මැටි..

” මැටි  අනන  කෙල්ලෙක්ට දෙන්න අපි පුත්තු හදලා නෑ… හොඳ හිතින් අනුරුද්ධ එක්ක තියෙන සම්බන්ධේ නවත්තලා දාපන් සුජානි … ආයේ මම නරක ගෑණි කියන්න එපා…”

අනුරුද්ධ ගේ අක්කායි , අම්මයි ගෙදරටම ඇවිල්ලා කෑ ගහලා ගියාට පස්සේ අපේ ගෙදර සොහොන් පිට්ටනියක් වගේ වුණා. අම්මයි, නංගියි අඬනවා ඇහුණා. තාත්තා මිදුලේ ඇවිදිනවා මම දැක්කා. අය්යා ගැන වගක්වත් තිබුනේ නෑ. 

සමහරවිට අය්යා අනුරුද්ධව හොයාගෙන යන්න ඇති. අය්යා අනිවාර්යයෙන් අනුරුද්ධ ට කෑ ගහවි. සමහරවිට දෙන්නා රණ්ඩු වෙලා ගහගනීවි. 

මට එහෙමත් හිතුණා. ඒත් ඊළඟ පියවර විදියට කරන්න ඕනි දේ හිතාගන්න බැරි තරමටම මගේ හිත ඔද්දල් වෙලා තිබුණේ. 

” ආයේ අනුරුද්ධ එක්ක ඇයි හොඳැය්යක් ඕනි නෑ…”

හවස හයට විතර පියාඹගෙන වගේ ඇවිල්ලා  මිදුලේ බයික් එක නවත්තපු අය්යා එහෙම කිව්වම මගේ හුස්ම නැවතේවි කියලා මට බය හිතුණා. 

“අය්යේ ?”

“ඌ මෙහෙට රිංගන්න ගත්තේ මට හිතවත්කමක් පෙන්නගෙන… පස්සේ ඌ ඇවිල්ලා තියෙන්නේ උඹේ පස්සෙන් කියලා දැනගත්තත් මම ඉවසුවේ ඌ අවුලක් නැති එකෙක් බව දන්න නිසා… ඒත්, උඹට අවලාද කියන තැනකට උඹව යවන්නේ නෑ නංගී … ඒක නිසා හිත හදාගනින් … මං ඌටත් සහසුද්දෙන්ම කියලයි ආවේ …”

අය්යා එහෙම කියනකොට මම ඉකි ගහ ගහ ඇඬුවා. ඒත් කිසිම කෙනෙක් මගේ පැත්තට කතා කරන්න උත්සාහ කලේ නෑ.

“ලොකූ හරි …  උඹ එක එකාගේ කයි කතන්දර අහන්න ඕනි කෙල්ලෙක් නෙවෙයි …”

තාත්තා නිදාගන්න ඇඳටත් ගිහිල්ලා ගෙදරටම ඇහෙන්න එහෙම කියනකොට මං මැරුණා. මම සුජානි සහබන්දු. අය්යගේයි නංගිගෙයි මැද මද්දුමයා. අපේ අම්මා ඇඳුම් මහලා විකුණපු එක කලේ. අම්මගේ මැහුම් එක්ක හැරෙන්න අහලකවත් කෙනෙක් හිටපු නැති නිසා අම්මට මාසේ පුරාම වැඩ තිබුණා. තාත්තා තැපැල් කාර්‍යාලයේ සේවය කරලා විශ්‍රාම ගියේ ගිය මාසේ. අය්යා කරන්නේ ගොවිතැන. අය්යට පොලි ටනල් තුනක් තියෙනවා මේ වෙනකොට. කොළඹ හෝටලේකට තමයි අය්යා ඒ එළවලු දාන්නේ.  නංගී තවම ඉස්කෝලේ යනවා.  

මම උසස් පෙළ කලේ කළා අංශයෙන්. පළවෙනි වතාවට විභාගේ කලාට පස්සේ ආයෙම විභාගේ කරන්න මගේ සූදානමක් තිබුණේ නැහැ. ඒ වෙනුවට මට හීනයක් තිබුණා.

මැටි භාණ්ඩ අලෙවිසැලක්…..,

දුඹුරු පාට ට  කිට්ටුවෙන් යන මැට්ටේ පාටට ඉර එළිය වැටිලා දිලිසෙන හැටි මම බලාගෙන හිටියා. 

