මා හද තුළ ඔබ 07

අමාරුවෙන් ඇස් අරිමින්, නමුත් නින්දෙන් ම වාගේ තඹරු මුළුතැන්ගෙට එන විටත් රන්මුතු අවදි වී ඇවිත් උයන්නට සූදානම් වෙමින් සිටියා ය. ඇගේ දවස ඇරඹෙන්නේ හිරුත් එක්ක මහ පාන්දර ය. එතැන් සිට කේක් ඇන්ඩ් කොෆී වසා දමනා තෙක් එක සීරුවට වැඩ ය. පුංචි දහවල් නින්දක් ලැබූ දවසක්, වසර හත අටකට එහා මතක ඉතිහාසයෙහි මිස නො වන්නේ ය. තඹරු කුස්සියේ පුටුව මත හිඳ ඇස් පියාගෙන ම සිටියා ය. ඒ ඇස්, ඇරෙන්නට බෑ කියා වැසෙන්නට ම හදයි. නමුත් ඇගේ සිත නිදි නැත. අම්මා තනිව මේ මහ පාන්දර අවදි වී ගෙදර වැඩ අරඹත්දී ඇයට සුව නින්දක පසු විය නො හැකි ය.

“බබූ…”

තඹරු ගේ හිස පැත්තකට කඩා වැටෙනු දුටු විට රන්මුතු කතා කළා ය. තඹරු තිගැස්සී නෙතු හැර ගත්තා ය.

“ඔයා ගිහින් තව ටිකක් නිදාගන්න. මට මේක උයල ගන්න පුළුවන්. ඔයා රෑ වෙනකල් නිදි මරාගෙන පාඩං කළාත්නෙ”

“නෑ..කමන්නෑ”

කියමින් නැගී සිටි තඹරු නාන කාමරයට වැදී මුහුණ සෝදා ගත්තා ය. නමුත් වැක්කෙරෙන නිදිමතක් ඇස් වල වේ. ජීවිතය කියන්නේ සුවදායී නවාතැනක් නොව දුෂ්කර ගමනක් යයි ඒ නිදි මත අතරේත් ඇයට සිතිණ. ඇතියි කියා හිතෙනා තුරා නිදා ගන්නටවත් මෙදිවිය තුළ හැකියාවක් ඇත්තේ නැත. අවුරුදු හයේ සිට ම පාසල් යන්නට පුරා වසර දහ තුනක් අළුයම පිබිදිය යුතුව තියේ. ඉනික්බිති ද එය අවසන් නොවේ. ඊළඟට උසස් අධ්‍යාපනය හෝ රැකී රක්ෂා වෙනුවෙන් මුළු කාලය ම කැප කළ යුතු වේ. විවාහ වූවාට පස්සේ සැමියන් ද දරුවන් ද අදාල කාරියන් වෙත පිටත් කොට හරිනු වස් ස්ත්‍රියක ගෙදර සියල්ලන්ට පෙර අවදි විය යුතු ය. එසේ ම ඇයට ඇස් පියවා ගන්නට සිදු වන්නේ ගෙදර සියල්ලන් නින්දට ගිය ඉක්බිති ය. එහෙම ය කියා දිවා දවස පුරා ඇයට විවේකයක් ලැබෙනවා නොවේ. රන්මුතු නම් යළි රෑ නින්දට යන තුරු ම කැෆේ එකේ වැඩ ය. සැබවින් ජීවිතය කියන්නේ කවදා හෝ සැප විඳින්නට බලා ගෙන දුක් විඳින්නට සිදු වන තැනකි. නමුත් ඒ සැපත හෝ විවේකය, ගිලන් වී ඇඳකට සීමා වන තුරා හෝ මියෙනා තුරා යමෙකුට ලැබේ නම් ඒ කලාතුරකිනි.

තඹරු ඇවිත් පොල් ගාන්නට ගන්නා විට රන්මුතු තේ පිළියෙල කරමින් සිටියා ය. අම්මාත් දුවත් උදේට තේ බොන්නේ උයනා ගමන් පාන්දර ය. තාත්තාත් පුතාත් දෙන්නා ම තේ බොන්නේ ඇල් වතුර වී ය. ඒ නිසා ඔවුන් අවදි කොට තේ බොන්නට සැලැස්වීමට වද විය යුතු නැත.

