අම්මායි, තාත්තායි, පුංචියි මල්ලි බබාවත් එක්කරගෙන ගෙදර එනකල් දෙව්නි හරිම ආසාවෙන් බලාගෙන හිටියේ. මල්ලි බබාව ගේන්න අම්මා ඉස්පිරිතාලෙට ගියපු වෙලාවේ ඉඳන් සිය දහස් වතාවක් දෙව්නි ආච්චි අම්මගෙන් අම්මලා ආයෙම එන වෙලාව ගැන අහන්න ඇති.
“ඉන්නකෝ පුතේ.. අම්මලා ඉතින් මල්ලි බබාව එක්කගෙන නේ එන්න ඕනි…”
මුලදි ආදරෙන් ආදරෙන් එහෙම පැහැදිලි කරාට පස්සේ පස්සේ නම් ආච්චි අම්මගෙන් දෙව්නි බැණුම් ඇහුවා.
“කාර්ටූන් බලන්න වාඩි වෙලා.. දෙනවා දෙකක් මම…”
කිහිප වතාවක්ම සැර කරාට පස්සේ දෙව්නි සාලේ සෙටියෙර් කොනකට වෙලා වාඩි වෙලා හිටියා. දවල්ට බත් කෑවෙත් ආච්චි කවනකොට කටයි දෙකයි. දෙව්නිගේ හිත ටිකක් රිදිලා තිබුණේ.
හවස් වෙනකොට ගේට්ටුව ඇරිලා, වෑන් එක මිදුලේ නැවතුණ සද්දේට දෙව්නි ඉස්සරහට දිව්වා. දොර ළඟින් නැවතුණා. ආච්චි අම්මාත් ඉස්සරහට එනවා දෙව්නි දැක්කා. ඉස්සෙල්ලාම වෑන් එකෙන් බැස්සේ බාප්පා. ඊට පස්සේ තාත්තා. ඊට පස්සේ පුංචි. අන්තිමට අම්මා මල්ලි බබාවත් ඔතාගෙන, වෑන් එකෙන් බැස්සා.
දෙව්නි ඉස්සරහට දුවගෙන ගියා. පුංචි දෙව්නිව අල්ලගත්තා.
“හෝව් ..හෝව්… මල්ලි බබා ඇතුලට එක්කන් යනකල් ඉන්න දෙව්…”
දෙව්නි පුංචි ගේ අතින් අල්ලගෙන හිටියා. මල්ලි බබාව දකිනකල් වගේම, තාත්තා එක්ක බයිසිකල් පදින්න යනකල් දෙව්නිට ඉවසිල්ලක් නැහැ.
“දැන් රෑ වෙන්න එන නිසා අද බයිසිකල් පදින්න ඕනි නැහැ… මල්ලි බබාව බලාගන්නවා…”
දෙව්නි ගේ පුංචි හිත එහෙමත් හිතුවා. ඒත් එදා රෑ දෙව්නිට මල්ලි බබාව හරියට බලන්න වුණේ නැහැ. ඒ විතරක් නෙවෙයි, එදා රෑ දෙව්නිට ආච්චි ළඟ නිඳාගන්නත් වුණා.
දෙව්නි හෙමින් සීරුවේ කාමරේට එබුණා. අම්මා, තාත්තා , ආච්චි , සීයා, හැමෝම මල්ලිව වට කරගෙන. දෙවිනි තාත්තා ගේ ඔඩෝකුවට ගොඩ වෙන්න හැදුවා. එතකොට තාත්තා දෙව්නිව් ඔසවලා උකුලෙන් තියාගත්තා.
දෙව්නි මල්ලි බබා දිහා බැලුවා. පුලුන් බෝලයක් වගේ මල්ලියෙක්. එහෙමයි දෙව්නිට හිතුණේ. දෙව්නි මල්ලි බබාට හාදුවක් දෙන්න ඇඳට එබුණා.