ඉස්සෙල්ලාම ඒ ගැන කිව්වේ නංගීට. නංගී එක පයින්ම මගේ උදව්වට ආවා. ඊට පස්සේ අය්යාට.අය්යා මගේ දිහා අමුතුවට බලාගෙන ඉඳලා, ඊට පස්සේ උස්සලා වඩා ගත්තා. අම්මයි තාත්තායි කොහොමටත් අපේ ජීවිත වල නිදහස් ඉඩ දුන්න අය. 

අනුරුද්ධ අපේ ගෙදර යන්න එන්න ගත්තේ මම සැලසුම් හදමින් ඉන්න කාලේ. අය්යගේ මිතුරෙක් හිතවත්කමකින් ආවට පස්සේ පස්සේ අනුරුද්ධ සති අන්තේ එක වරුවකට හරි අය්යාව මුණ ගැහෙන්න ආවා. ඒ වෙනකොට අනුරුද්ධ කැළණිය විශ්ව විද්‍යාලයේ අවසාන වසරේ ශිෂ්‍යයෙක්.

 මුලදී මගේ සැලැස්ම වුණේ මැටි බඳුන් පන්සීයක් සකස් කරන එක. ඒකෙන් දෙසිය පනහක් විවිධ හැඩතල, රූප, අකුරු එක්ක හැඩ ගන්වන්න දෙවෙනිව සැලසුම් කරලා තිබුණේ. අපේ ගෙදර තිබුණේ ප්‍රධාන පාරේ අයිනක නිසා පලවෙනි අලෙවි කුටිය ගෙදර ඉස්සරහම සකස් කරන්න යෝජනා කලේ අය්යා.

හුම්මානයට යන දෙස් විදෙස් සංචාරකයන් ඉලක්ක කරගෙන තමයි මම මැටි බඳුන් නිර්මාණය කරන්න පටන් ගත්තේ. 

අනුරුද්ධ තමයි අමුද්‍රව්‍ය වගකීම බාරගත්තේ.  මුල්ම මැටි තොගය ගේන්න අනුරුද්ධ ගේ යාලුවෝ දෙන්නෙකුත් ආවා. ඒගොල්ලෝ මගේ දිහා බල බල හිනාවෙන හැටි දැක්කත් මට හේතුවක් වැටහුණේ නෑ.

“ඒයි මැට්ටි … එහෙ නෙවෙයි .. මෙහෙ බලනවා… “

අනුරුද්ධ එකපාරටම එහෙම කිව්වම මම ගැස්සුණා. එදාම රෑ අනුරුද්ධ මට ආදරේ කරන බව කිව්වා. සති දෙකකින් එයා අය්යා එක්කත් ඒ ගැන කතා කරලා තිබුණා. අය්යත් සාමකාමී වුණ නිසා මාසයක් යන්න කලින් මං අනුරුද්ධ ගෙ හිතේ එල්ලුණා. 

අනුරුද්ධ මගේ හීන වල පාටගැන තදින් වග වෙන පිරිමියෙක් වුන හින්දාම මම ජීවිතේ ගැන අලුත් හීන දකින්න බය වුනේ නැහැ. අවුරුදු එක හමාරක් යනකොට අපේ ගෙදර ඉස්සරහ තිබුණ අලෙවි කුටියේ ප්‍රමාණය ලොකු කරලා සකස් කරන්න සිද්දවුණා. මැටි පදනම් කරගෙන, නේක විද දේවල් මගේ අත් දෙකින්ම හැඳුණා.

අනුරුද්ධ පුළුවන් හැමවෙලේම මට උදව් කලා. තාක්ෂණික කාරණා හොයාගෙන ඇවිල්ලා කිව්වා. නිර්මාණ ශිල්ප ක්‍රම ගැන ඉගෙනීම් අවස්ථා වලට මාව යොමු කලා. 

ඒ අතරේ තමයි අනුරුද්ධ ගේ අම්මලා මේ ගැන දැනගත්තේ. කිහිප වතාවක්ම අනුරුද්ධ ගේ අක්කා දුරකථනයෙන් මාව ඇමතුවා. මේ සම්බන්ධතාවය නැවතෙන්න ඕනි බව අවධාරණය කලා. ඒත් අනුරුද්ධ කිව්වේ  ඔහුගේ ජීවිතයේ පාලනය කිසිවෙකුට නොදෙන බව. ඊට පස්සේත් අක්කා කතා කලත් මම දුරකථනයට පිළිතුරු දුන්නේ නැහැ. 