“ඉන්ටර්න්ශිප් එකට වැඩ කරන්න තැනක් හොයා ගන්න ඕන දැං”

තේ උගුරක් බී යළිත් පොල් බෑය අතට ගනිමින් තඹරු අලුත් ම ගැටළුව ගැන අම්මා ට කීවා ය.

“අපිට අනුංගෙ තැන් වල රස්සා හොයන්න වෙලා. ඔයාගෙ තාත්ත කී දෙනෙක්ට ජොබ් දීගෙන කොච්චර ලස්සනට බිස්නස් එකක් කරගෙන ගිය මනුස්සයෙක්ද… ඒ හැම දේම නැති කරගත්ත”

කොයි තරම් කාලය අතීතයට එක් වී තිබුණත්, ඒ අතීතය කටුවක් සේ පැටලී හිතේ ඇනෙනා තැනක් හැම දවසක ම උදා වේ. තඹරු අම්මා දෙස බලා ගෙන ම සිටියා ය. අමතක කළ යුතු ම අතීතයක් වී ද අම්මාට කිසි දා ඒ අතීතය අමතක කොට හිත නිදහස් කර ගත නො හැකි බව දැන් ඇයට ප්‍රත්‍යක්ශ ය.

“තාත්තට කියන්න. එයාගෙ පරණ යාළුවො ඕනතරං ඉන්නවනෙ…දැන් ලොකු කම්පනි තියන. එහෙම තැනකට කතා කරල ඉන්ටර්න්ශිප් එකේ එක්ස්පීරියන්ස් ගන්න හොඳ තැනක් හොයල දෙන්න කියන්න”

දිවාකර පත්තර කරන්නට ගත්තේ ඩිලන් රණසිංහ ට කලිනි. ඒ පත්තර මුද්‍රණය කෙරුණේ ඩිලන් ගේ පියාගේ මුද්‍රණාලයෙහි ය. ඒ කාලේ පුවත්පත් ක්ශේත්‍රයෙහි දිවාකර ඉරක් සේ පායා ආවේ ය. ඔහු ගේ ප්‍රකාශන ආයතනයෙන් යොවුන්, කාන්තා, පිරිමි, ජ්‍යෝතිෂ, ක්‍රීඩා, විදෙස් විශේෂාංග, ළමා, අධ්‍යාපනික හා ජාතික ලෙස පුවත්පත් හා සඟරා රාශියක් වෙළෙඳ පොළට නිකුත් කෙරිණ. ඒ එක වර නොවේ. කුඩාවට ඇරඹී ක්‍රමානුකූලව ය. ඉතා දක්ෂ හා නිර්මාණශීලී කතෘ මණ්ඩලයක් ඔහු ගේ ප්‍රකාශන ආයතනය හා සම්බන්ධ ව සිටියේ ය. ඒ සියලු පුවත්පත් ආදායම් වාර්තා තබමින් දිවයිනේ වැඩි ම ප්‍රමාණයක් අලෙවි වූ ඒවා ය. දිවාකර සිය සේවක පිරිසට ඉතා හොඳින් සැලකුවේ ය. ඉහළ මාසික වැටුප් ලබා දුන්නේ ය. වසරකට දෙවරක් බෝනස් ගෙව්වේ ය. සේවක සුභසාධනය වෙනුවෙන් බොහෝ අංග සිය ආයතනය තුළ ක්‍රියාත්මක විය. ඒ සියල්ලෙන් දිවාකර බලාපොරොත්තු වූයේ සේවකයින් තෘප්තිමත් මනසකින් යුතුව සේවය කරමින්, ඉතාමත් සාරවත් පුවත්පත් හා සඟරා අහුරක් පාඨකයන් වෙත ලබා දෙනු ඇත කියා ය. වසර ගණනාවක් මැනවින් ඒ කටයුතු සිදු වී ගෙන ගියේ ය. දිවාකර බලා සිටියදී සාර්ථක ව්‍යවසායකයෙකු බවට පත් විය. ඩිලන් ගේ පියා ගේ මුද්‍රණාලය වෙනුවට ඔහු පිටරටින් යන්ත්‍ර ගෙන්වා ඔහු ගේ ම මුද්‍රණාලයක් විවෘත කළේ ය. සතියේ දින හත පුරාවට ඒ මැශින් ක්‍රියාත්මක ව තිබිණ. තීන්ත සුවඳ ඉහිරවමින් ඩිමයි කඩදාසි වල පත්තර මුද්‍රණය විය. තට්ටු ගණනාවකින් සමන්විත අලුත් ම ගොඩනැගිල්ලක් ව්‍යාපාරය වෙනුවෙන් ඉදිකෙරිණ. එහි පහළ ම තට්ටුවේ මුද්‍රණාලය යි.  ඉහළ තට්ටු වල පුවත්පත් වල කතෘ මණ්ඩල වෙනුවෙන් වෙන් වෙන් වශයෙන් කාර්යාල පැවතිණි. පත්තර නවනා අංශයක් වෙනම ම තිබුණේ ය. දිවයින පුරා පුවත්පත් බෙදා හැරෙනා හා මුදල් එකතු කෙරෙනා විධිමත් ක්‍රමවේද සැකසී තිබිණ. වෑන් රථ ගණනාවක් ආයතනය සතු විය. සියල්ල ඉතා හොඳින් සිදු වූයේ ය. එනිසා ම ප්‍රධාන බැංකු දිවාකර ගේ ව්‍යාපාරය වෙනුවෙන් මහා පරිමාණ ණය ලබා දෙන්නට දෙවරක් සිතූයේ නැත.

