ඔබේ නිවසේ විදුලි බිල අඩුකරගන්න මේ දේවල් හරියටම කරන්න…

අද වෙද්දි ශ්‍රී ලාංකිකයො විදිහට අපි හැමකෙනෙක්ටම පොදුවේ ආර්ථික ගැටළු රාශියකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනව කියල අපි කවුරුත් දන්නවනෙ. 

දිනෙන් දින ඉහළ යන බඩු බිල, අධ්‍යාපන වියදම්, සෞඛ්‍ය වියදම් වගේම ජලය සහ විදුලිය වැනි අත්‍යාවශ්‍ය සේවාවන් ලබා ගැනීම වෙනුවෙන් ගෙවිය යුතු මිල ගණනුත් දිනෙන් දින වෙනස් වෙන මේ වගේ කාලයකදී රටක අනාගතය වෙනුවෙන් පුරවැසියන් ලෙස අපි ගත් සමහර තීන්දු තීරණ නිවැරදිද කියල නැවත කල්පනා කරල බලන්න අපිට හොඳ අවස්ථාවක් ලැබිල තියෙනවා.

ඒ කොහොම වුනත් අනවශ්‍ය වියදම් සීමා කිරීම කියන්නෙ පවතින ආර්ථික තත්වයේදී පමණක් සලකා බැලිය යුතු කාරණාවක් නෙමෙයි. 

අන්න ඒ නිසා මේ දිනවල වැඩි දෙනෙක්ට හිසරදයක් වෙලා තියෙන නිවසේ විදුලි බිල අඩුකරගන්නෙ කොහොමද කියන කාරණාව ගැන ඔබත් එක්ක කතා කරන්නයි අපි මේ සූදානම් වෙන්නෙ. 

මේ දේවල් හරියටම කරොත් නිවසේ විදුලි බිල කැපීපෙනෙන විදිහට අඩුකර ගන්න ඔබටත් පුළුවන් කියල අපිට විශ්වාසයි.

හරියටම හරියන විදුලි බල්බ

කහ එළියකින් යුතු සාමාන්‍ය තාප දීප්ත විදුලි බුබුළු වෙනුවට CFL එහෙමත් නැත්නම් සං‍යුක්ත ප්‍රතිදීප්ත පහන් යොදාගැනීම සෑම අතින්ම ඔබට වාසිදායක වෙනවා. 

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කරන ආකාරයට සාමාන්‍ය විදුලි බල්බයකින් CFL බල්බයකට මාරු වීමෙන් එම බල්බයේ ආයු කාලය තුළ රුපියල් 1000 කට වඩා වැඩි මුදලක් ඉතිරිකර ගන්න ඔබට හැකියාව ලැබෙනවා. 

ඒ වගේම සාමාන්‍ය විදුලි බල්බයක ආයු කාලය දළ වශයෙන් පැය 750 – 900 ත් අතර වුනත් CFL බල්බයක ආයු කාලය සාමාන්‍යයෙන් පැය 8000 ක් පමණ වන බව සොයාගෙන තිබෙනවා. 

ඒ නිසා එයත් ඔබට ලැබෙන අමතර වාසියක් ලෙස හඳුනාගන්න පුළුවන්. 

දැන් වෙළඳපොලේ දකින්න සහ මිලදී ගන්න ලැබෙන LED විදුලි බල්බ වල ආයු කාලය සාමාන්‍යයෙන් පැය 25 000 ක් පමණ වන අතරම අනෙක් බල්බ වලට වඩා 84% ක පමණ අඩු විදුලියකින් වැයකර වැඩි ආලෝකයක් ලබාදීමේ හැකියාවත් තියෙනවා. 

ඒ නිසා ඔබට LED බල්බ තෝරාගැනීමේ හැකියාවත් තියෙන බව අපි මතක් කරන්න කැමතියි. 

හරි විදිහට දල්වන විදුලි පහන් 

නිවසේ සෑම ස්ථානයකටම එකම දීප්තියෙන් යුතු විදුලි බල්බ අවශ්‍ය වෙන්නෙ නෑ.

පොත් කියවීම සහ ආහාර පිසීම වගේ සමීපව කරන කටයුතු සඳහා යොදාගන්නා ස්ථාන වලට වැඩි ආලෝකයක් ඇති විදුලි බල්බ යොදාගන්න පුළුවන්. අනෙක් ස්ථාන වලට එතරම් ආලෝකයක් අවශ්‍ය වෙන්නෙ නෑ. 

