වයස අවුරුදු විසි ගණන්වලදි ඔබේ දරුවාට දැනිය හැකි ​මේ දේවල් ගැන ඔබ දැණුවත්ද?

අපි අපේ දරුවන් සමග ගනුදෙනු කළ යුතු ආකාරය කාලයෙන් කාලයට වෙනස් වෙනවා. ඒ කුමන කාලයකදී වූවත් ඔවුන්ගේ හැඟීම් දැනීම් තේරුම් ගැනීමට දෙමව්පියන් ලෙස ඔබ නුවණැති සහ උපක්‍රමශීලි විය යුතුයි. මෙය තරමක අභියෝගාත්මක දෙයක් වුවත් දරුවන්ගේ ජීවිතය සහ අනාගතය යහපත් ලෙස නිර්මාණය කිරීම සඳහා මෙය අතිශයින්ම වැදගත් වෙනවා. 

දරුවන් තරුණ වියට එළඹුණු පසු ඔවුන්ට දෙමාපියන් සමග ඇති සම්බන්ධතාවය, කුඩා කාලයේදී දෙමාපියන් සමග ඇති සම්බන්ධතාවයට වඩා හාත්පසින්ම වෙනස් එකක් බවට පත් වෙනවා. වයස අවුරුදු විසි ගණන් යනු ඕනෑම කෙනෙකුගේ ජීවිතයේ කිසිම අවස්ථාවක සිදු නොවුණු වෙනස්කම් , අරගල , ජයග්‍රහණ , පරාජයන් , ව්‍යාකුලත්වයන් සහ තීරණාත්මක ජීවිත තීරණ වලින් පිරුණු කාලයක්. සමහර අවස්ථාවලදී දරුවන්ට මේ කාලයේදී දැනෙන දේවල් දෙමව්පියන් වන ඔබට තේරුම් ගැනීමට අපහසු වන්නට පුළුවන්. එවැනි අවස්ථාවලදී දරුවන් සහ ඔබ අතර ඇති සම්බන්ධතාවය තරමක් දුරස් වීමේ හැකියාව වැඩියි. ඒ වගේම ඔබ නොදැන ඔවුන් නිහඬවම විඳින හැඟීම් සහ ගැටලු බොහෝමයක් තිබිය හැකියි. එවැනි කාරණා කිහිපයක් ගැනයි අද අපි මේ ලිපියෙන් කතා කරන්නට සූදානම් වන්නේ. 

  • අධ්‍යාපනික සුදුසුකම් සහ වෘත්තීය සැලසුම් 

මේ වනවිට ලෝකය බොහෝ තරගකාරී වී තිබෙන නිසා හොඳ රැකියාවක නියැලීමට හෝ හොඳ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ප්‍රථමයෙන් අධ්‍යාපනික සුදුසුකම් සපුරා ගැනීම වැදගත් වෙනවා. ඒ නිසා තරුණ වියේ පසුවන දරුවන් බොහෝ විට තමන්ගේ අධ්‍යාපන සුදුසුකම් පුරා ගැනීම සඳහා එකිනෙකා සමඟ තරග කරනවා.  සමහර විට ඔවුන් තමන්ගේ ජීවිතයේ සියලු දේ පසෙකලා අධ්‍යාපන සුදුසුකම් සපුරා ගැනීමට සහ වෘත්තිය සැලසුම් ඇතිකර ගැනීමට  ප්‍රමුඛත්වය දී තිබිය හැකියි. මෙය සෑම විටම අනෙකා අභිබවා යාමට ඇති කැමැත්ත මතම පමණක් නොව සාරවත් අනාගතයක් නිර්මාණය කර ගැනීම කෙරෙහි ඇති උනන්දුව නිසාද වන්නට පුළුවන්. ඒ නිසා සෑම විටම දෙමව්පියන් වශයෙන් ඔබ ඔවුන් තුළ ඇති ඒ උනන්දුව සහ හැඟීම් තේරුම් ගත යුතුයි.

  • රැකියාව ගැන ඇති බිය 

වර්තමානයේ පවතින ආර්ථික තත්ත්වය නිසා තරුණ වයසේ පසුවන දරුවන් අධ්‍යාපනය නිමකළ සැණින් රැකියාවක් කිරීම සඳහා පෙළඹෙනවා. නමුත් බොහෝවිට තමන්ගේ සුදුසුකම් වලට සරිලන ආකාරයේ රැකියාවක් ලැබෙන්නේ නැහැ. මෙය තරුණ දරුවන් තුළ තමා පිළිබඳව අවතක්සේරුවක් , අනාගතය පිළිබඳව අවිනිශ්චිත බවක් සහ කලබලකාරී බවක් ඇති කරනවා. විශේෂයෙන්ම සමහර අවස්ථාවලදී දෙමව්පියන්ගේ බලපෑම් නිසා රැකියාවක් නොමැති තරුණ තරුණියන් දැඩි මානසික පීඩාවලට ලක්වෙන අවස්ථාද තිබෙනවා. ඒ නිසා ඔබේ දරුවා එවැනි තත්ත්වයකට පත් නොවීමට වගබලා ගැනීම ඔබ සතු වගකීමක්.

ඒ වගේම රැකියාවල නිරත වන තරුණ දරුවන් රැකියා ස්ථාන තුළදී විවිධ ආකාරයේ පීඩනවලට ලක් වෙනවා. එවිට ඔවුන් තවදුරටත් රැකියාවේ නිරත වීමේ බිය හෝ රැකියාව අහිමි කර ගැනීමේ බිය වැනි තත්වයන් වලට ගොදුරු විය හැකියි. මෙවැනි තත්ත්වයන් පිළිබඳවත් දෙමාපියන් වශයෙන් ඔබ අනිවාර්යයෙන්ම සැලකිලිමත් විය යුතුයි. 

