චරිත් බලාපොරොත්තු වු අයුරින්ම සේවා සහතිකය ලැබුණ නිසා ඔහු මොණරවිල හොටෙල්ස් හැර ගියේ යම් උඩඟුකමකිනි. එය කෙතරම් වීද කිවහොත්, ඔහු ශයිනි වැළඳගෙන සියල්ලන් ඉදිරියේම ඇයට ස්තූති කලාය. තම ජීවිතයට යම් වෙනසක් අවැසි නිසා මේ තීරණය ගත් වග සියල්ලන් සමඟම කීවේය.
මේ කිසිත් නොදැන උන් තිළිණි හෝටලයේ ඉදිරිපස කොටසට පැමිණියේ නඩත්තු අංශයේ අයෙකු පැවසු පණිවිඩයට පසුවය. ඒ වනවිටත් චරිත් සියල්ලන්ටම සමුදී, කින්ග්ස් විලා වෙතින් එවා තිබූ මෝටර් රියට ගොඩවී තිබුණි. තිළිණි එක් තැනකින් පසුව අඩියක් හෝ ඔසවා ගත නොහැකිව එලෙසම නැවතුණාය.
සිහිය එද්දී ඕ උන්නේ ශයිනිගේ කැබිනය තුළ සෙටිය මතය. තිළිණි ගේ හදිසි කම්පනයට හේතුව ශයිනි ට පැහැදිලි ව වැටහුණෙ නැත. කොහොමටත් රැකියාවෙන් ඉවත්ව යන්නට නියමිතව තිබුණේ චරිත් පමණි. එනිසා තිළිණි ට මෙලෙස කලබල වන්නට හේතුව වටහා ගත නොහැක.
පියවි සිහියට එළඹි වහාම තිළිණි ඉකි ගසමින් හඬන්නට ගත්තාය. තිළිණිට හඬන්නට ඉඩ දී ශයිනි සෑහෙන්නම වෙලා බලා උන්නාය. ඇය කතා කරන තෙක්ම ශයිනි කිසිත් විමසුවේ නැත.
අවසානයේ තිළිණි හඬමින්ම සියල්ල කීවාය. සියල්ල කීවාට දෙදෙනා අතර වූ සියල්ලම නොවේ. පසුගිය දින දෙක තුනෙහි චරිත්ගේ වූ වෙනස්කම් කීවාය.
ඔහු තමාටද ඔහු සමඟ පැමිණෙන්නටයැයි පැවසූ පසු එය ප්‍රතික්ෂේප කල මොහොතේ පටන් ඔහු වෙනස් වූ අයුරු කීවාය. ඉන් පසුව පෙර දිනයේ සවස ඔහු හා යන්නට එන වග කීවද ඔහු ඒ වග ගණනකට හෝ නොගෙන තමා පිටතට දමා දොර වසා ගත් අයුරු කීවාය. තිළිණි උන්නේ මානසිකව සේම කායිකවද පීඩාවෙනි.
තිළිණි ගේ කතාව අසා සිටියදී ශයිනි පත් වූයේ තවත් පැටලැවීමකටය. චරිත් අතැර දමා, ඔහුට සමාව දී පසෙකට වීමට තීරණය කලේ තිළිණිගේ ජීවිතය පිළිබඳව සිතමිනි. ඇය අසරණ නොවිය යුතු නිසාය. එහෙත්, ඔහු සිදු කර ඇත්තේ කුමක් ද . ?
ශයිනි තිළිණි දෙස බැලුවාය. ඇය සිටින්නේ ඉතා දුර්වලව බවට සැක නැත. චරිත් ඇය හැර දමා ගියා නම් එය පිළිගැනීම, වටහා ගැනීම තිළිණි පහසුවෙන් සිදු කරගන්නේ නැත. ඇතැම් විට දෙදෙනා අතර ඉතා තද බැඳීමක් තිබෙන්නටද ඇත.
එය එලෙස නම් තිළිණිට මෙය කෙලෙසකවත් පහසු නැත. ඇය කොහොමටත් සාම්ප්‍රදායික රටාවෙන් පිට පනින්නට අකමැතිය. අම්මා සහ තාත්තා හැරුණකොට ඇගේ ලෝකය තුළ තිබුනේම ඉතා අල්ප බැඳීම් කිහිපයක් වෙනුවෙන් ඉඩ පමණි.
ඒ අතරේ උස්ම තැනක් චරිත්ටය.
එසේනම්……,
ශයිනි තිළිණිව කාමරයට ඇරලවා සුප් කෝප්පයක් ගෙන්වාගෙන එය පෙව්වාය. කල නිම කල යුතු වැඩ කිහිපයක් උදෙසා හදිසියේ පිටතට යෑම අත්‍යාවශ්‍ය වූ නිසා ඇය තිළිණි ට කෙටි නින්දක් වෙනුවෙන් පහසුවක් සකසා පිටතට ආවාය.
පැය කිහිපයක් යන තුරු ශයිනි උන්නේ මිලදී ගැනීම් කිහිපයක් වෙනුවෙන් ඇවිද යමිනි. රෑ බෝ වෙමින් තිබුනද බොහෝ වෙළඳසැල් විවෘතව තිබූ නිසා ඕ සියළු අවශ්‍යතා වෙනුවෙන් ඉඩ හදාගත්තාය. වෙනදාට ජංගම දුරකතනය ළඟ පහතම තිබෙනවා වුවද, එය මෝටර් රිය තුළ අමතකව තිබුණි. පෙරළා පැය දෙකකින් ඇය මෝටර් රිය තුළට ගොඩ වන විට මඟ ඇරුණ ඇමතුම් රැසකි.
අකලංකගෙන්, හෝටලගේ කාර්‍යමණ්ඩලයේ ඇතැමුන්ගෙන්, හෝටලයේ ස්ථාවර දුරකතනය අංකයෙන් ලෙස ඇමතුම් රැසක් විය. පළමු ඇමතුම අකලංක ට ගත්තේ නොසිතාමය. මූසල කලබලකාරී බවක් නොදැනුණා නොවේ. පලමු නාද වීමෙන්ම පිළිතුරු ලැබුණි.
අකලංක කලබලය සඟවන්නට උත්සාහ කරන බව ශයිනි ඉතා පහසුවෙන් හැඳින්නාය. ඇතැම් විට යළි උද්ඝෝෂණය ඇවිලී ගොස් ඇතිවා විය හැක. ඔවුන් හෝටල් පරිශ්‍රය තුළට පැමිණ ඇතිවාවත්ද ?
සිදුව ඇත්තේ කුමක්දැයි දිගින් දිගටම විමසද්දී පවා අකලංක පැවසුයේ කලබල නොමැතිව පැමිණෙන ලෙස පමණි. සියල්ල පාලනය කරගෙන ඇති බවත්, දැන් කිසිඳු කලබලයක් නැති වගත් ය. ඇමතුමේ සිටිමින් සිදුවූ දෙය විමසන්නට යෑම පලක් නැති වග වටහා ගත් ශයිනි වහා ආපසු යන්නට හැරුණාය.
මෝටර් රිය හෝටලය තුළට ඇතූලු කරද්දී ඕ බලාපොරොත්තුව උන් කලබලයක් නම් තිබුණේ නැත. සිදුව ඇත්තේ කුමක් ද ?
පිළිගැනීමේ ඩෙස්කුව අසල උන් තරුණිය ශයිනිගේ අතින් අල්ලා ගත්තාය. ශයිනි ඇය දෙස බැලුවේ විමතියෙනි. ඕ ඉතා බියපත්ව සිටී. ඕ අසලම උන් අනෙක් කිහිප දෙනාද එලෙසමය
“ගංගූ… මොකද?”
ඇය කිසිත් නොපවසාම ශයිනිට පිටුපසින් වූ කිසිවෙකු දෙස බැලුවාය. ශයිනි ආපසු හැරුණාය. උන්නේ අකලංක සහ සහාය අධ්‍යක්ෂවරයාය. ශයිනි ගංගුගේ අත අත් නොහැරම ඒ දෙස හැරුණාය.
“මොකද්ද වෙලා තියෙන්නේ ?”
“දැන් කලබල වෙලා වැඩක් නෑ… එන්න…”
ශයිනි ඔවුන් දෙදෙනා පසුපසින් වැටුණේ අනෙක් පිරිස එතැනම නැවතී සිටියදීය. ශයිනිට කුමක් සිදූවී ඇතිදැයි විමසන්නට පවා සිහියක් වූයේ නැත. ඒ ඇය කුමක් සිදුව ඇතිදැයි කල්පනා කරමින් උන් නිසාය.
ඔවුන් ගමන් ගත්තේ විදුලි සෝපානය දෙසටය. අකලංක ශයිනිට ගොඩ වන්නට ඉඟි කලේය. විනාඩි භාගයක් පමණ ගෙවෙන්නට ඇත.
“කලබල කරන්න එපා ඈ.. මෙවෙලේ කලබල උනොත් මුකුත් කරගන්න බෑ…”
සහාය අධ්‍යක්ෂවරයා සෝපානයෙන් බහිද්දිම අවධාරණය කලේය. ඔහු නිතර දෙවේලේ විනෝදයෙන් සිටින, කිසිවක් සංකීර්ණ කර නොගන්නා අයෙකු ලෙස ශයිනිගේ සිතෙහි උන්නාය. මෙතරම් බරපතල ලෙස තමාට උපදෙස් දෙන තැනකට ඔහු වැටෙන්නට තරම් සිදූව ඇත්තේ කුමක් ද ?
අකලංක ඉදිරියෙන් ගමන් කර නැවතුණේය . සිව් වන මහලේ ලොබිය තුළ ය. අකලංක ආපසු හැරෙනවාත් සමඟම ශයිනි ඔහු පසු කර ඉදිරියට ගියාය.
නන්නාඳුනන පිරිමියෙක් අසල බිම හිඳ ඉන්නේ තිලිණි ය. ඔහු ඇයව අල්ලාගෙන සිටී. ඔවුන් අසල බිඳී ගිය වීදුරුවක් විය. පසෙක විසි වී ගොස් තිබුණේ තවත් ප්ලාස්ටික් බෝතලයකි. ශයිනි ගේ දෙපා අවසඟව ගියා සේ විය.
ඕ වහා තිළිණි අසලට දිව ගියා ය. ඇගේ අතින් අල්ලාගෙන සිටි නන්නාඳුනන තැනැත්තා ඇය අත් හැර නැඟිට යනු ශයිනි දුටුවා ය.
එහෙත් ඒ පිළිබඳව සිතන්නට තරම් සිහියක් වූයේ නැත. තිළිණි, ඇගේ දෑත් සීතව ගොසිණි. මුහුණ සුදුමැලිව ගොසිනි. සුදු විදුලි පහන් ආලෝකය ඇගේ කොපුල් මතට ඍජුවම වැටී ඇත. වම් කොපුලේ රතු පැහැ ඇඟිලි සළකුණක් වැනි යමකි. ශයිනි වහා ඕ වැලඳගන්නට උත්සාහ කලාය. එහෙත් තිළිණි උන්නේ නොසෙල්වෙමිනි. ඇගේ හැසිරීම ශයිනිට වැටහෙන්නේ නැත. එහෙත්, මේ සියල්ල පසුපස අර අධම මිනිසා චරිත් සිටින වගට සැක නැත.
“අපි රූම් එකට යමු.. එන්න…”
ඕ තිළිණි ට කතා කරන්නට උත්සාහ කළාය. එහෙත් තිළිණි උන් ඉරියව්වෙන්ම උන්නා පමණි. කිහිපවතාවක්ම කතා කරද්දී පවා ඕ සෙලවුනේ නැත. බිත්තියට හිස තබාගෙන උන්නාය.
ශයිනි කාර්‍යමණ්ඩලයේ පිරිස දෙස බැලුවේ ඇය ඔසවා හෝ කාමරයට රැගෙන යමුදැයි බැල්මකිනි. ඔවුන් ශයිනි හා එකඟ වූ වහ පෙන්වමින් ඇය දෙසට ආහ. එහෙත් නුපුරුදු හඬක් ඉස්සර විය.
“මම ගන්නම්.. කාමරේ පෙන්නන්න …”
තිළිණි ගේ එකඟවීමක් හෝ විරෝධයක් ගණනකට හෝ නැතිව ඔහු තිළිනිව ඔසවා ගත්තේය. ඔහු කවුරුන්දැයි ශයිනිට තවම අදහසක් නැත.
ශයිනි වහා නැගිටගත්තාය. අර නන්නාඳුනන තැනැත්තාට ඉදිරියෙන් පාර කියන්නේ කාර්‍යමන්ඩලයේ අයෙකි.
“ඒ ප්‍රබාත්.. මගේ යාලුවා.. මම කිව්වේ..”
ඇගේ කුකුස නිමවමින් අසලින්ම එලෙස ඇසුණි. ශයිනි ඉන් ගැස්සුණාය. ආපසු හැරෙද්දීම මැජික්මය ඇස් දෙකක්, ඇස් අග්ගිස්සේ වැටුණු රැලි තුනක් , ඉතා ඝණ ඇහි බැම යුග්මයක් ශයිනිගේ පපු මැද්දෑවේ කොහේ හෝ සැඟවී ඇති තැනක තිබී ඒ රුවටම ගැලපී ඉස්සුණි.
ශයිනි වහා ඉවත බලාගත්තා ය. ඔහු; අකලංක පැවසුයේ කුමක්දැයි ඇයට සිහියට නඟා ගන්නට හැකි වූයේ නැත.
“ප්‍රබාත් ..ඒ… මගේ යාලුවෙක් …අර මම කිව්වේ…”
ශයිනිගේ කලබලය හඳුනා උන් අකලංක යළි කීවේය. ශයිනි නැවතී ඔහුට හිස සැලුවාය
“මොකද්ද මිස්ටර් අකලංක වුණේ…?”
| අපේක්ෂා ගුණරත්න |