අද මේ පුපුරලා ගියේ ඒ නිහැඬියාවට පස්සේ තියෙන බෝම්බය. 

පහුවෙනිදා පාන්දර අනුරුද්ධ අපේ ගෙදරට ආවා.

” මං ආවේ සුජානිව එක්කගෙන යන්න. මං අද එයාව බඳිනවා …”

අනුරුද්ධ එහෙම කියාගෙන මම උන්න දිහාවට ඇවිදගෙන ආවා. අය්යා එකපාරටම අනුරුද්ධ ව පැත්තකට තල්ලු කලා.

“උඹට දෙන්න ගෑණු මෙහෙ නෑ කියලා මම කිව්වනේ… මෙතන පෙට්ටි ඉස්සෙන තැනට වැඩ නොකර පලයං …”

” මං සුජානිව අත් හරින්නේ නෑ කියලත් මම කිව්වනේ … “

අනුරුද්ධ අය්යට කඩාගෙන පැන්නා. 

” උඹට අල්ලන් ඉන්න බෑ.. ඒකි අතෑරලා ඉවරයි… නංගී.. යනවා ඇතුලට …”

එහෙම ඇහෙනකොට අනුරුද්ධ ගැස්සෙනවා මම දැක්කා. මම හෙල්ලෙන්නේ නැතුවම බලාගෙන හිටියා.

“උඹ ආයේ මෙහෙ ආවොත් පොලිසියට කුදලලා දෙනවා. පලයං … උඹේ අම්මයි අක්කයි එක්ක වරෙන් කැන්දන් යන්න ඕනි නම් …”

“සුජා..ඔයා එන්න ..”

අය්යගේ කතාව වගක් නෑ වගේ අනුරුද්ධ මගෙ පැත්තට හැරුණා. ඒත් මට එක අඩියක්වත් ඉස්සරහට තියාගන්න බැරි වුණා. අම්මගේ , තාත්තා ගේ , අය්යගේ , නංගීගේ ඇස් වලින් මාව බැඳිලා තිබුනේ.

“දැන් හරිනේ … යමං දැන් …”

අය්යා අනුරුද්ධ ව මට නොපෙනෙන්න අරගෙන ගියා. මම දවස් ගණන් ඇඬුවා. මගේ ජංගම දුරකථනය අය්යා අතින් කුඩු වෙලා ගියා. අනුරුද්ධ එක්ක අනුරුද්ධ ගෙ අම්මයි අක්කයි රට ගිහින් කියලා අය්යා කිව්වට පස්සේ මම දෙවෙනි වතාවටත් මැරුණා. ඊටත් පස්සේ අනුරුද්ධව සම්බන්ධ කරගන්න මට කිසිම ඉඩක් නැතුව ගියා. අනුරුද්ධ පවා මට කතා කරන්න උත්සාහ කල බවක්වත් දැනෙන්න, පේන්න තිබුණේ නැහැ. 

ඒත්, ඒ වතාවේ මම හය්යෙන් ඉපඳුණා. 

මම මහන්සි වෙලා වැඩ කරන්න පටන් ගත්තා. මුදල් ඉපයීම වෙනුවෙන් ම සැලසුම් හදන්න ගත්තා. මාතර, වැලිගම, හික්කඩුවේ මැටි භාණ්ඩ අලෙවිසැල් තුනක් විවෘත කරන්න මට ගත වුණේ අවුරුදු තුනක් විතරයි. ඒ කාලය පුරාවටම අනුරුද්ධ හීන වලින් ඇවිල්ලා මාව ඉඹලා ගියා. 

මට අවුරුදු විසි හයක්. අය්යා විවාහ වුණා. නංගී කැම්පස් ගියා.  අම්මලාගේ ඊළඟ බලාපොරොත්තුව මාව විවාහ කරලා දෙන එක. මම අය්යා විවාහ වුණ අක්කට හැමදේම කිව්වා. මගේ හිතේ අනුරුද්ධ ඇලවිලා පැලපදියම් වෙලා වග කිව්වා. අක්කා මගේ පැත්තෙන් හිට ගත්තා. අන්තිමේදී අය්යා අනුරුද්ධ ගැන හොයලා බලන්න එකඟ වුණා. 

මාස තුනකට පස්සේ අය්යා පණිවිඩයක් අරගෙන ආවා.

” ඌ ඉන්නේ බදුල්ලේ.. එහේ ඉස්කෝලේක ටීච් කරනවා…  අක්කයි  අම්මයි නම් තවම රටලු … ආරංචි විදියට බැඳලා නෑ.. ඒත් කියන්න බෑ…”

අන්තිමේදී උත්තරේ මොක වුනත් ඒක බාරගන්න මම අම්මලාට පොරොන්දු වුණා. මනමාලි බලන්න මනමාලයා එන චාරිත්‍රේ කණපිට ගහගෙන අපි අනුරුද්ධව බලන්න ගියා. බදුල්ල නගරේ ඉඳන් කිලෝමීටර් විස්සක් විතර අපි යන්නැති.

” මරු පොට් එකක් හැබැයි මූ හැංගෙන්න තෝරගෙන තියෙන්නේ…”

අය්යායි නංගියි එහෙම කිය කියා හිනා වුණා. අපි ඉස්කෝලේ ලඟින් බහිනකොට ඉස්කෝලේ ඇරිලා. මං වෑන් එක ඇතුලට වෙලා හිටියා. 

මෙච්චර වෙලා ඉවසගෙන හිටියා වුනත් , මේ තත්පර කිහිපය සෑහෙන්නම අමාරු වග දැනෙනවා. 

“අඩෝ … උඹ ….”

අවුරුදු ගානක් තිස්සේ මැරිලා ගිහින් තිබුණ නහර වලට ලේ පිරුණ බව දැනුණා. මම කාටවත් නොපෙනෙන්න වීදුරුවෙන් එබුණා

 සුදු කමිසේකට  කලු කලිසමක් එක්ක හරහට බෑග් එකක් දාලා, කලු සපත්තු දෙකක් පැළඳගත්ත මිනිසෙක් අය්යව වැලඳගනිමින් උන්නා. ඒ විදියටම අම්මලා එක්ක හිනා වෙමින් උන්නා.

“ඉතින් .. ? මෙහෙ ??”

“ඔව්…. පොඩි වැඩකට ආවා කෙනෙක්  ගැන හොයන්න..  අනුරුද්ධ මෙහෙ බව දන්නේ නෑනේ…”

“මං මෙහෙට ඇවිල්ලා ටිකක් කල්… කියාංකෝ ඉතින්, ඉස්කෝලේ කවුරු හරි ගැනද ?”

“ඔව් ඔව්….”

අනුරුද්ධ විමසිල්ලෙන් වටපිට බලනවත් මම දැක්කා. 

“කවුද?”

“මීට අවුරුදු හතරකට විතර කලින් අපේ නංගිව බඳින්න අහගෙන ආව කොල්ලෙක් මේ ඉස්කෝලෙ උගන්නවා කියලා ආරංචි වුණා… පොඩ්ඩක් බලලා යන්න ආවේ …”

අනුරුද්ධ නළල ඇඟිලි තුඩු වලින් මිරිකගන්නවා මම දැක්කා. ඊටත් පස්සේ උන්මාදනීය හිනාවක් වක්කරා. 

“සුජානි ආවේ නැද්ද බං… මං සති තුනකින් කෙල්ලව දැක්කේ නෑ.. මං අද වැලිගම යන්න හිතන් හිටියේ , ඊයේ  ඇපොයිමන්ට් එකක් ගන්න  වගේ මම ශොප් එකට කෝල් කරා… සුජානි අද එන්නේ නෑ කිව්වා කියලා …  ..”

මම පපුව බඳාගත්තා.  

මට තව වෙලා  ඒ හැඟීමට හිර වෙලා ඉන්න දෙන්න් පුළුවන් වුනේ නැහැ.

“ඒකි මැටි කෙල්ලෙක් බං …”

අය්යා කියනවා ඇහුණා. 

” මං ගින්නක්… ඒ මැටි කුඩු පට්ටම් නොවෙම ගානට පුච්චලා බලාගන්න පුළුවන් … බැරි වෙලාවත් බිඳිලා ගියොත් ආයේ අලවලා බලාගන්නත් පුළුවන් ….”

මං අනුරුද්ධව මට පුළුවන් උපරිම තදින් වැළඳගත්තා.

| අපේක්ෂා ගුණරත්න |

More Stories

Don't Miss


Latest Articles