  • සබඳතා සහ වෙන්වීම්

තරුණ වයසේ පසුවන දරුවන්ට , විශේෂයෙන්ම වයස අවුරුදු විසි ගණන්වල පසුවන දරුවන්ට තමන් සබඳතා ඇති කර ගත යුතු පුද්ගල කොට්ඨාශ පිළිබඳව නිසි දැනුමක් නැහැ. බොහෝවිට ඔවුන් සමාජ මාධ්‍ය හරහා , රැකියා ස්ථානවලදී  , විශ්ව විද්‍යාල වලදී, සාදයන් වලදී හෝ වෙනත් ස්ථාන වලදී මිතුරු සබඳතා හෝ ආදර සබඳතා ඇතිකර ගැනීමට පෙළඹෙනවා. නමුත් මේවායේ ගුණාත්මක භාවය හෝ කල්පැවැත්ම තීරණය කර ගැනීමට  තරම් පරිණත මානසිකත්වයක් ඔවුන් සතුව නැහැ. ඒ නිසා මෙසේ ඇති කරගන්නා සබඳතා යම් ආකාරයකින් කඩවීමක් හෝ වෙන්වීමක් සිදුවුවහොත් ඔවුන් දැඩි කම්පනයට පත් වන්නට පුළුවන්. එවැනි අවස්ථාවන් වලදී දෙමව්පියන් ලෙස ඉතාම කල්පනාකාරී අයුරින් දරුවන් සමග ගනුදෙනු කිරීම සහ ඔවුන්ට කරුණු පහදා දීම සිදුකළ යුතුයි.

  • විවාහය

ප්‍රේම සබඳතාවයක් ඇතිකරගත් පමණින් එය විවාහයක් දක්වා ගෙන යා යුතුයි යන සම්මතයක් නැහැ.ඒ නිසා දෙමව්පියන් වශයෙන් කිසිම විටෙක ඔබේ දරුවා තරුණ වියට එළැඹුණු සැණින් විවාහය පිළිබඳව බල කිරීම් නොකළ යුතුයි. ජීවිතයේ ඔවුන් ලබා ගන්නා අත්දැකීම් මත ඔවුන්ගේ මනස සහ සිතුවිලි පරිණත වන විට විවාහය යන කාරණාව පිළිබඳව ඉතා බුද්ධිමත් ලෙස තීරණ ගැනීමේ හැකියාව ඔවුන්ට නිතැතින්ම ලැබෙනවා. ඒ නිසා විවාහය ඔවුන්ට පීඩනකාරී කාරණාවක් ලෙස දැනීමට ඉඩ නොතැබිය යුතුයි.

  • තනිකම

බොහෝ වේලාවට දරුවන් තරුණ වියට එළඹුණු පසුව ඔවුන්ට දෙමාපියන් සමඟ ඇති සමීප සම්බන්ධතාවය ක්‍රමයෙන් දුරස් වීමට පටන් ගන්නවා. මෙය ඔවුන්ට ස්වාධීනව තීරණ ගැනීමට පුහුණුවීමට හොඳ අවස්ථාවක් වුවත් බොහෝ විට දෙමව්පියන්ගෙන් ඈත් වීම දරුවන් තුළ තනිකම , කාංසාව , මානසික ආතතිය වැනි තත්ත්වයන් ඇති කරන අතර ඔබ්බට ගිය විට විශාදය වැනි තත්ත්වයන්  වලටද ගොදුරු වීමේ හැකියාව පවතිනවා.වයස අවුරුදු විසි ගණන් වල පසු වන ඔබේ දරුවාගේ මානසිකත්වය පිළිබඳව ඔබ දෙමව්පියන් වශයෙන් අතිශයින්ම සැලකිලිමත් විය යුතු වන්නේ ඒ නිසයි.

  • පසුතැවීම් 

තරුණ දරුවන් තුළ තීරණ ගැනීමේ හැකියාව 100% ක්ම පවතින්නේ නැහැ. විශේෂයෙන්ම වයස අවුරුදු විස්සේ සිට 25 පමණ වනතුරු ඔවුන් ගන්නා තීරණ බොහෝමයක් වැරදීමේ සම්භාවිතාවය වැඩියි. ඒ නිසා ඔවුන් තුළ පසුතැවීමේ හැඟීම් දැඩි ලෙස පවතින්නට පුළුවන්. ඔබේ දරුවාගේ හැසිරීමේ , කතාබහේ හෝ හැඟීම් ප්‍රකාශනයේ යම් වෙනසක් දක්නට ඇත්නම් ඔබ සැලකිලිමත් විය යුතු තවත් කාරණාවක් තමයි මේ.

ඔබ නොදන්නා සහ ඔබට නොදැනෙන බොහෝමයක් විඳීම් තරුණ වයසේ පසුවන ඔබේ දරුවන් තුළ තිබෙන්නට පුළුවන්. අපි ඉහත සාකච්ඡාව කළ කරුණු හෝ ඉන් එහා ගිය දෙයක් වුවත් ඔබේ දරුවා තුළ තිබීමේ හැකියාව තියෙනවා.ඒ කුමන තත්ත්වයකදී වුවත් දෙමාපියන් ලෙස ඔබ ඉතා බුද්ධිමත්ව කටයුතු කළ යුතු බව අපි ඔබට ආදරයෙන් සිහිපත් කරනවා.

Related Articles

Don't Miss


Latest Articles