වැඩි ආලෝකයක් සහිත විදුලි බුබුළු අවශ්‍ය ස්ථානවලට පවා ස්වභාවික ආලෝකය හොඳින් වැටෙන පරිදි සකස් කරොත් දහවල් කාලයේදී අමතර විදුලි බල්බ දල්වන්න අවශ්‍ය වෙන්නෙත් නෑ. 

ඒ වගේම බිත්ති සහ තිරරෙදි සඳහා දීප්තිමත් වර්ණයන් තෝරා ගැනීමත් කරන්න පුළුවන්. එමඟින් ස්වභාවික ආලෝකය වගේම විදුලි බල්බ වල ආලෝකයත් වැඩිපුර ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. 

ඒ වගේම විදුලි බුබුළු සහ සවිකරු (fixtures) හොඳින් පිරිසිදු කරන්නත් අමතක කරන්න එපා. පිරිසිදු විදුලි බුබුළු වලින් නිපදවන ආලෝකය සහ දුහුවිලි බැඳුණු අපිරිසිදු විදුලි බුබුළු වලින් නිපදවන ආලෝකය අතර කැපීපෙනෙන වෙනසක් තිබෙනවා. 

විදුලි උපකරණ පේනු වලින් ඉවත් කරන්න

විදුලි උපකරණ භාවිත කර අවසන් වන සෑම අවස්ථාවකදීම පේනු වලින් ඉවත්කර තැබීම අත්‍යාවශ්‍ය බව සඳහන් කළ යුතුමයි. 

පරිඝනක, රූපවාහිනී, සං‍යුක්ත තැටි ධාවක (CD/DVD player) වගේ සමහර උපකරණ ක්‍රියා විරහිත කර ඇති නමුත් පේනු වලට සම්බන්ධ කර ඇත්නම් විදුලිය පරිභෝජනය කරන බව ඔබ දැනන් හිටියද? 

ඇතැම් උපකරණ ස්විචයෙන්ම ක්‍රියා විරහිත කරත් විදුලිය පරිභෝජනය කරන අවස්ථාත් දකින්න ලැබෙනවා. 

ඒ නිසා විදුලි උපකරණ භාවිතා නොකරන අවස්ථා වලදී, නිවසේ නොමැති අවස්ථා වලදී, නිවාඩුවක් හෝ දින ගණනකට නිවසෙන් පිටව යන අවස්ථාවකදී විදුලි උපකරණ පේනුවලින්ම ඉවත් කිරීමෙන් විදුලිය ඉතිරි කරගන්න වගේම උපකරණ පිළිස්සීමේ අවධානම අඩුකරගන්නත් පුළුවන්. 

රෙදි සෝදන යන්ත්‍ර

රෙදි සෝදන යන්ත්‍ර මත අනවශ්‍ය රෙදි ප්‍රමාණයක්, වතුර ප්‍රමාණයක් හෝ රෙදි සෝදන දියර හෝ කුඩු නොදමන්න ඔබ කටයුතු කළ යුතුමයි. 

ඒ පියවර ඔබේ රෙදි සෝදන යන්ත්‍රයේ දීර්ඝකාලීන පැවැත්මට වගේම විදුලිය ඉතිරි කරගන්නත් ඍජුවම දායකත්වයක් ලබාදෙනවා. 

ධාරිතාව ඉක්මවා රෙදි හෝ වතුර යෙදීම නිසා රෙදි සෝදන යන්ත්‍රයට දැරිය හැකි බර ප්‍රමාණය ඉක්මවා ගොස් එහි කාර්‍යක්ෂමතාව අඩුවී රෙදි සේදීමට වැඩි කාලයක් ගතවීම සිදුවෙනවා. 

නියමිත ප්‍රමාණය ඉක්මවා රෙදි සෝදන කුඩු හෝ දියර යෙදීම මඟින් රෙදි සෝදන යන්ත්‍රයේ මෝටරය ආයාසයකින් යුතුව ධාවනය වීම සිදුවී එහි කාර්‍යක්ෂමතාව අඩුවීමත් සිදුවෙනවා. 

ඒ වගේම යට ඇඳුම් සහ සිනිඳු රෙදි වලින් කරන ලද සැහැල්ලු ඇඳුම් අතේ සේදීමත් හොඳ විසඳුමක්. මොකද අනෙක් ඇඳුම් වලට හා සමාන සේදීම් වාර ගණනක් අවශ්‍ය වෙන්නෙ නැති නිසා රෙදි සෝදන යන්ත්‍රයට දැමිය යුතු රෙදි ප්‍රමාණය සීමා කරගන්න පුළුවන්. 

