“ඒක මහා බයානක ඇක්සිඩන්ට් එකක්.ඔයාවයි මාවයි බේරෙයි කියලත් කවුරුවත්ම හිතලා නෑ.”
අම්මා ඒ කතාව නිතරම කියපු කතාවක්.මගේ තාත්තා ගැන මම අහන හැම වතාවකම අම්මා කියන්නේ එහෙම කතාවක්.මාව ලැබෙන්න හිටපු අම්මා සහ මගේ තාත්තා අනතුරට පත් වුණු හැටිත් ඊටත් පස්සෙ තාත්තා ජීවිතක්ෂයට පත් වුණු හැටිත් අම්මාත් මමත් බොහොම අමාරුවෙන් ජීවිතේ බේරා ගත්තු හැටිත් අහන්න වටින කතාවක්.
“අම්මාට ආයේ මැරි කරන්න තිබුණේ..”
මම කියද්දී අම්මා හිනා වෙනවා. මගේ අක්කා වගේ පෙනුමක් තියන මගේ අම්මාට ආයේ වතාවක් කසාද බඳින්න පුලුවන් තමයි.ඒත් අම්මා මාව බලාගෙන ජීවිතේ සන්සුන්ව ගෙවා දැම්මා මිසක් ආයෙත් විවාහයකට උනන්දු වුණේ නැහැ.
“ආදරේ කරද්දී පරිස්සමින්.”
ඒ කතාව හැමතිස්සෙම කියන්න අම්මා පුරුදු වෙලා හිටියා.ආදරේ පරිස්සමින් උපදින්න ඕන හැඟීමක්ද? මං ඒ ගැන එච්චර හිතුවේ නෑ.හැබැයි ආදරය මොන වෙලාවක හරි උපදින බව මම දැනගෙන හිටියා.
“කේශරට ඇවිල්ලා මාව මුණ ගැහෙන්න කියන්න..”
අම්මා කියන්නේ හරි තදින්.පෙකණිවැල නොකැපූ ළමයි ගැන කොහේදී හෝ කියවපු මම අම්මා දිහා බලාගෙන හිටියේ කේන්තියෙන්.
“අම්මා..මට විසි එකක්.මට තීරණ ගන්න අයිතියක් ඉඩක් දෙන්න.කේශර මට ගැලපෙනවා නම් මං එයාව එක්කන් එන්නම්..අපිට ටිකක් ආස්සරේ කරන්න ඉඩ දෙන්න..”
මම අම්මාට කෑගැහුවා.ආදරේ කරනවද නැද්ද කියලා තවම දෙගිඩියාවෙන් ඉන්න මම කේශරව හෙට අනිද්දට කසාද බඳින්න හිතාගෙන ගෙදර එක්කන් එන්නේ මොකටද? මගෙත් අම්මාගෙත් වයස් පරතරය හරියටම අවුරුදු දහනවයක්.ඒත් අම්මාගේ ආකල්ප අත්තම්මාටත් වඩා පහළ තැනකට නොවැටෙනවාම නෙවෙයි.
“රුචී..අම්මාට පොඩ්ඩක් සනීප නෑ.ගෙදර එන්න පුලුවංද?”
අත්තම්මාගේ දුරකථන ඇමතුම එනකොට මම කාර්යාලයේ කරවටක වැඩ ගොඩක හිර වෙලා හිටියේ.ඒත් මම ගෙදර ගියේ ඉගිල්ලිලා වගේ.කේශර මාව එක්ක යන්න ඉදිරිපත් වුණා.ඇත්තටම කේශරට අම්මා මුණ ගැහෙන්න වුණේ ගෙදර දී නෙවෙයි. ඉස්පිරිතාලෙ දී.
“රුචීව හොඳට බලා ගන්න..”
අම්මා කේශරගේ අතින් අල්ලන් කියද්දී මම අහක බලා ගත්තා.අවුරුද්දක් ආස්සරේ කරලා ඉදිරිය ගැන හිතන්න මම තීරණය කළා. අම්මා මාව කේශරට බාර කරනවා.
“අම්මට තාම හතලිහයිනෙ..බය වෙන්න දෙයක් නෑ.හාට් ඔපරේෂන් එකක් කරන්න වුණොත් අපි කරමු..”
කේශර සමු ගත්තේ එහෙම කියාගෙන.
“අත්තම්මටවත් නැතිතරමට අම්මට අසනීප..අනේ මන්දා අත්තම්මා.අපේ අම්මා හරිම දුර්වලයි..”
අත්තම්මාට මම එහෙම කීවේ ආපහු ගෙදර එන අතරේ.අත්තම්මා මොකුත් නොකියා හීල්ලුවා.
“අනේ ඉතිං සුවල්ප වේදනා දරා ගත්තු හිතක් ද ඔය..ඔහොමවත් උහුලං හිටිය මදැයි..”