සාර්ථක ව්‍යාපාරයකට සේ ම සාර්ථක පවුල් ජීවිතයකට හිමිකම් කියන්නට තරම් දිවාකර වාසනාවන්තයෙකු වූයේ ය. ඔහු ඒ තරම් ශීඝ්‍රයෙන් ඒ සා සාර්ථකත්වයක් අත්පත් කර ගත්තේ ආදරණීය බිරිඳ රන්මුතු වන් ගැහැනියක පසෙකින් සිටිනා නිසා ය යන්න ප්‍රසිද්ධියේ පිළිගැනුණ කාරණාවක් වූයේ ය. ඔවුන් ගේ ලෝකයෙහි හිරු සඳු සේ තඹරු හා සඳැස් වැඩෙමින් සිටියහ.

නමුත් වාසනාවට කණකොකා හඬලන්නට මහ කාලයක් ගත වූවා නොවේ! රන්මුතු ට ද නො දැනී ඇගෙන් ලොකු සුසුමක් බැහැර වී තිබිණ.

“නැති වෙලා ගිය කිසි දෙයක් ගැන හිතන්නැතුව ඉමු අම්ම. හමන හුළඟක් මකුළුදැලකින් නතර කරගන්න බෑනෙ. අපිට නැති වෙන්න තිබුණ දේවල් වුණත් එහෙමයි. ඒව නැති වෙන එක වළක්වන්න බෑ”

තඹරු මෘදු සරකින් මිමිණුවා ය. රන්මුතු කිසිත් නොකීවාට ඇගේ හදවත බෙහෙවින් දොඩමළු ව තිබිණ. අනිත් සියල්ල අහිමි වී ගිය එක ගැන නොව ඇයට තවමත් සංකා හැඟීමක් දැනෙන්නේ දිවාකර ඇයට අහිමි වී ගිය එක ගැනයි.

මේ උදයේත් සමනල් මග රැක හිඳිනු ඇත්ද යන සිතිවිල්ල, ගෙයින් නික්මෙන්නට පෙර සිට ම තඹරු ගේ හිත කොනිති ගසමින් තිබිණ. ඇතැම් විට එය බලාපොරොත්තුවක හැඩයකින් හිත මතුපිටට ආවා වන්නට ද බැරි නැත. නමුත් මත්තෙගොඩ හන්දියෙන් පිටකොටුව බසයට නැගෙනා තුරාවට ඔහු ගේ රුව දැක ගත හැකි වූයේ නැත.

“කොල්ලෙක් වුණත් පස්සෙං එයිද ඔහොම ආඩම්බර බල බල…මන්නං කියන්නෙ ඊයෙ රෑ මෙයා සැර දාපු එන වැරදියි. මටනං දැනෙන්නෙ ඒකා ළඟ මාර ලව් එකක් තියෙනව කියලයි”

මිතුරියෝ දෙදෙන තඹරු ගේ ආඩම්බරකම අනුමත කළේ ම නැත.