අඩු රෙදි ප්‍රමාණයක් හෝ ඇඳුම් කීපයක් වෙනුවෙන් රෙදි සෝදන යන්ත්‍රය ක්‍රියාත්මක කරනවාට වඩා වැඩි ඇඳුම් ප්‍රමාණයක් එකතු වීමෙන් පසු රෙදි සෝදන යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමත් විදුලිය වැයවීම අඩුකරන්න හොඳ උපක්‍රමයක්. 

ශීතකරණ

ශීතකරණයේ සාමාන්‍ය කොටසේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 3 ත් 4 ත් අතර ප්‍රමාණයක පවත්වා ගන්නත් අධි ශීතකරණ කොටසේ උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 15 සිට 10 දක්වා අගයකත් පවත්වා ගන්න කටයුතු කළ යුතුයි. 

ශීතකරණයේ පංකාවල හිඩැස් සහ ශීතකරණය පිටුපස කොයිල් වල දුහුවිලි බැඳීම වැළකෙන පරිදි නිතරම හොඳින් පිරිසිදු කිරීමත් අනිවාර්‍යයි. 

ශීතකරණයේ දොරවටා ශීතකරණයේ උෂ්ණත්වය ඇතුළට පිටට නොයන ලෙස සීල් වීමට (air lock) සාදා ඇති ප්ලාස්ටික් ආවරණය දොරට නිසිලෙස සවිවී දොර හොඳින් සීල් වී ඇති දැයි නිරීක්ෂණය කිරීමත් අත්‍යාවශ්‍ය බව අපි ඔබට මතක් කරන්න කැමතියි. 

වායු සමීකරණද? විදුලි පංකාද?

වායු සමීකරණ යන්ත්‍ර වලට වඩා විදුලි පංකා වලට වැයවෙන විදුලිය ප්‍රමාණාත්මකව අඩු අගයක් ගන්න බව සඳහන් කළ යුතුයි. ඒ අතරිනුත් සිවිලිම් වලට සවිකරන විදුලි පංකා සඳහා වැඩි විදුලි ප්‍රමාණයක් වැයවෙන බවයි සඳහන් වෙන්නෙ. 

වායු සමීකරණය භාවිතා කරන විට ජනෙල් දොරවල් හොඳින් වසා තැබීම, වායු සමීකරණයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 26 ට තබා ගැනීම වගේම වායු සමීකරණය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන වේලාවට විනාඩි 30 කට කලින් (විනාඩි 30 නොඉක්මවිය යුතුයි) වායු සමීකරණය ස්වංක්‍රීයව ක්‍රියාත්මක වන ලෙස සකසන්නත් අමතක කරන්න එපා. 

විදුලි ඉස්ත්‍රික්කය

සතියකට අවශ්‍ය රෙදි ප්‍රමාණය එක්වරම මැද ගැනීම වඩා ඵලදායී බව අප මෙහිදී සඳහන් කරන්න කැමතියි. 

මුළුතැන්ගෙයි උපකරණ

පීඩන උඳුන් එහෙමත් නැත්නම් pressure cooker භාවිතය, සාමාන්‍ය විදුලි අවනයකට වඩා මයික්‍රොවේව් විදුලි අවන් භාවිතය වගේම බඳුන් වල පියන වසා ආහාර පිසින්නත් රයිස් කුකර් වලට යොදන සහල් හෝ වෙනත් ධාන්‍ය පොඟවා භාවිතා කරන්නත් රයිස් කුකර් වලට සාමාන්‍ය ජලය වෙනුවට උණුසුම් ජලය යොදාගන්නත් ඔබට හැකියාව තියෙනවා. 

ඉතිං මේ සරල ක්‍රියාමාර්ග නිවැරදි ලෙස අනුගමනය කිරීමෙන් ඔබේ නිවසේ විදුලි බිල කැපීපෙනෙන ලෙස අඩුකරගන්න ඔබට හැකියාවක් තිබෙන බව අනිවාර්‍යෙන් සඳහන් කළ යුතුයි.

මේ ක්‍රියාමාර්ග අනුගමනය කිරීමෙන් පසුවත් විදුලි බිලේ වෙනසක් නැතිනම් විදුලි කාර්මිකයෙක් ගෙන්වා ඔබේ නිවසේ විදුලි පරිපථ නිසිලෙස පරීක්ෂා කරගන්න ඔබට පුළුවන්. මොකද යම් ස්ථානයකින් අපි නොදැනුවත්වම සිදුවෙන විදුලි කාන්දුවක් ඔබේ විදුලි බිල ඉහළ නංවන්න හේතුවෙන්න පුළුවන් නිසයි.

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles