තමන්ගේ අතින් දැන හෝ නොදැන වුන වරදක් නිසා සිරගත වෙලා දඬුවම් විඳින කාන්තාවන් ගැන අපි පහුගිය ලිපි දෙකකින්ම කියෙව්වා. අද අපි කියවන්න යන්නේ, තමන්ගේ හදිසි තීරණ නිසා සිරගත වෙන එක පුරුද්දක් කරගෙන ඉන්න පුතුන් දෙදෙනෙක් නිසා විඳවන අම්මා කෙනෙක් ගැන.
හැමදාම උදේට මම බස් එකෙන් බහින වෙලාවටම ඒ බස් එකෙන් බහින කෙසඟ කාන්තාවක් දිහාවට මහේ ඇස් දින කිහිපයක ඉඳන් යොමුවෙලා තිබුණෙ. සතියක් විතරඔ බලාගෙන ඉඳලා මම ඇයට පස්සෙන්ම බස් එකෙන් බැස්සා. ඇය ඉස්සෙල්ලාම අසල තිබුණ කඩේකට ගිහින් ආවා. ඊට පස්සේ බන්ධනාගාරය ඇතුලට ගියා. මම ඇය එනකල් පැයක් විතට ගේට්ටුව ළඟට වෙලා හිටියා.
ඇගේ මුහුණ පුරා තිබුණේ විඩාවම විතරයි.
” මේ බීම් එක බොන්න …”
මම ඇයට ප්ලාස්ටික් බීම බෝතලය දිග් කලා. ඇය ඒ දිහාත් මගේ මූණ දිහාත් බලාගෙන ඉඳලා බීම බෝතලේ එක හුස්මට බිව්වා.
“අපේ පාරේ බස් එන්නේ පැයකට පාරක්නේ නෝනා.. උදේ කහට එක බීලා එහෙමම බස් එකට අවා…”
ඇය කෘතඥ පූර්ව හිනාවකින් මට කිව්වා.
“ඇයි අම්මා මෙහෙ එන්නේ ? මම දැක්කා දවස් කිහිපයක් ම…”
ඇය මගේ දිහා බලාගෙන හිටියේ මට කතාව කියන්න ඕනිද නැද්ද කියලා විශ්වාසයක් නැතිව වගේ. මම ඇය දිහා බලාගෙන හිටියේ විශ්වසනීයව. අවසානයේ අපි දෙන්නා කඩේ එළියේ පුටු දෙකක ඉඳ ගත්තා.
කතාව ඔබට පැවසීමේ පහසුවට ඇගේ නම දීපා යැයි මම ඔබට කියන්නම්. දීපා විවාහ වෙන්නේ ඇගේ මාමා විවාහ කරගෙන සිටි නැන්දාගේ සහෝදරයාගේ පුතෙක් සමඟ. ඒ වයස අවුරුදු විසි පහේදි. ඉගෙනීම ගැන ඒ තරම් වගකීමක් නොතිබුණ නිසා දීපාගේ දෙමාපියන් ට ඇගේ අධ්‍යාපනය ගැන වෙහෙසෙන්න වෙලා තිබිලා නැහැ. සහෝදර සහෝදරියෝ පස් දෙනෙක් උන්න පවුලක තුන් වැනියා වුන දීපා සරත් එක්ක විවාහ වෙලා මුල් ගමට කිලෝමීටර් ගානක් එහයින් තිබුණ සරත්ගේ ගමේ පදිංචියට යන්නේ නැවුම් බලාපොරොත්තු එක්ක.
සරත්ගේ දෙමාපියන් ගෙන් ලැබුණු කුඹුරු වගේම ගොඩ ඉඩම් වලත් වගා කටයුතු කරගෙන දෙන්නාගේ ජීවිත ගලාගෙන ගියා. දීපාට වෙහෙසෙන්න ඉඩක් නොදීම සරත් ගොඩ, මඩ ගොවිතැන් වල නියැලුණා. දීපා කලේ ගෙදර දොර වැඩ කටයුතු එක්ක සරත්වත් බලාගෙන ජීවත් වුණ එක.