“ඉලව්වක් කියනව. උන්දැගෙ බලහත්කාරකං ඔක්කොම ඉවසගෙන ඉන්න කියලද මට කියන්නෙ…අනිත් එක…අනිත් එකාගෙ ෆීලිංස් මොනා වුණත් ගාණක් නැතුව ඔහොම බලහත්කාරකං කරන එකට කියන්නෙ ලව් එක කියලද…”

 ඇගේ සිත ඇගෙන් ම අසමින් සිටියා වූ ප්‍රශ්න වලින්, තඹරු මිතුරියන් වෙත දමා ගැසුවා ය. ඒ ප්‍රශ්න වලට දෙන්නට තරම් සාධාරණ පිළිතුරු ඔවුන් වෙත නොවිණ.

දවල් දේශන නිම වී විශ්ව විද්‍යාලයෙන් පිටත් වෙමින් සිටියදී රීඩ් මාවත දෙසින් ට්‍රම්පට් හඬවල් ඇසිණ. බිග් මැච් සමයේ දී එය වූ කලී විශේෂ දෙයක් නොවේ. නමුත් යෙහෙළියන් දෙදෙනා තඹරු දෙස බලා ඔවුන් ගේ මුහුණු දෙස බැලුවේ මේ බිග් මැච් සමය තිළිණ කළ ජීවිතයට ම අමතක නොවෙන කොල්ලා – සමනල් සිහි වී ය. තඹරු මුහුණේ පේශි තද කොට ගෙන ඉවත බලා ගෙන සිටියා ය. ඒ ට්‍රම්පට් හඬ ඇයට ඔහු සිහි නොකළා නොවේ. ළයාන්විත ගී හඬක් ද ඒ අතරින් ඇසෙමින් තිබිණ.

“මා දන්නේ ආදරේ ගැන විතරයි…එය කියලා දුන්නේ ඔබ ම තමයි…

ඔබ නැතිවම කෙලෙසද මා ඉන්නේ… හද සැනසුම ඇත්තේ ඔබ ළඟමයි

ඔබ වෙනුවෙන් මා ඉපදෙන්නම්…ඔබ වෙනුවෙන් මා මියැදෙන්නම්..

උරහිසට මගේ ඇල වී ඉන්න…දිව්රා මගෙ බව මට පවසන්න

සසරේ ගමනට අත්වැල වෙන්න…කැන්දා යන්නට දිනයක් දෙන්න

මේ ඇස් දෙක පියවෙන තුරු ම මගේ…ඔබ ළඟ ඉන්නට මට ඉඩ දෙන්න…

ඔබ වෙනුවෙන් මා ඉපදෙන්නම්…ඔබ වෙනුවෙන් මා මියැදෙන්නම්…”

මත්තෙගොඩ බසයක් එමින් තිබිණ. තඹරු මිතුරියන් වෙතින් සමු ගෙන ඒ වෙතට දිව ගියා ය.

“ඉස්සරහට යන්න ඉස්සරහට”

කොන්දොස්තර බෙරිහන් දුන්නේ ය. තඹරු හිටගෙන උන් කිහිප දෙනා අතරින් ඉදිරියට ගොස්, ආසන දෙකක් අල්වා ගෙන නතර වූවා ය. කොන්දොස්තර ට මුදල් ගෙවන්නට හැරෙත්දී ය ඇය දුටුවේ. දඟකාර සිනහවකින් යුතුව සමනල් ඈ අස හිටගෙන සිටියේ ය. මත්තෙගොඩට ටිකට් දෙකක් ගත්තේ ද ඔහු යි.

“මොකටද බස් එකට නැග්ගෙ…”

කොන්දොස්තර නික්ම ගිය ගමන්, රැවුමක් ද සමගින් වහා ම කඩඉම් ප්‍රශ්නය යොමු විය.

“ඔයා කා එකට නගින්නැති නිසා”

 පිළිතුර සිසිල් වූයේ ය. සාමකාමී වූයේ ය. තඹරු වීදුරු කවුළුවෙන් පිටත බලා ගත්තා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles