ඉතින් ආදරෙයි කියන්න, ආදරය විඳින්න තවත් පමාවෙන්න එපා.

මේ මොහොත ආයෙමත් එන්නෙ නැහැ.

“මට කියන්න පුළුවන් එකම දේ ඔයා මාව ගොඩනගනවා… ඔයා මාව මට හිතාගන්නවත් බැරි කෙනෙක් කරනවා. හැම මොහොතකදිම ඔයා මාව පුදුමාකාර සතුටකින් තියනවා. ඔයා දකින ඔයා බිඳිල, විනාශ වෙලා ගිහින් හිටියත් මම කැමති ජීවිතේ හැමදාටම ඔයා එක්ක ගෙවන්න”

ආදරේ කියන්නෙ මහ පුදුමාකාර දෙයක්.

ඒක අපි හැමෝම දන්නවා. සිතක් සුවපත් කරන්න වගේම බිඳ දමන්නත් ආදරයට තියෙන්නෙ පුදුමාකාර හැකියාවක්.

අපි ආදරේ කරනකොට අහන හරිම බොළඳ ප්‍රශ්න තියෙනවනේ.

“මම කවදහරි ඇක්සිඩන්ට් වෙලා ඇවිදගන්න බැරුව හිටියොත් ඒත් ඔයා මට මේ වගේම ආදරය කරනවද?”

මේ වගේ ප්‍රශ්න මොනතරම් නම් අපි ආදරය කරන අයගෙන් අහල තියෙනවද?

ඒ හැම වෙලාවකම “මෝඩ කතා කියන්න එපා, වෙන්නෙ නැති දේවල් ගැන කියන්න එපා, ඔයා දන්නවනේ මොන දේ වුණත් මම ඔයාව දාලා යන්නෙ නැති බව” කියන පිළිතුරු වචන අපේ හිතට සැනසීමක් අරගෙන එන ගමන්ම ආදරය ගැන පුදුමාකාර විශ්වාසයක් සිතේ ඇතිකරනවා.

ඒක ඔයාටත් මටත් දෙන්නටම පොදුයි.

ඒ පොරොන්දුව රැකීම තමයි අපි ආදරයට දක්වන උසස්ම කෘතගුණ සැලකීම විදියට දකින්නෙ. 

ඒත් මම කිව්වොත් ඒ වගේ පොරොන්දුවක් නොවී වුණත් කෙනෙක්ට ආදරය වෙනුවෙන් ඒ වගේ කැපකිරීමක් කරන්න පුළුවන් කියලා?

Me Before You චිත්‍රපටයෙන් අපි වෙත අරගෙන එන්නෙත් ඒ වගේ නොදුන්න පොරොන්දුවක් වෙනුවෙන් ආදරයෙන් කරපු කැපකිරීමක් ගැන කතාවක්.

ඉතාම සංවේදී, රොමාන්තික ප්‍රේමයක් ගැන කතාවක්.

ලුයිසා ක්ලාක් කියන්නේ තමන්ට ආවේණික වුන විලාසිතා තියන, හරිම සුන්දර දඟකාර තරුණියක්.

Café එකක රස්සාව කර කර ඉඳපු ලුයිසාට එයාගේ රස්සාව නැතිවෙනවා. ඒත් රස්සාවක් නොකර ඉන්න තරමට ලුයිසා සල්ලි තියෙන තැනක ළමයෙක් නෙවෙයි. 

ඒ විදියට තමයි ලුයිසා විල් ට්‍රේනර්ව බලා කියාගන්න ඒ ගෙදරට සේවිකාවක් විදියට එකතු වෙන්නේ.

විල් කියන්නේ ඉතාම සාර්තක තරුණ බැංකුකරුවෙක් විදියට ජීවිතය ගෙවපු කඩවසම් තරුණයෙක්. 

ඒත් ඒ වෘත්තිය ජීවිතයේ සාර්තකත්වයට පුලුවන්  වෙන්නේ නෑ විල්ගේ ජීවිතේ ඉස්සරහට එන හැම බාධාවක්ම මගහරින්න. ජීවිතේ කියන්නේ අපි නොහිතපු වෙලාවක නොහිතන දේවල් කරන මහ අරුම පුදුම දෙයක්. 

කලු වලාවක වුණත් රිදී ඉරක් දකින්න ලැබෙනව කියන එක ඇත්ත. 

රිදී ඉර අපි දැක්කට අපිට කවදාවත් මතක් වෙනවද ඒ රිදී ඉර පේන්න ජීවිතේ කලු වලාවකින් වැහෙන්න ඕන බව?

විල්ගේ ජීවිතේට ඒ විදියට ආව කලු වලාකුල තමයි නොසිතූ මොහොතක වුණ මෝටර් සයිකල් අනතුර. ඒ අනතුරෙන් පස්සෙ බෙල්ලෙන් පහල පණ නැති වුණ විල් හිතුවෙ මුලු ජීවිතේම එතනින් එහාට පණ නැති වුණා කියල.

ඒ වගේ ඔක්කොම හීන බලාපොරොත්තු හිතෙන් මරලා දාපු විල් ගේ ජීවිතේට ලුයිසා එන්නේ සාත්තු සේවිකාවක් විදියට.

ඒත් ලුයිසාගේ තියෙන ඉතාම සජීවි, වසත් සිතුවිලි වලට පුළුවන් ටිකෙන් ටික මේ විල්ගේ සිතේ පැලපදියම් වෙලා බිඳුණු හීන බලාපොරොත්තු කියන මැරුණ කටු පඳුරු උගුල්ලල දාලා, සතුට සහ බලාපොරොත්තු කියන මල් පැල වල බීජ වපුරන්න.

හිමින් සැරේ විල්ගේ අසනීප වූ සිරුරේ වගේම බිඳ වැටුණු සිතුවිලි වල භාරකරු වෙන ලුයිසා විල්ට පාර පෙන්නනවා ජීවිතේ, සතුට සැනසුම සහ බලාපොරොත්තු හොයාගෙන යන්න. 

ලුයිසා විල්ට උගන්නනවා ජීවිතේ කිසිම මොහොතකදි අපි බලාපොරොත්තු අතෑර ගන්න හොඳ නැති බව.

සිත් තුල සැඟවුණු ආදරයේ සුන්දරම වෘක්ෂවල අංකුර හිමින් හිමින් ඔලුව උස්සද්දි, විල්ගේ අම්මා බලාපොරොත්තු වෙනවා ජීවිතේ අනපේක්ෂිත විදියට රෝද පුටුවකට කොටුවුණ තමන්ගේ පුතාගේ තරුණ ජීවිතේ ලුයිසා නම් ආයෙම පණ ගහලා ඒවි කියල.

විල් මුලින්ම ලුයිසාට කිසිම කැමැත්තක් පෙන්නන්නෙ නැහැ. විල්ට අනුව විල් දැන් සහමුලින්ම මැරිච්ච මනුස්සයෙක්. 

බෙල්ලෙන් පහල පණ නැති මනුස්සයෙක්ට පුලුවන්ද ආයෙමත් ජීවිතේ ගැන අලුතෙන් හිතන්න? විල් එහෙම හිතනවා.

තමන් ගැනම…තමන්ගේ ජීවිතේ ගැනම.

ඒ අතර වාරෙදි විල්ට ආරංචි වෙනවා තමන්ගේ හිටපු පෙම්වතිය ඇලීෂියා එයාගේ අලුත් පෙම්වතාව කසාද බඳින්න යන බව.

අපි හැමෝම ජිවීතේ එක මොහොතක හරි ප්‍රතික්ශේප වීම කියන න්‍යායට මුහුණ දීල තියෙනව.

කොයිතරම් ලොකු වේදනාවක් උනත් ,ලැජ්ජාවක් උනත් අපි හැමෝම පාහේ reject වෙලා තියෙනව.

මමත් අනන්තවත් රිජෙක්ට් වෙලා තියෙනව.ඒවගේම අපිත් සමහර පුද්ගලයන්ව රිජෙක්ට් කරල තියනව.

ජීවිතේ දෙවනි වතාවටත් කඩා බිඳ වැටුණා කියල විල් තේරුම් ගන්නේ ඒ ප්‍රතික්ෂේප වීමත් එක්ක.

 ඒත් එහෙමයි කියල කෙල්ලෙක් කැමති වෙනවද අඩුම ගාණේ බෙල්ලෙන් පහල පණ නැති කොල්ලෙක් එක්ක යාලු වෙලාවත් ඉන්න?

ඒත් ඒ දුකම, ඒ වේදනාවම උදව්වක් වෙනවා ලුයිසාට සහ විල්ට එකිනෙකාට ලංවෙන්න. ජීවිතවල තියෙන ප්‍රශ්න, හිත් කරදර එකිනෙකා එක්ක බෙදාගෙන එකිනෙකාගෙ ජිවීතවල තියෙන තුවාල වලට හිතවත්කම, කරුණාව කියන සැනසුම් ඔසු තවරගන්න.

ඒ කතාබහ ඔස්සේ එකිනෙකාගේ සිතුම් පැතුම්වල, ජීවිතවල තියෙන වෙනස්කම්, විවිධත්වයන් මේ දෙන්නම තේරුම් ගන්නවා.

මේ කතාබස් අතරේ තමයි ලුයිසා දැනගන්නේ ආබාධිත ජීවිතයක් එක්ක ඉදිරියක්, අනාගතය හිතන්න බෑ කියල හිතෙන් තමන් ගැනම නිගමනයකට ආව විල් තමන්ගේ ජීවිතේ නැතිකරගන්න බලාපොරොත්තුවෙන් ඉන්න බව.

සමහරවෙලාවට අපි නොකරපු වරදකට අපෙන්ම පළිගන්නවා. 

