තටු සිඳුනු සමනලියෝ 2

අපි ඇයට චන්දිමායැයි කියමු. චන්දිමා විසි අට වියැති සුන්දර කාන්තාවක් යැයි තවදුරටත් ඔබට  දැනගන්නට මම කියා  තබමි. මට චන්දිමා මුණ ගැසෙන්නේ ඇයගේ සිර දඬුවම් නියමවූ කාලය අවසන් කර නිවෙසට යන්නට බසයක් එන තුරුබලා ඉන්නා අතරවාරයේදී. 

“වෙලාව කීයද මිස් ?”

ඇගේ ඒ විමසීමට පසු මමද ඇගෙන් යමක් විමසීමෙන් පසුව ඇය ඇගේ  කතාව සුසුම් ලම්න් මා හා කියෙව්වාය. ඉතින් ඒ කතාව මම ඔබට කියන්නේ මගේ හදවතට දැනෙන බර මඳක් තුනී කරගන්නටය.

චන්දිමා වැඩිමහල් සොයුරන් දෙදෙනෙකු උන් පවුලක බාල සොයුරියය. අය්යලා දෙන්නාගෙම මිතුරන් කුඩා කාලයේ පටම් නිවෙසට යන එන නිසාම ඇයට පිරිමි ළමුන්ගේ ඇසුරේ අරුමයක් වූයේ නැත. එසේ නොවූවද මිශ්‍ර පාසැලක අධ්‍යාපනය හැදෑරූ නිසාම ඇය ඉතා සමාජශීලී ජීවිතයක් ගෙවමින් උන්නාය. 

චන්දිමා ගේ වැඩිමහල් සහෝදරයා විදෙස් ගත වී මාසයක් ගත වන්නටත් ප්‍රථම දෙවන සහෝදරයා ද විදෙස් ගත වූයේ චන්දිමා යම් පාලුවක හෙලමිනි. අය්යලා නිවසේ නොසිටි නිසා අය්යලාගේ මිතුරන්ද තවදුරටත් නිවෙසට පැමිණියේ නැත.

එවිට උසස් පෙළටද පෙනී සිට අවසන්ව උන් චන්දිමා ට මේ පාලුව ඉතා තදින් දැනුණි. සති අන්ත වල අය්යලාද කැටුව ගිය විනෝද චාරිකා වල අඩුව ඇයට ජීවිතය යම් ඒකාකාරී බවකින් දැනෙන්නට විය.  ඉන් පසුව පොඩි අය්යාගේ මිතුරන් සමඟ ජංගම දුරකථනය ඔස්සේ හිතවත්කම් පවත්වාගෙන ගියාය. ඇගේ පාසැල් මිතුරියන්ද හවුල් කරගෙන  ඔවුන් සමඟ විනෝද චාරිකා යන්නට ඇය සැලසුම් සකස් කලේ ඒ අනුවය. ඒ අනුව මිතුරියන් පස් දෙනෙකු සහ අය්යාගේ මිතුරන් හය දෙනෙකු සමඟ චන්දිමා දුම්රියෙන් බණ්ඩාරවෙල විනෝද චාරිකාවකට සහභාගි වූයේ අම්මලා සහ අය්යලාට සඟවමිනි.  ඒ ලෙසින් හැම සති අන්තයකම ඔවුන්ට විනෝද චාරිකා තිබුණි. මුදල් අඟ හිගයක් නොවූ පිරිසට අවශ්‍ය වූයේ සතුට , අවදානම සහ සැහැල්ලුව පමණි. 