අත්තම්මා හීන් ඉකියකින් කියද්දී පවා මම හිතුවේ අම්මාට මෙච්චර ඉක්මනින් හදවත් රෝගයක් එන්න හේතු වුණු විද්‍යාත්මක පසුබිම ගැන.
අම්මාට පහුවදා රෝහලට අරන් යන්න බඩු මුට්ටු ලෑස්ති කරමින් මම මහ රෑ වෙනකම් අම්මාගේ කාමරයේ රැදුණා.අම්මාගේ අල්මාරියේ තිබුණු දිනපොත කියවන්න මට හිතුණේ ඇයි කියලා මම දන්නේ නෑ.ඒත් මම ඒක කියෙව්වා.පොල්ලකින් තදින් ඔලුවට පහර දුන්නා වගේ දැනෙන හැඟීම නැති කරගන්න මම මහ රෑ එකට වතුර මල යටට වෙලා සෑහෙන වෙලාවක් ඉන්න ඇති.අම්මා ළඟම රෝහල් සයනයක නවතින්න වෙයි කියලා හිතෙන තරමට මගේ පපුව රිදෙන්න ගත්තා.අන්තිමට මම මාව සන්සුන් කරගත්තේ අම්මා ගැන හිතලා.අම්මා ලෙඩ වෙලා ඉන්න වෙලාවක මටත් ලෙඩ වෙන්න අයිතියක් නෑ.
මේ හැමදෙයක්ම කේශර එක්ක කියන්න මට හිතෙනවා.ඒත් ඒ අම්මාගේ රහසක්.අම්මාට ඕනනම් අම්මා කේශරට ඒ දේවල් කියපුවාවේ.
මැරුණු බව හිතාගෙන හිටිය කෙනෙක් ජීවත් වෙන බව දැන ගැනීම මේ තරම් කම්පනයක් වෙයි කියලා මට හිතුණේ නෑ. නමුත් ඒ තමයි කම්පනය.මරණයට වඩා රහසකට පුලුවන් අපිව සංවේදී කරන්න.කේශරට ඒ රහස කියන්න කිහිපවතාවක් හිතපු මම අන්තිමට එයාට කිව්වේ වෙනත් කතාවක්.
“කේශර, ඔයාට හිතෙනවා නම් ඇත්තටම මම තමයි ගැලපෙන කෙනා කියලා අම්මලත් එක්ක අපේ ගෙදර එන්න..”
සුවවෙමින් හිටිය අපේ අම්මා ඉන්නේ සන්තෝසයෙන්.අත්තම්මා එක්ක මහ රෑ වෙනකන් කෑම ජාති හදන එයාට කේටරින් සහ අවන්හල් ගණනාවක නම් මතක් කළාට තේරුමක් නෑ.එයාට ඕනෑ තනියම උයන්න.මහන්සි වෙලා ලෙඩ වුණොත් බලා ගන්නම් කියලා මම තරවටු කරද්දී පවා අම්මා කළේ හිනාවෙන එක.
“ඔයාට පවුලක් ලැබෙන එක තරම් සතුටක් මට නෑ..”
එදා රෑ නිදා ගන්න කලින් මං ගාවට ආපු අම්මා එහෙම කිව්වා.මම අම්මාගේ ඇස් දෙකට එබිලා ඇහුවේ මාස ගණනක් තිස්සේ අහන්න හිටිය දෙයක්.
“ඇයි අම්මා මාව නැති නොකරේ.අම්මව රවට්ටපු මනුස්සයා ඉන්න තැන මට නොකියා ඇයි එයා මැරිලා කියලා මට කියන්නේ..”
අම්මා සන්සුන් හිනාවකින් මං දිහා බලාගෙන හිටියා.
“මං ඔයාට ආදරේ නිසා..”
මධ්‍යම රාත්‍රිය ගෙවිලා හෝරා කිහිපයක් ගිහින්.මම තවමත් අම්මාගේ මහා ආදරය ගැන කල්පනා කරනවා.අම්මා මට තාත්තා වුණු තැන් මතක් කරනවා.මගේ ඇඟේ දුවන ලේ වල අයිතිකාරයා ගැන වෛරයක් ඇති නොකර ආදරයක් ඇති කරන්න අම්මා කියපු අහිංසක බොරුව ගැන හිතනවා.
රැවටිලිකාර ප්‍රේමයක් නිසා කුසට එන දරුවෙක් බාර ගන්න හිත හදා ගන්න හැමෝටම බෑ.එහෙම හැම කෙනෙක්ම කරන්න ඕන කියලා මම හිතන්නෙත් නෑ.
ඒත් අම්මා ඒ අභියෝගය බාර ගත්තා. අම්මාට මෙතැනින් එහා ජීවිතේ අභියෝගයක් නොකර ආශිර්වාදයක් කරන්න පුලුවන් මට විතරයි.