Makeup මිලදී ගැනීමේදී ඔබට අමතකම වන දේ

මේකප් කිරීම කියන්නේ කලාවක්. නමුත් එය ඉතා හොඳ අවබෝධයක් සහිතව කිරීම අනිවාර්යයෙන්ම වැදගත්. මේකප් කිරීමේදී ඔබ ගනුදෙනු කරන්නේ ඔබගේ සම සමඟ නිසා ඔබ වෙනුවෙන් මේකප් මිලදී ගැනීමේදී එහෙමත් විය යුතු බොහෝමයක් කාරණා තිබෙනවා. මේ ලිපියෙන් අපේ ඔබ සමග කතා කරන්නේ මේකප් මිලදී ගන්නට පෙර ඔබ අවධානය යොමු කළ යුතු කාරණා ගැනයි.

සමේ වර්ගය සහ ගැටලු 

ඕනෑම රූපලාවන්‍ය නිෂ්පාදන මිලදී ගැනීමට පෙර සැලකිලිමත් විය යුතු කාරණාවක් තමයි මේ.ඔබේ සමේ වර්ගය සහ ඔබේ සමේ ඇති විශේෂිත ගැටළු කෙරෙහි ඔබ විශේෂ අවධානයක් යොමු කළ යුතුයි.ඔබට තෙල් සහිත, වියලි, සංයෝජන, සංවේදී හෝ කුරුලෑ ඇති සමක් තිබෙනවා නම් ඒ සඳහා සුදුසු නිෂ්පාදන ඔබ මිලදී ගැනීමට වගබලා ගන්නට ඕනේ.

අඩංගු අමුද්‍රව්‍ය 

ඔබ මිලදී ගැනීමට සූදානම් වන නිෂ්පාදන වල අඩංගු අමුද්‍රව්‍ය පරීක්ෂා කර බැලීම ඔබ අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්.එම අමුද්‍රව්‍ය උසස් තත්වයේ , සමට හිතකර සහ සම මත ප්‍රතික්‍රියා නොකරන අමුද්‍රව්‍ය දැයි පරීක්ෂා කළ යුතු අතර පැරබීන්, සල්ෆේට්, තැලේට් සහ කෘතිම සුවඳ විලවුන් වැනි හානිකර ද්‍රව්‍ය අඩංගු නිෂ්පාදන මිලදී ගැනීමෙන් ඔබ වැළකිය යුතුයි.

වෙළඳ නාමය 

මේකප් මිලදී ගැනීමට පෙර ඒවායේ වෙළෙඳ නාමය පිළිබඳවත් ඔබ අවධානය යොමු කළ යුතුයි. ඉතා අඩු මිල ගණන් යටතේ තිබෙන නිෂ්පාදන වල ගුණාත්මක භාවය අඩු තත්ත්වයක තිබිය හැකි බැවින් මිල අධික වුවත් හොඳ ගුණාත්මකභාවයකින් යුතු නිෂ්පාදන මිලදී ගැනීම නුවණට හුරු ක්‍රියාවක්. ඒ වගේම එම වෙළෙඳ නාමය පිළිබඳව අනෙකුත් පාරිභෝගිකයන්ගේ අදහස් සලකා බැලීමත් ඔබට කළ හැකියි.

කල්ඉකුත් වෙන දිනය 

ආහාර පාන වලට කල් ඉකුත් වන දිනයක් ඇති සේම මේකප් නිෂ්පාදන වලටත් අනිවාර්යයෙන්ම කල් ඉකුත් වන දිනයක් තිබෙනවා. ඒ වගේම එය එම නිෂ්පාදනයේ ඇසුරුමේ සටහන් වී තිබිය යුතුයි. කල් ඉකුත් වූ නිෂ්පාදන සම මත භාවිතා කිරීමෙන් ආසාදන තත්ත්ව වල සිට තවත් බොහෝ නරක බලපෑම් ඔබේ සමට ඇතිවිය හැකි බැවින් මේකප් මිලදී ගැනීමට පෙර අනිවාර්යයෙන්ම කල් ඉකුත්වන දිනය පිළිබඳව සැලකිලිමත් වන්න 

ඇසුරුම්කරණය

මේ වන විට වෙළඳපලේ ගුණාත්මක භාවයකින් යුතු වූ නිෂ්පාදනවල ව්‍යාජ අනුකරන බොහෝමයක් තිබෙනවා. ඒ නිසා ඔබ මේකප් නිෂ්පාදන මිලදී ගැනීමට පෙර ඒවායේ ඇසුරුම් වල ඇති වෙනස්කම් , බාකෝඩ් සහ වෙළඳ නාමය පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. සමහර අවස්ථාවලදී වෙළෙඳ නාම පවා අකුරකින් දෙකකින් හෝ වෙනස්කම් සහිතව ඉතාම සමාන අනුකරන වෙළඳපලේ දක්නට ලැබෙන නිසා නිෂ්පාදන මිලදී ගැනීමේදී ඔබ ඒ පිළිබඳවත් අවධානය යොමු කළ යුතුයි.

හිරු ආරක්ශාව

හානිකර හිරු කිරණ වලින් ඔබේ සම ආරක්ෂා කර ගැනීමට ඔබ මේකප් කිරීමට පෙර sunscreen එකක් භාවිතා කරනවා ඇති. සමහර මේකප් නිෂ්පාදන වල හිරු ආවරණ අඩංගු වනවා. ඔබේ සම ආරක්ෂා කර ගනිමින් මේකප් කිරීමට ඔබ සිතනවා නම් මෙවැනි නිෂ්පාදන අමතර ආරක්ෂාවක් සහිත නිෂ්පාදන ලෙස හඳුන්වන්නට පුළුවන්. 

ඔබ නිතර මේකප් කරන කෙනෙක් නම් නිෂ්පාදන මිලදී ගැනීමට පෙර මෙවැනි කරුණු පිළිබඳව අනිවාර්යයෙන්ම අවධානය යොමු කරන්නට වග බලා ගන්න. එමගින් ඔබේ සමේ නීරෝගී භාවය පවත්වා ගැනීමට සහ සමට ඇතිවිය හැකි  අනෙකුත් හානි වලින් සම ආරක්ෂා කර ගැනීමට හැකිවේවි.

Related Articles

Don't Miss


Latest Articles