පොඩි අය්යාගේ මිතුරන්ගේ මාර්ගයෙන් චන්දිමාලා අවදානම් මාර්ගයක් ඔස්සේ ගමන් කිරීම ඇරඹුවේ ඒ අතරේය. රාත්‍රී සමාජ ශාලා ආශ්‍රිත සමාජයකට ඔවුහු ඉතා ඉක්මනින් හුරු වූහ. ඉන් පසුව පොඩි අය්යලාගේ මිතුරන් මඟ හැරුණි. චන්දිමා ලාට අලුත් නඩ මුණ ගැසුණි

එහෙත් ලොකු අය්යාගේ මිතුරෙකු ඔවුන්ව රාත්‍රී සමාජ ශාලාවක දැක, ඒ පිළිබඳව චන්දිමා ගේ සොයුරන් දැනුවත් කිරිමෙන් පසුව  චන්දිමා ලාගේ නිවසේ ගිණි ඇවිලුණි. දෙමාපියන් ට චන්දිමා පාලනය කර ගැනීමට හැකි වූයේම නැත. 

ඇය ඔවුන් හා එදිරිව යමින් රාත්‍රී සමාජ ශාලා ආශ්‍රිත ජීවිතය වැලඳ ගත්තාය. ඒවායෙන් හඳුනාගන්නා අයවලුන් මාර්ගයෙන් ලබා ගන්නා යම් යම් නීති විරෝධී මත් ද්‍රව්‍ය කෙරෙහිද  ඇබ්බැහි වෙමින් උන්නාය.  කෙටි, තාවකාලික ලිංගික ආශ්‍රයන් වෙනුවෙන් ඇබ්බැහි වූවාය.

චන්දිමා ගේ මේ වෙනස දැනගැනීමෙන් පසු වැඩිමහල් සොයුරා පෙරළා ලංකාවට පැමිණියේය. චන්දිමා ට ඔහු සමඟ එදිරිව යෑමට හැකි වූයේ නැත. චන්දිමා අවනත කර ගැනීමට ඔහු චන්දිමා ට පහර දුන්නේය. අවසානයේ චන්දිමා පොලිස් පැමිණිල්ලක් දමා සොයුරා බන්ධනාගාර ගත කලේය.

වැඩිමහල් සොයුරා ඇප ලබා පැමිණෙන විට චන්දිමා උන්නේ ඇය සොයා ගන්නට හෝ ඉඩක් නොලැබෙන සේ අතුරුදන් වෙමිනි. ඕ නිවසේ රැගෙන යන්නට හැකි මට්ටමේ තිබූ සියළු දෑ රැගෙන ගොස් තිබුණාය.  ඇය  මත් වීම සහ ලිංගික ආශ්‍රයන් ගොඩ නඟා ගැනීමේ උමතුවකින් හිඳිමින් මාස කිහිපයක් හුදෙකලා ජීවිතයක උන්නාය. ඉන් පසුව ඇය සතු මුදල් අවසන් වෙමින් තිබුණි. එහෙත් ඇයට ගෙවන්නට අවශ්‍ය වූ ජීවිතය වෙනුවෙන් ඇයට මුදල් අවශ්‍ය වුණි. ඒ නිසාම චන්දිමා මුදල් සෙවීම සඳහා වන මාර්ගයන් සෙවුවාය.

චන්දිමාට කාන්ති මුණ ගැසුනේ ඒ අතරය. 

“උඹ වරෙන් මගේ ළඟට… මං උඹව බලාගන්නම්…”

චන්දිමා කාන්තිගේ යටතේ සිටිමින් ගණුදෙනුකරුවන් හා සමඟ මුදලට යහන් ගත වූවාය. ඇය නොසිතු මුදලක් දිනපතා කාන්ති ඇයට ලබා දුන්නාය.

ඒ අතර වාරයේ ඇගේ පැරණි ජීවිතයටද එබුණාය. ඇය හමුවූ එක් ගණුදෙනුකාරයෙකුගෙන් ලැබුණු මත් ද්‍රවය කොටසක්ද බෑගයේ දමාගෙන චන්දිමා යමින් උන්නේ නවාතැන වෙතය. 

