වැට ඉදිකරලා අවසන් වෙලා තිබුණේ. ස්ථාවර ගොඩනැගිලි හදන අදහසක් නොතිබුණ නිසා කනිෂ්ක සැලසුම් කලේ කුඩා කබානා කිහිපයකට ඉඩ හදන්න. ඔහු අතේ ඒ අක්කර දහය වෙනුවෙන් වසර දහයකට වන තිරසාර සැලැස්මක් තිබුණා. ඔහු සමඟ ගොවිපළ කාර්‍යයන් වෙනුවෙන් හය දෙනෙක් වැඩ කලා. කනිෂ්ක ගේ තාත්තා, මල්ලී, මල්ලීගේ යාලුවොත් සමහර දවස් වල සැලසුම් සකසන්න ආවා.
එක දවසක් කනිෂ්ක ව මුණ ගැහෙන්න තරුණියක් ඇවිල්ලා තිබුණේ රැකියාවක් බලාපොරොත්තුවෙන්. ඒත් කනිෂ්ක ඇයව බොහොම කාරුණිකව ප්‍රතික්ෂේප කලා.
“අනේ. එහෙම කරන්න එපා මහත්තයා… මං මහන්සි වෙලා වැඩ කරන්නම්… මට උදේ හත වෙනකොට එන්න පුළුවන් .. හවස පහට යන්න තිබුණා නම් ඇති… “
කනිෂ්ක ට කොහොමටතවත් එකඟ වෙන්න පුලුවන් කමක් තිබුණේ නැහැ ඇයව ගොවිපොලේ සේවයට බඳවගන්න. ඒත් ඇය ඉදිරිපත් කරපු කෘෂිකර්ම උසස් ඩිප්ලෝමා සහතිකයට පස්සේ කනිෂ්ක ඇයට ඉඩක් දෙන්න තීරණය කලා. ගිණුම් කටයුතු සහ අනෙක් සැලසුම් වලින් අඩක් ඇයට පැවරුවා. විහාරා ; ඉතාම ඉක්මනින් රාජකාරි ඉගෙනගන්න පොරොන්දු වුණා.
ඒත් පහුවෙනිදා උදේ ගොවිපොලට ආව කනිෂ්ක දැක්කේ විශ්වාස කරගන්න අමාරු දසුනක්. විහාරා අනෙක් පිරිස එක්ක එකතුවෙලා ආරක්ෂක ගෘහය සකස් කරන ස්ථානයේ වැඩ. කනිෂ්ක වහාම ඇය අසලට ඇවිදන් ගියා. ඇයගේ රාජකාරි මතක් කරලා දුන්නා..
” මම පොලිටනල් ප්‍රොජෙක්ට් එකක වැඩ කරලා තියෙනවා…”
එහෙම කියලා තමන්ව ගානකටවත් නොගෙන සැලසුම් තියෙන ටැබ් පරිගණකයේ ඔලුව ඔබා ගත්ත යුවතිය ඉස්සරහ කනිෂ්ක ගැස්සුණා.
කනිෂ්ක ඊළඟට කලේ ඇගේ පෞද්ගලික ලිපි ගොනුව හොඳින්ම පරික්ෂා කල එක. ඇය සේවය කල ව්‍යාපෘති වල තොරතුරු සියල්ක එහි තිබුණා. ඒත් කනිෂ්ක ට විශ්වාසයි පෙර දිනයේ ඒ කිසිවක් එහි නොතිබුණ වග. කනිෂ්ක ගේ හිතට නුහුරක් එක්ක මුවට සිනහවක් ආවා.
විහාරා, කනිෂ්කව ඉක්මවා යමින් ගොවිපළ තුළ ක්‍රියාත්මක වෙන්න පටන් අරගෙන තිබුණා. ඇයගේ බොහෝ සැලසුම් තමන් ගේ සැලසුම් වලට වඩා තිරසාර බව වටහා ගත්තාට පස්සේ කනිෂ්ක බොහෝ තැන් වල ඇයට ඉඩ දුන්නා.
මාස හයක් ගෙවුණා. ගොවිපලේ මූලික ගොඩ නැංවීම් අවසාන වෙන්න පටන් අරගෙන තිබුණේ. ඒ වගේම, ඒ වෙනකොට කනිෂ්ක ගේ හිතෙත් කලින් තිබුණ ඕලාරික හැඟීම් ක්ශය වෙන්න අරගෙන, නැවුම් පුසුඹක් ඉහෙන්න අරගෙන තිබුණේ.
“මට හෙට නිවාඩුවක් ඕනි…”
විහාරා එහෙම කිව්වම කනිෂ්ක ඔලුව වැනුවේ අකමැත්තෙන්. දවසක්ම ඇයව නොදැක සිටීමේ අපහසුව ඔහුට වැටහෙනවා. ඒත්;
“මාව බලන්න මනමාලයෙක් එනවා ..”
කනිෂ්ක ගේ හිස මතට ටොන් ගානක බරක් දාලා , එහෙම කියාගෙනමයි විහාරා සමුදුන්නේ. කනිෂ්ක ඒ ඇහුණ වචන විශ්වාස කරගන්න බැරුව වගේ බලාගෙන හිටියා. ජීවිතේ මෙහෙම බව තේරුම් අරගෙන කනිෂ්ක ආයෙම ගෙදර යනකොට රෑ දහයටත් කිට්ටුයි.
“හෙට ගෑණු ළමයෙක් බලන්න යන්න තියෙනවා…”
අම්මා කිව්වා.
“හා.. යමු…”
කනිෂ්ක කිව්වේ හිතේ තිබුණ හිස් හැඟීමෙන්මයි.
වෙනදා විදියටම ගමන පිටත් වුණා.
ඒත් ගැහැණු ළමයාගේ නිවසේ මිදුලට ඇතුළු වෙනකොටම කනිෂ්ක ට මොකද්දෝ වෙනසක් දැනුණා. ඒ වෙනසට හේතුව හිතන්න උත්සාහ නොකර හිටියේ, හිත ඊට වඩා හිස් ගතියක තිබුණ නිසා.
“මේ අපේ දුව…..”
ඒ හඬත් එක්කම කනිෂ්කටත් පඩිපෙල දිහාව බැලුණා. පඩිපෙලේ අවසාන පඩිය බැහැගෙන එන යුවතිය දැක්කහම කනිෂ්ක එකපාරටම නැගිට්ටුණා. සිද්ධියේ අහුකොන් දැනගෙන හිටපු කනිෂ්ක ගේ මල්ලී , විහාරා ගෙ නංගීගේ දිහාවට ඇහැක් ගහලා හිනා වුණා. අම්මලා නම් හිටියෙ කනිෂ්ක ගේ ඒ උද්‍යෝගීමත් හැසිරීම හිතාගන්න බැරුව.
විහාරා කනිෂ්ක ඉස්සරහින් හිටගෙන, බුලත් හෙප්පුව කනිෂ්ක ට ඇල්ලුවා. ඒත් කනිෂ්ක හිටියේ පියවි සිහියේ නෙවෙයි.
.
.
.
“ඔයා එක පාරටම මොකක්ම හරි හේතුවක් කියලා අකමැති වෙන බව මල්ලී කිව්වා. මල්ලී අපේ නංගීගේ බැච් එකේ….ඔයාගේ ව්ස්තර ඇහුවම, මටත් ඔයාගේ ජීවිතේ එල්ලෙන්න ආස හිතුණා … ඉතින් අපි සැලැස්මක් හැදුවා….”
විහාරා කබානා එකේ කවුලුවකින් එලිය බලාගෙන කියනකොට කනිෂ්ක හිනා වුණා.
“මරු මනමාලි…”
ඊට පස්සේ එහෙම කිව්වා.
“නරකට තියේවි… මං දැක්කනේ මනමාලයෙක් මාව බලන්න එනවා කිව්වම මූණ හේබාලා ගිය හැටි….”
විහාරා එහෙම කියලා කනිෂ්ක ට වඩා හයියෙන් හිනා වුණා.
ජීවිතේ අපි ගන්න සමහර දරදඬු තීරණ වෙනස්වෙන්න නම්, සෑහෙන්නම තද බල හේතුවක් ඉස්සරහට එන්නම ඕනි. ඊට පස්සෙ ඒ දරදඬු කම් අයිස් වගේ වෙනවා.
ඒ නිසා ජීවිතේ ගැන අලුත් බලාපොරොත්තු අතාරින්න එපා..!!!