සෞර්යා හිටියේ මේසයක් යට.හොඳටම අඬමින්.එයාගේ කහ පාට බෝනික්කා තුරුලු කරගෙන මගේ පුංචි දුව හිටියේ මේ ලෝකයේ එයාට ඉන්නේ බෝනික්කා විතරක් කියන හැඟීමකින්.
“අනේ රත්තරන්.. මේ මොකද? කෝ එන්න බලන්න..”
මේසය යටින් දූව අරගෙන තුරුළු කරගනිද්දී එයා ඉකි ගහන්න පටන් ගත්තා.
“මට අම්මා එපා..”
කවමදාවත් අහන්න අකමැති වචන ටිකක් ඊටත් පස්සේ මගේ පුංචි දූ කියන්න පටන් ගත්තා.
“මට අම්මා එපා. මල්ලියත් එපා..”
අද හවස අපේ පවුලේ අලුත් සාමාජිකයා වුණු මගේ පුතා බලන්න අම්රිතා එන්න හැමදෙයක්ම සාමාන්‍ය විදියට සිද්ධ වුණා. මල්ලි මේ ලෝකෙට ඇවිත් තවම මාසයක් වුණත් පුංචි සෞර්යා එයාට මහා ගොඩක් ආදරේ කළා. මල්ලිගේ වැඩ කරන්න මට උදව් කළා.හරි පරිස්සම් හාදුවක් මල්ලිට දුන්නා.සෙල්ලම් කරන තරමට මල්ලි ලොකු වෙනකම් මල්ලිව හොඳින් බලා ගන්න එයා මට පොරොන්දු වුණා.
ඒත් අම්රිතා කුණාටුවක් වෙලා අද හවස කඩා වැදුණේ හැම දෙයක්ම අවුල් කරමින්.
“සෞර්යා..දැන් අම්මි ඔයාට ආදරේ නෑ නේද? හැමතිස්සෙම ඉන්නේ මල්ලිව තුරුළු කරන් නේද?”
අම්රිතා මුලින්ම එහෙම අහද්දී සෞර්යා ඇස් රතු කරගෙන මං දිහා බැලුවේ අවිශ්වාසයෙන්.
“මේ මම මල්ලිට තෑගි ගොඩක් ගෙනාවා. ඔයාට ඕන නෑ.. ඔයා ලොකු ළමයෙක්නෙ.”
ඊටත් පස්සේ තවත් අවනඩුවක්.සෞර්යා මූණ නරක් කරගෙන ඉවතට ගියේ දුකින් බව හිතුණු නිසා මම ඉක්මනින් එයාව වඩා ගත්තා.
“හරි කෝලමක්නෙ.. මේ ලොකු ළමයෙක් මොකද මේ..”
අම්මා දැන් වඩාත් ආදරේ මල්ලිට බවත් සෞර්යා හුරතල් වුණාට තේරුමක් නැති බවත් වරින්වර සිහි කරපු අම්රිතා යන්න ගියේ සෞර්යා අපි ගැන තියපු විශ්වාසය සම්පූර්ණයෙන් ම බිඳ වට්ටලා.ඒ තුවාලය සුව කිරීම ඇත්තටම පහසු එකක් වෙන එකක් නෑ.
දොර සීනුව ආයේ වැදුණේ ඒ මොහොතේ.මගේ තවත් මිතුරියක් වන ජානුත් අද අපි බලන්න එන බව මට සිහි වුණේ එතකොට.
ආයේම සෞර්යා අවුල් වෙයිද? මම දොර විවෘත කළේම හිත් පීඩාවෙන්.
“සෞර්යා..කෝ මගේ බෝනික්කි..”
ජානු දොරටුව ළඟ දෑත් විහිදාගෙන සෞර්යා තුරුලට ගත්තා. උණුසුම් හාද්දකට පස්සේ ඇය ලොකු පාර්සලයක් සෞර්යාට දුන්නා.
“මල්ලිටද?” පුංචි සෞර්යා අහන්නේ තිගැස්මෙන්.
“ඔය මගේ සෞර්යාට අලුත් බෝනික්කෙක්. අපි එයාට රෝසි කියමුද.. එයා රෝස පාටයි.ඔයා වගේම..”
තමන්ට අලුත් මල්ලි කෙනෙක් ලැබුණු බවත් එයා හරිම ලස්සන බවත් සෞර්යා කියනතුරුම ජානු හිටියේ මල්ලි බබා ගැන නොදන්න ගාණට.ඊටත් පස්සේ මල්ලිට අක්කා කොච්චර ආදරේ කරන්න ඕනද කියන දේ සහ අම්මාට මල්ලි බලා ගන්න සෞර්යාගේ උදව් මොනතරම් ඕනෑද කියලා කියා දෙන්න ජානු ආන්ටි ප්‍රවේසම් වුණා.
සෞර්යා රෝස බෝනික්කාට එයාගේ අනිත් බෝනික්කෝ හඳුන්වලා දෙන්න ගිය වෙලාවේ අම්රිතා අතින් කැඩුණු හිත ගැන මම ජානුට හෙළි කළා.
“අලුත් බබෙක් බලන්න ගෙදර ගියාම හැම කෙනෙක්ම කරන නරක වැරැද්දක් මීනු ඒක. ලොකු බබාට පේන්න අලුත් බබාට ආදරේ කරන එක, එයාට විතරක් තෑගි ගේන එක,අම්මා දැන් ආදරේ අලුත් බබාට කියන එක මහ නරක වැරැද්දක්. දරුවො පෞරුෂ ගැටලුවලට ලක් වෙන්න ඕවා හේතු වෙනවා..”
ජානු කියන්නේ කල්පනාකාරීව.සෞර්යා ආයේම දුවගෙන ඇවිත් මට තුරුළු වුණේ ඒ වෙලාවේ.දැන් අම්රිතා ඇති කරපු වේදනාව ඇගේ පුංචි හිතෙන් මැකිලා.
“චූටි දූ. මං ඔයාට රහසක් කියන්නද.. අම්මා මට කීව රහසක්..”
ජානු සෞර්යාගෙන් අහන්නේ මුහුණ ආදරයෙන් පුරවාගෙන. සෞර්යා දෑස් නටවමින් රහස අහන්න සූදානම්.
“අම්මා මට කිව්වා ලෝකෙ ඉන්න හොඳම අක්කි බබා ඔයා කියලා. අපිට ඒ ගැන හරිම ආඩම්බරයි..”
සෞර්යා මාව වැළඳගෙන ” අයි ලව් යූ අම්මා” කියද්දී හැම දෙයක්ම හරි වග මට වැටහුණා.පුංචි හිතක් නොතැලෙන්න පරිස්සමින් වැඩ කරන්න පුලුවන් කීයෙන් කී දෙනාට ද?
ස්තූතියි ජානු!
තුවාල සහිත දරුවෙක් බිහි වීම වැළැක්වූවාට ස්තූතියි!