එදිනෙදා ජීවිතයේ විවිධ අවශ්‍යතා නිසා ණය මුදලක් හෝ කීපයක් අරන් ඒ අවශ්‍යතා සම්පූර්ණ කරගන්න ඔබට සිදුවෙන්න ඇති.
කාලෙකදී ඔබේ ආර්ථිකයට උදව්වක් දුන්න ණය මුදල් එක්වරම හෝ කොටස් වශයෙන් ගෙවීමට ඔබට පුළුවන්.
නමුත්, අත්‍යාවශ්‍යම දේකට වුනත් මුදල් වෙන් කරන්න දෙපාරක් හිතන කාලයක, ඒ වියදම් එක්කම ණය මුදල් ගෙවීමත් එකතු වෙලා නම් ?
ඔබේ සමීපතමයින්ට නොපෙන්නුවත් මේ වෙද්දි ඔබ ඉන්නෙ මේ ණය ගෙවා ගැනීමට පහසු විදිහක් සිතමින් යම් තරමක හෝ මානසික පීඩනයක වෙන්න පුළුවන්.
එහෙම නන් මේ ලිපිය ඔබ සඳහාමයි.
අපි අද ඔබත් එක්ක බෙදා ගන්න යන්නෙ ඔබේ ණය මුදල් ගෙවල ඉවර කරන්න පහසුම ක්‍රමයක් ගැනයි.
එය ණය මුදල් ගෙවීමේ snowball (හිමබෝල) ක්‍රමය විදිහට හඳුන්වනව.
ඉතාම සරල පියවර කීපෙකින් ඔබට මේ ක්‍රමය ක්‍රියාත්මක කරන්න පුළුවන්.
පලමු පියවර
ඔබේ සියළු ණය ලැයිස්තු ගත කරන්න.
ඉතාම කුඩා ණය මුදලක්වත් නොසලකා හරින්න එපා.
දෙවන පියවර
ණය මුදලේ වටිනාකම අනුව කුඩාම ණය මුදලේ සිට විශාලම ණය මුදල දක්වා පිලිවෙලින් නැවත ලැයිස්තුවක් සාදාගන්න.
මෙහිදී ඔබ පොලී අනුපාත නොසලකාම හැරිය යුතුයි.
සමහර විට ඔබේ කුඩාම ණය මුදලේ පොලී අනුපාතය කුඩාම පොලී අනුපාතය නොවන්නත් පුළුවන්.
නමුත් ඒ ගැන නොසිතා ණය මුදලේ වටිනාකම පමණක් සිතීම අනිවාර්යයි.
තුන්වන පියවර
දැන් ඔබ ණය ගෙවීම ආරම්භ කරන්නයි සූදානම.
මුලින්ම කුඩාම ණය මුදල ගෙවා ඉවර කිරීම තමයි මේ ක්‍රමයේදී අපේ අරමුණ.
මෙහිදී කුඩාම ණය මුදල හැර අනෙක් ණය මුදල් වලට ඔබට ගෙවිය හැකි සීමිතම මුදල ගෙවන්න.
ඔබ ගෙවීම් වලට වෙන්කරගන්න මුදලින් වැඩි ප්‍රමාණයක් කුඩාම ණය මුදල ගෙවීමට යොදවන්නයි ඕන.
මේ අතරම අනවශ්‍ය වියදම් කපා හරිමින් හෝ වෙනත් අදායම් මාර්ගයක නිරත වෙමින් ලබාගන්නා අමතර ආදායමත් ඔබට මේ කොටසටම එකතු කරන්න පුළුවන්.
මේ විදිහට ඔබේ කුඩාම ණය මුදල ඉක්මණින් ගෙවල ඉවර කරගන්න ඔබට පුළුවන්.
අනෙක් ණය මුදලුත් ටිකෙන් ටික හෝ ගෙවන නිසා ඒ ණය මුදල් වල වටිනාකමත් මේ වෙද්දි සුළුවෙන් හෝ අඩුවෙලා බව ඔබට පෙනේවි.
හතරවැනි පියවර
දැන් ඔබට ලැයිස්තුවේ දෙවෙනියට කුඩා ණය මුදල ගෙවා අවසන් කරන්න පටන් ගන්න පුළුවන්.
කුඩාම ණය මුදල ගෙවා ඉවර වූ පසු ඒ ණය මුදල ගෙවීමට ඔබ වෙන්කරගත් කොටස දැන් ඔබ ලඟ ඉතුරු වෙනවා.
කලින් විදිහටම වැඩිම ගෙවීම දෙවෙනියට කුඩාම ණය මුදලට යොදවන අතරේ පලමු ණය මුදල ගෙවීමට වෙන්කරගත් කොටසත් ඒ සඳහා එකතු කල යුතුයි.
මේ විදිහට ඔබේ ලැයිස්තුවේ කුඩාම ණය මුදලේ සිට විශාලම ණය මුදල වෙනකන් ඉදිරියට යමින් එකින් එක ගෙවා අවසන් කල හැකියි.
Snowball method ( හිමබෝල ක්‍රමය) ලෙස හඳුන්වන්නෙ ඇයි ?
විශාල හිම බෝලයක් හදාගන්න පහසුම විදිහ තමයි කුඩා හිම බෝලයක් අරන් හිම තියෙන බිමක රෝල් කිරීම. කුඩා හිම බෝලයට බිම තියෙන හිම එකතු වෙලා හිම බෝලය ටිකෙන් ටික විශාල වෙනව.
මෙන්න මේ විදිහට ටිකෙන් ටික මුදල් එකතු කර ගැනීමෙන් ණය එකින් එක ගෙවන ක්‍රමයක් නිසා තමයි මේ ක්‍රමය snowball ක්‍රමය විදිහට හඳුන්වන්නෙ.
Snowball (හිමබෝල) ක්රමයේ වාසි අවාසි
ඔබේ කුඩා කුඩා ණය මුදල් හෝ එකින් එක ගෙවීයන ආකාරය කෙටි කාලයකදී දැක ගන්න ඔබට පුළුවන්.
කුඩාවට පෙනුනත් මෙය විශාල ජයග්‍රහණයක්.
ඒ වගේම ණය ගෙවා ගැනීමේ පැහැදිලි ක්‍රමයක් සිතාගත නොහැකිව මානසිකව පීඩා විඳිමින් සිටි ඔබට මෙය විශාල අස්වැසිල්ලක්.
නමුත් මේ ක්රමයේ තියෙන ප්‍රධානම අවාසිය තමයි අපි පොළී අනුපාත පිළිබඳ අමතක කර දැමීම.
ඔබේ ණය මුදල් වලින් වැඩිම පොලී අනුපාතය තියන්නෙ විශාලම ණය මුදලට වෙන්න පුළුවන්. මේ ක්‍රමය අනුව ඒ ණය මුදල අවසානයට ගෙවන නිසා සමහර විට ඔබට පොළිය ලෙස වැඩි මුදලක් ගෙවීමට සිදුවෙන්නත් පුළුවන්.
මේ වාසි අවාසි පිළිබඳ දැනුවත් වෙමින්ම මේ ක්‍රමය අනුගමනය කරන්න ඔබට පුළුවන්.
ඔබට මානසිකව හා ආර්ථිකව ශක්තියක් වෙන තවත් මේ වගේ ලිපියකින් අපි නැවත හමුවෙමු.
සටහන – දුලානි නවෝද්‍යා