ඔය අතරේදී දීපාගෙයි, සරත්ගෙයි කැදැල්ලට පුතුන් දෙදෙනෙක් එකතු වුනා.දරුවන්ගේ වැඩ කටයුතු එක්ක දීලා කාර්‍යබහුල වුණා. සරත් වැඩිපුර මුදල් උපයන්න වෙහෙසුණා.
අවුරුදු දාසයකයි දහ අටකයි පුත්තු දෙන්නා එක්ක දීපයි, සරතුයි ජීවිතේ දුක් නොවිඳ, ඒත් වැඩ්පුරම සැපත් නැති ජීවිතයක් ගෙව්වේ. දරුවෝ දෙන්නාගේ අධ්‍යාපනය ගැන දීපා වෙහෙසුණත්, ඒ දෙන්නා සාමාන්‍ය පෙලින් පස්සේ පාසැල් ගමන නවත්තලා සරත් පස්සෙන් වැටුණා.
“මේ ළමයි දෙන්නා නඩේට වැටිලා වැඩියි .. මම මේ කල්පනා කලේ අය්යලාගේ දිහාවත් යවන්නද කියලා …”
ඒත් දීපා කැමති වුනේ නැහැ පුතුන් දෙදෙනාව ඇස් මායිමෙන් පිට යවන්න. ඒ නිසා සරත්ගේ යෝජනාව එහෙමම යටපත් වුණා.
ඒ අතරේදී කොවිඩ් වසංගතය ආවා. මිනිස්සු ගම් වල හිර වුනාට පස්සේ අවශ්‍යතා ගම් ඇතුළේම සැපිරෙන්න හේතු හැදෙන්න ගත්තා.
සරත් ඒ අතරේදී ගමේ දෙන්නෙක් එක්ක එකතු වෙලා නීතිවිරෝධී මත් පැන් සකස් කරන්න පටන් ගත්තා. දීපා මුලදී විරුද්ධ වුනත් හවසට ලැබෙන අසාමාන්‍ය මුදල නිසා දීපාගේ විරෝධතා ත් යටපත් වුණා.
ඒ අතරේ තමයි දීපාගේ පුත්තු දෙන්නාත් සරත් පස්සෙන් වැටුණේ. පොලිසියට වහන් වෙලා මෙ ව්‍යාපාරය පවත්වගෙන යන්න පුත්තු දෙන්නාගේ සහාය ගන්න හිතාගෙන සරත් ළමයි දෙන්නට විරුද්ධ වුනෙත් නැහැ. දිනපතා මුදල් ලැබෙන තරමට දීපාත් ඒ තීරණය ට එකඟ වෙලාම හිටියා.
ඒත් කාලේත් එක්ක ළමයි දෙන්නා සරත්ගෙයි, දීපාගෙයි ඇස් මානෙන් පිට කාරණා වලට පැටලෙන්න ගත්තා. නීතිවිරෝධී මත් ද්‍රව්‍ය වෙළඳාම ගැන රහ වැටුණු තරුණ ළමයි දෙන්නා ඉක්මනින් මුදල් උපයන්න හිතාගත්තා.
දීපාටත් සරත්ටත් මේ ගැන අවබෝධයක්වත් , අදහසක්වත් තිබුණේ නැහැ. ඒත් දිනපතා ළමයි දෙන්නාගේ අතේ ගැවසෙන මුදල් වල ප්‍රමාණය ගැන සැක කරපු දීපා මේ ගැන හාරා අවුස්සලා අහන්න පටන් ගත්තා.
“ඇත්ත කියපං ලොකූ … උඹලා මොකක් හරි ජරා වැඩකට පැටලිලාද ඉන්නේ ?”
“පිස්සුද අම්මේ… දැන් තාත්තා ගේ වැඩවත් කරන්නේ නෑනේ අපි..”
“එහෙනම් උඹලට කොහෙන්ද ඔච්චර සල්ලියක් ….”
“අපි මැශින් එකේ වැඩ …”
දීපා ඉන් එහා විස්තර ඇහුවේ නැතත් හිතේ සැකේ නම් තිබුණා.
එක දවසක් හවස මේ සැකේ තහවුරු වුණා.
“දීපා නංගියේ… දීපා නංගියේ .. අනේ අන්න හන්දියේ කඩේ ළඟදී කොල්ලෝ දෙන්නව ජීප් එකේ දාගෙන ගියා ….”
සරත් ගමෙන් පිට වැඩකට ගිහින් හිටපු නිසා දීපා පොලිසියට දිව්වේ තනියම.
” හා හා දැන් මෙතන බොරුවට කෑ ගහන්න එපා … පුත්තු දෙන්නා අහිංසක නම් බය වෙන්න දෙයක් නෑනේ…. “
පොලිසියේ මහත්තුරු එහෙම කියනකොට දීපාගේ හිතට සැනසීමක් දැනුනත්, ඊළඟ වතාවෙ ලොකු මහත්තයා කිව්ව දෙයින් දීපාගේ පපුව කෑලි වෙලා ගියා.
“දැන් මේ අම්මා ගෙදර යන්න … පුත්තු දෙන්නා අද මෙහෙ ඉඳී … හෙට උසාවි දානවා. උසාවියට එන්න … “
දීපා කොයි තරම් ඇඬුවත් තනියම ගෙදර එන්න වුනා. පහුවෙනිදා උසාවි තීරණය එක්ක දීපාගේයි සරත්ගෙයි ජීවිත එකම තැන නැවතුණා වගෙයි දැනුනේ.
“නීතිවිරෝධී මත් ද්‍රව්‍ය තිබුණ අය එක්ක උන්න නිසා කියලා කොල්ලෝ දෙන්නව මාස හයකට අච්චු කලා නෝනේ… එතැන උන්න අනෙක් කොල්ලෝ අවුරුදු දෙකෙන් එහ අච්චු වුනා…”
දීපා මට එහෙම කිව්වා.
“මාස හය ඉවර වෙලා එලියට ආවට කොල්ලෝ දෙන්නට සැනසීමෙන් ඉන්න ලෝකේ උන් ඉඩ දුන්නේ නෑ.. උන් දෙන්නා ලෝකේ එක්ක හැප්පෙන්න තෝරගත්තේ වැරදි පාර.. මටවත්, උන්ගේ අප්පාටවත් දැන් උන් දෙන්නා නවත්තගන්න බෑ.. මේ තුන් වෙනි පාර.. අපි මේ වතාවෙන් පස්සේ නම් මේවා විකුණලා දාලා යන්න හිත් හදාගෙන ඉන්නේ … එහෙම නැතුව ළමයි දෙන්නා බේරගන්න වෙන්නෙ නෑ. උන් දෙන්නත් කියන්නේ ගමෙන් යමු කියලා …”
“තව කොච්චර කල් තියෙනවා ද?”
“මාස දෙකක් …”
“ඉතින් හැමදාම කෑම අරන් එනවද?”
” ම්ං උදේ ගේනවා අපේ මනුස්සයා හවහට එනවා.. කොල්ලෝ දෙන්නා මෙහෙම තියලා අපිට එහෙ උගුරෙන් පහලට බත් කටක් යැවෙන්නේ නෑ නෝනේ…”
දීපා එහෙම කියනකොට ඇස් වලින් කඳූලු වැක්කෙරුණා.
දරුවෝ වෙනුවෙන් මෙහෙම දුක් විඳින අම්මලත් තටු අහිමි සමණලියෝ කියලා හැඳින්වුවට කමක් නැහැ නේද ?
| අපේක්ෂා ගුණරත්න