“ඔන්න දෙව් සුදු මල්ලි බබාගේ කලු පාට එහෙම ගාන්නෙපා…”
පුංචි එහෙම කිව්වම හැමෝම හිනා වුණා.
පුංචි දෙව්නි ඇසිල්ලෙන් පැත්තකට වුණා. දෙව්නිගේ හිත රිදුණා කීයක් කිසිම කෙනෙකුට හිතුනේ නෑ.
දෙව්නි පහුවෙනිදා ඉස්කෝලේ ගියෙත් අකමැත්තෙන්. විවේක කාලෙදි සෙල්ලම් කරෙත් නෑ. හරියට කෑවෙත් නෑ. ඉස්කෝලේ ඇරිලා ආවට පස්සේ ආච්චි ඇඟ සෝදවලා කැව්වම දෙව්නි නිදාගත්තා. ආයෙම ඇහැරුණේ හවස් වෙලා.
“අය්යෝ…දෙව්… මොකද්ද පුතේ මේ කරන්නේ … කෝ කෝ අහකට වෙන්න …”
මල්ලිගේ ඇඟේ කලු නොගෑවෙන්න මල්ලිව ඉඹින්න නම් පවුඩර් ඇඟේ ගා ගත්තම හරි යාවි කියලා දෙව්නිට හිතුණා. අම්මා දකිනකොට දෙව්නි හිටියේ පවුඩර් එක ඔලුවේ ඉඳන් හලා ගන්න ගමන්.
“හිතුවක්කාර වෙන්න එපා ළමයෝ… ඉන්ටර්වල් එකේ කෑම එක කාලත් නෑ… අම්මට වද දෙන්න එපා ළමයෝ…”
අම්මා කෑ ගහනකොට දෙව්නි බය වෙලා බලාගෙන හිටියේ. එදායින් පස්සේ දෙව්නි මල්ලි බබාව ඉඹින්න ගියේ නෑ. ඉස්කෝලේ ගියා.වැඩ කලා.කෑවා. ගෙදර ආවා. නිදාගත්තා..
මේ වෙනස ඉස්සෙල්ලම අඳුනගත්තේ දෙව්නිගේ තාත්තා.
“දෝණිගේ මොකක් හරි වෙනසක් තියෙනවා …”
” නිදාගන්නවා වැඩියි තමයි නේද ?”
දෙව්නිගේ තාත්තා පහුවෙනිදාම පන්තිභාර ගුරුතුමිය මුණගැහෙන්න ගියා.
” මම තව දවසක් දෙකක් බලල දෙව්නිගේ තාත්තා ට කතා කරන්න හිටියේ. දෙව්නි දැන් මාසෙක විතර ඉඳන් ටිකක් වෙනස්.. වෙනදා ඉන්ටර්වල් දුන්න ගමන් කාලා ප්ලේ ග්‍රවුන්ඩ් යන ළමයා පන්තියේමයි. මම බලෙන් එක්කගෙන යන්න හැදුවත් එන්නේ නෑ.. ඩාන්සින් , මියුසික් දෙකේම හරිම බෝරින් විදියට ඉන්නේ .. හෝම් වර්ක් කරගෙන ආවට පොත පෙන්නන්න එන්නේ අන්තිමට… ගොඩක් වෙලාවට කල්පනා කරනවා. ඇහුවට කියන්නේත් නෑ… මට මේ දරුවෝම කිව්වා ඉන්ටර්වල් එකට ගේන කෑම ඩස්බින් දානවලු ..”
දෙව්නිගේ තාත්තා ගෙදර ගියේ හිස ගිණි අරගෙන. ගෙදර වැඩිහිටියෝ ඔක්කොම එකතු වෙලා ඒ ගැන කතා කලා. එදා දෙව්නිව ඉස්කෝලෙන් එක්කගෙන එන්න ගියේ තාත්තා.