“බෑග් එක පෙන්නන්න…”

මඟදී ඇය නතර කෙරුණි. ඇගේ බෑගයේ පැති පොකැට්ටුවක වූ මත් ද්‍රව්‍ය පදනම් කරගෙන ඕ අත් අඩංගුවට ගැණුණි. ඇය පිළිබඳව මාස අටකට පසුව නිවැසියන්ට දැනුම් දුන්නේ ඉන් පසුවය.ඇයගේ ජීවිතය ගෙවී ඇති ආකාරය දැන ගැනීමෙන් පසුව එක පිට දින දෙකකදී ඇගේ මව සහ පියා හදිසියේ ආන්ත්‍රා වීම සිදු විණි. චන්දිමා ගේ ජීවිතය නැවතුම තැන එතැනය.

“තෝ අම්මවයි අප්පච්චීවයි මරාගත්තා…”

අය්යලා දෙදෙනාම ඇය චෝදනා කලෝය.

එතරම් කල් ගෙවමින් උන් ජීවිත‍ය පිළිබඳව චන්දිමා ට නිස්සාර බවක් දැනෙන්නට ගත්තේ මාංචු දැමු දෑතින් අම්මා සහ අප්පච්චීගේ ප්‍රාණය නිරුද්ධ සිරුරු වලට වඳින්නට සිදුවූ මොහොතේමය. 

“මට සමාවෙන්නකෝ… අනේ එන්නකෝ…”

ඇය හඬා වැටුනද ඇයට අනුකම්පා කරන්නට හෝ කිසිවෙකුත් ඉදිරිපත් වූයේ නැත. 

අවසානයේ දී චන්දිමා වසර කිහිපයකට රක්ෂිත බන්ධනාගාර ගත වූවාය. ගෙවමින් සිටි සුඛෝපභෝගී ජීවිතයෙන් බන්ධනාගාර ජිවිතයට ඇද වැටුණු ඇය ජීවිතය තොර කරගන්නට කිහිප වතාවක්ම උත්සාහ කලාය. ඉන් සිදු වූයේ ඇයට එල්ල වුණ පීඩනය තවත් වැඩිවීමය.

“උඹ එල්ලිලා මැරෙන්න ගියාම මෙතන අපේ වටේත් ඇස් කැරකෙනවා…”

රැඳවියෝ ඇයට බැණ වඳිමින් නිතරම ඇය හුදෙකලා කරන්නට උත්සාහ ගත්තෝය. 

චන්දිමා බන්ධනාගාරය තුළ මල් වගාවට යොමූ වූයේ ඒ අතර වාරයේය. ඕ වෙහෙසෙමින් කාලට ගෙවා දැමුවේ ඒ වෙනුවෙන්මය. එහෙත් අම්මා සහ අප්පච්චීගෙ මලානික මුහුණු සිහි වෙද්දී ඇය ඒ සියල්ල අතැර පැය ගනන් කියන්නම් කරමින් ඔහේ බලා උන් දවස්ද තිබුණි. 

අවසානයේ චන්දිමා නිදහස් වූවාය. අය්යලා ඇය බලන්නට එක් දිනක් හෝ පැමිණ තිබුණේ නැති නිසා ඇය ඔවුන් පිළිබඳව කිසිත් දැන උන්නේද නැත. මිතුරියන් යැයි කිසිවෙක් ගැන ඕ දැන උන්නේද නැත. යළි යා යුතු ජීවිතය කුමක්දැයි ඇයට වැටහීමක් තිබුණේද නැත. 

බසයක් දූවිලි කපාගෙන විත් නැවතුණේය.

අප දෙදෙනාම බසයට නැග්ගෙමු.

ආපසු බසින්නට පෙර ඇය සොයන්නට උත්සාහ කලද මට ඇය පෙණුනේ නැත. 

එහෙත්, පසුතැවීම සහ වේදනාව පමණක් ඉතිරිව තිබූ ඇගේ දෑස් මට තවම පෙනෙන්නේය.

| අපේක්ෂා ගුණරත්න |

More Stories

Don't Miss


Latest Articles