කෙනෙක් සිය දිවි නසාගන්නෙ තමන්ට තමන්ව වෛර කරන්න හේතුවක් වුනාම. විල් හිටියේ එයා ගැනම තරහකින්. එයාගේ මේ ආබාධිත ජීවිතෙ ගැන කෝපයකින්. හැමදේම වෙන්නෙ තමන්ගෙ තියෙන අවාසනාවට කියල, සියදිවි නසාගන්න හිතපු විල්ට ජීවිතේ මොනතරම් ලස්සනද, මේ ජීවිතේ ගැන වුණත් මොන තරම් නම් බලාපොරොත්තු තියාගන්න පුලුවන්ද කියලා උගන්නන්නේ ලුයිසා.

මට මතක් වෙන්නේ වික්ටර් රත්නායක මහත්මයාගේ ලස්සන ගීතයක්.

“ඇදුරුතුමියයි ස්නේහයේ ඔබ – ඇදුරුතුමියයි යෞවනේ”

දෛවයෝගයකින් හමුවුණ ලුයිසා විල්ගෙ බලාපොරොත්තු බිඳුණ ජීවිතේ ඇදුරුතුමියක් වෙනවා. ඇය සාත්තු කරන්නෙ විල්ගේ බිඳුණු සිරුරට විතරක්ම නෙවෙයි, බලාපොරොත්තු බිඳුණ හිතට.

අපි මේ ගැන මේ තරම් ලස්සනට හිතුවට, ලස්සනට දැක්කට පැට්‍රික්, එහෙම නැත්තම් ලුයිසාගේ පෙම්වතා මේ එකතුවීමට කැමැත්තක් දක්වන්නේ නෑ. පැට්‍රික් සිතේ ඇතිවන සැකය ලුයිසා-පැට්‍රික් ආදරය බිඳ දමන්න හේතුවක් වෙනවා.

සමහරවිට ඒ දෛවයේම බලපෑම නිසා වෙන්නත් පුලුවන්.

ලුයිසාගේ මිත්‍රත්වයෙන් බිඳිලා තිබුණ හිත හෙමින් හදාගන්න විල්, එයාගේ පරණ පෙම්වතියගේ විවාහයට යන්නේ ලුයිසා එක්ක.

ඒ දෛවෝපගත දවසෙ තමයි විල් කලු වලාවකින් වැහිල තියෙන තමන්ගේ ජීවිතේට ආව ලුයිසා කියන රිදී ඉරට ප්‍රේමයෙන් බැඳෙන්නෙ.

ඒත් ආදරය කියන්නෙම ප්‍රශ්න පත්තරයක්. හැම ප්‍රශ්නයකින්ම උරගා බලන්නේ අපිව මේ ආදරයට සුදුසුද කියන එක. 

ලුයිසා එක්ක මොරිශස් දූපත්වලට විනෝද චාරිකාවක් යන විල් ලුයිසට මෙහෙම කියනවා.

“මම ඔයාට ආදරෙයි. මට ඕන නෑ මේ මගේ බාගෙට විනාශ වෙලා ගිය ජීවිතේ නිසා ඔයා දුක්විඳිනව බලන්න. මට ඕන ඔයා එක්ක සම්පූර්ණ ජීවිතයක් ගෙවන්න. මැරෙන එක ඇරෙන්න වෙන උත්තරයක් මට නෑ”

තමන් මෙච්චර දවස් කරපු කැපකිරීම් වලින්වත් විල්ගේ ජීවිතේ තියන අන්දකාර වලාකුල මකල දාන්න බැරිවුන බව දැනගත්ත ලුයිසා ආපහු ගෙදර එන්නෙ විල්ගේ සාත්තු සේවිකාව කියන තනතුරත් අතෑරලා දාලා විල් එක්ක තියෙන ඔක්කොම සබඳතා බිඳලා.

“ආදරේ කියන්නෙ එහෙම අතෑරල දාන්න ඕන දෙයක් නෙවෙයි. හැම මොහොතෙම උත්සාහ කරන්න ඕන දෙයක්”

අතෑරල දාලා ආව කිව්වට හිතෙන් සැබෑ ආදරයක් අතාරින්න අපි කාටවත් බෑ. ලුයිසාටත් එහෙමයි. තමන්ගේ තාත්තා කිව්ව ඒ වචන අහල ලුයිසා ආපහු විල්ව හොයාගන්න යද්දි විල් සියදිවි නසාගන්න බලාපොරොත්තුවෙන් ගිහිල්ල.

සැබෑ ආදරයක් කවදාවත් මියදෙන්නෙ නෑ.

විල්ගෙ මරණයෙන් පස්සෙවත් ලුයිසාගෙ හිතෙන් විල්ගේ ආදරේ මියදෙන්නෙ නෑ.

ආදරේ ජීවත් කරවන්නේ බලාපොරොත්තු බව කියල දෙන Me Before You කියන්නේ ආදරය කරන ඕනම කෙනෙක් බැලිය යුතුම කතාවක්.

එකිනෙකාගේ සිත් වේදනාවන් ආදරයෙන් සුවපත් කළ හැකි බව තේරුම් ගැනීමම තමයි ආදරය ජීවත් කරවන්නේ.

ඉතින් ආදරෙයි කියන්න, ආදරය විඳින්න තවත් පමාවෙන්න එපා.

මේ මොහොත ආයෙමත් එන්නෙ නැහැ.

Related Articles

Don't Miss


Latest Articles