“දෙව් .. අයිස් ක්‍රීම් එකක් කාලා යමුද ?”
“එපා තාත්තා ….”
දෙව්නි ඕනිවට එපාවට කියනකොට තාත්තා ගේ පපුව පැලෙන වේදනාවක් දැනුණා.
“අනේ..ඒ මොකෝ දොණි ..? එකක් කමුකෝ..”
“එපා තාත්තා…”
තාත්තා මෝටර් රථය නවත්තලා දෙව්නිවත් වඩාගෙනම අයිස්ක්‍රීම් අලෙවි සැලට ගොඩ වුණා.
“අපිට ස්ට්‍රෝබෙරි අයිස් ක්‍රීම් දෙකක්…”
තාත්තා මේසයක දෙපැත්තේ දෙන්න එක්ක වාඩි වෙන ගමන් කිව්වා.
දෙව්නිටත් වඩා උස අයිස් ක්‍රීම් කෝප්පයක් මේසෙ උඩට ආවා. ඒත් වෙනදා වගේ දෙව්නි උද්‍යෝගයෙන්, ආසාවෙන් හිනා වුනේ නැහැ.
තාත්තා ඒ බවක් ගානකට නැතුව හිනා වෙවී, කතා කර කර අයිසික්‍රීම් කෑවා.
“තාත්තා … මල්ලි බබා වගේ පුලුන් වගේ සුදු වෙන්න නම් මම මොකද්ද කරන්න ඕනි ?”
ටික වෙලාවකින් දෙව්නි එහෙම අහනකොට තාත්තා ට අගක් මුලක් හිතාගන්න බැරිව ගියා.
” ඒ කිව්වේ දෝණි ?”
” පුංචියි , අම්මයි , ආච්චියි හැමෝම කියනවනේ මල්ලි බබාගේ ළඟට යන්න එපා.. උම්මා දෙන්න එපා.. මගෙන් කලු ගෑවේවි කියලා … මං පවුඩර් ගාලා සුදු වෙන්න හැදුවම අම්ම මට බැන්නානේ.. මං කොහොමද තාත්තා සුදු වෙන්නේ ? මං ටීචර් ගෙන් අහන්න ඉන්නේ හෙට …”
තාත්තා ට අයිස් ක්‍රීම් උගුරෙන් පහලට වැටුණේ ලෝදිය වගේ.
“අනේ දෝණි.. ඒ විහිලුවට නේ… කලු සුදු කියලා එකක් නෑනේ … මේ අපේ හමේ පාටනේ…. අනෙක දෝණි මල්ලි බබාට කොච්චර ආදරේද ? ..”
තාත්තා එක එක කතා කිව්වා. දෙව්නි ටිකෙන් ටික හිනාවෙන්න ගත්තා.
“එහෙනම් ගෙදර යමුකෝ තාත්තා … මට අයිස් ක්‍රීම් ඇති… මට මල්ලි බබාව බඳාගෙන දොය්යන්න ඕනි…”
තාත්තා දෙව්නිවත් වඩාගෙන අඩියට දෙකට මෝටර් රියට ගොඩ වුණා.
ජීවිතේ වෙන්න ගිය මහා විනාසෙක අඳුරු පැල්ලම් වලින් වැහෙන පාර අස්සෙන් මෝටර් රිය ඉස්සරහට අරගෙන ගියා.
” ඔයයි, නංගියි, අම්මයි මුකුත් නොකියා ඉන්න මම කතා කරනකල් දෝණිට… හරිද?”
බිරිඳට කෙටි පණිවිඩයක් යැව්වා.
නොසැලකිලිමත් බවින් , දරුවා දරුවා විදියට නොසැලකීමෙන් වෙන්න ගිය විනාශය් නවත්වා ගන්නට ඉඩ ලැබුණ එක ගැන සැනසීමෙන් හිත පුරවා ගත්තා..
| අපේක්ෂා ගුණරත්න |