Hair colour එකක් කරන්න කලින් ඔබ දැනගත යුතුම කරුණු..

හිසකෙස් වර්ණ ගැන්වීම , එහෙමත් නැත්නම් hair colour කිරීම කියන්නේ තරුණියන් ගොඩක් ආස දෙයක්. නමුත් මේ වගේ විලාසිතාවක් කරන්නට කලින් ඒ පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගත යුතුමයි. අද අපි ඔබට කියන්නට යන්නේ ඔබ ඔබේ හිස කෙස් වර්ණ ගන්වන්නට කලින් දැනගත යුතුම කාරණා කිහිපයක් ගැනයි.

නිවැරදි වර්ණය තෝරා ගන්න

හිසකෙස් වර්ණ ගන්වන්නට කලින් ඔබට ඔබ අවශ්‍ය දේ ගැන පැහැදිලි චිත්‍රයක් තිබිය යුතුයි. ඔබට අවශ්‍ය කුමන ආකාරයේ වර්ණ ගැන්වීමක් ද , කුමන වර්ණයක්ද කියා ඔබට ඔබේ රූපලාවන්‍ය ශිල්පියාගේ උපදෙස් අනුව තීරණය කිරීමේ හැකියාව තියෙනවා. විශේෂම කාරණාව නම් ඔබ හිස කෙස් සඳහා තෝරාගන්නා වර්ණය ඔබේ සමේ පැහැයට ගැළපෙන එකක් විය යුතු වීමයි. ඔබේ සමේ පැහැයට නො ගැලපෙන වර්ණයක් ඔබ හිස කෙස් වලට යෙදූ විට ඔබේ පෙනුම සම්පූර්ණයෙන්ම වෙනස් වීමට ඉඩ ඇති නිසා ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුයි 

නිවැරදි විලාසිතාව

හිසකෙස් වර්ණ ගැන්වීම විවිධ විලාසිතා අනුව මේ වන විට සිදු කරනවා.එය ඔබේ අවශ්‍යතාවය , කැමැත්ත සහ ඔබේ හිසකෙස් වල දැනට තිබෙන විලාසිතාව අනුව වෙනස් කර ගත හැකියි. ඔබට අවශ්‍ය highlight කිරීමක්ද , සම්පූර්ණ කෙස් කළඹම වර්ණ ගැන්වීමක් ද , එක් කොටසක් පමණක් වර්ණ ගැන්වීමක්ද , වර්ණ කිහිපයක් යෙදීමද , එසේ නැත්නම් වෙනත් නව විලාසිතාවක්ද කියා ඔබ ඔබේ රූපලාවන්‍ය ශිල්පියා සමග පැහැදිලි ලෙස සාකච්ඡා කර තීරණය කර ගත යුතුයි. 

කාලය

හිසකෙස් වර්ණ ගැන්වීම සඳහා යොදා ගන්නා නිෂ්පාදන හිසකෙස් මත ගල්වා තිබිය යුතු නිශ්චිත වේලාවක් තිබෙනවා.සමහර වෙලාවට ඒවා නිෂ්පාදනයෙන් නිෂ්පාදනයට වෙනස් වෙන අවස්ථාව තිබෙනවා. කෙසේ වෙතත් හිසකෙස් වර්ණ වල ආයු කාලය සහ පැවැත්ම සඳහා මෙය වැදගත් වනවා. ඒ නිසා ඔබ රූපලාවන්‍යගාරය වෙත යන විට පැය කිහිපයක කාලයක් එම කාර්යය සඳහා වෙන්කර කලබලයකින් තොරව එහි ගත කිරීමට සූදානම් වී යන්න.

පෙර පරික්ෂාව

ඉතාම හොඳ ගුණාත්මක භාවයකින් යුතු නිෂ්පාදන පවා සමහර විට ඔබට ආසාත්මිකතා ඇති කළ හැකියි. ඒ නිසා ඔබේ වර්ණ ගැන්වීම සිදුකිරීමට පැය විසි හතරකට හෝ පැය 48කට පෙර පරීක්ෂා කරවා ගැනීමට ඔබේ රූපලාවන්‍ය ශිල්පියාගෙන් උපදෙස් ලබා ගැනීමට අමතක කරන්නට එපා. ඔබ විලාසිතාව සිදුකරන්නේ ඔබේ හිසට නිසා එසේ පෙර පරීක්ෂාව සිදු කර ගැනීම අතිශයින්ම වැදගත්.

පෙර සූදානම 

හිස කෙස් වර්ණ ගන්වන්නට කලින් පෙර සූදානම අතිශයින්ම වැදගත් වනවා. ඔබේ හිසකෙස් වල වර්තමාන තත්ත්වය පිළිබඳව සහ ඒ සඳහා කළ යුතු දේවල් පිළිබඳවත් ඔබ අවධානය යොමු කළ යුතුයි. ඔබේ හිසකෙස් හානියට පත් වී , අග පැලී තිබෙනවා නම් එවැනි හිසකෙස් කොටස් වර්ණ ගැන්වීම සිදු කිරීමට පෙර කපා ඉවත් කළ යුතුයි.

ශැම්පු කිරීම 

ඔබට තිබෙන්නේ ඉතාම වියළි කෙස් කළඹක් නම් , හිසකෙස් වර්ණ ගැන්වීමට පෙර හොඳින් කන්ඩිශනර් කිරීම සිදු කළ යුතුයි. බොහෝ දෙනෙක් වර්ණ ගැන්වීමට පෙර ෂැම්පු කිරීම සිදු කරනවා. ශැම්පු කිරීමෙන් අනතුරුව කන්ඩිශනර් කිරීම අනිවාර්ය වන අතර ඕනෑවට වඩා ෂැම්පු කිරීම මගින් හිසකෙස් වල ආරක්ෂාවට අවශ්‍ය වන ස්වාභාවික තෙල් පවා ඉවත් විය හැකියි. ඒ නිසා ඔබේ හිස කෙස් පිරිසිදු කිරීමට යොදා ගන්නා ෂැම්පු ප්‍රමාණය , ෂැම්පු වර්ගය පිළිබඳවත් සැලකිලිමත් වන්න.

හිසකෙස් වර්ණ ගැන්වීමෙන් අනතුරුව එය ආරක්ෂා කර ගැනීම සහ පවත්වාගෙන යාමත් ඔබ සතු වගකීමක්. වර්ණ ගැන්වීමෙන් පසුව ඔබ සාමාන්‍යයෙන් යොදන ශැම්පු සහ කන්ඩිෂනර් භාවිතා කිරීමේ හැකියාව නැහැ.ඒ නිසා ඔබභාවිතා කළ යුතු නිෂ්පාදන ,ඒවා භාවිතා කළ යුතු ආකාරය ,පසු සත්කාර වලට පැමිණිය යුතු කාලය ආදී සියලුම කාරණා පිළිබඳව රූපලාවන්‍ය ශිල්පියාගේ උපදෙස් ලබා ගන්න අමතක කරන්නට එපා.

Related Articles

Don't Miss


Latest Articles