තාත්තලා..

තමන්ට පුරුදු මහ ගෙදර තමන්ගෙම කාමරේ අල්මාරිය ඇරපු ශලනි ඒකෙ ඇතුළෙ එල්ලලා තිබුන ඇඳුම් අතර ඇඟිලි තුඩු යැව්වෙ ආසාවෙන්. විවාහයට කලින් ඇඳපු ආසම ඇඳුම් සෑහෙන ප්‍රමාණයක් ඒ අතර තිබුණා. 

” ඔයා කලර්ස් මැච් කරන විදිහ හරිම ලස්සනයි ශලනි ” 

ඉස්සර කාර්යාලයේ යාළුවෝ නිතරම කිව්වේ එහෙම.

” ඔයා මොන ඇඳුම ඇන්දත් ලස්සනයි ” 

මේ වගේ වර්ණනා හැමදාම අඩුවක් නැතුව ශලනිට ලැබුණා.

” ඔය මිනිස්සු ඔයාව බොරුවට මුරුංගා අත්තේ  තියෙනවා. ඕවට අහුවෙන්න එපා ” 

තමන්ගේ මිතුරු මිතුරියන් තමන්ව වර්ණනා කරන විදිය අසංක එක බෙදා ගන්නකොට අසංක උත්තර දුන්නේ එහෙම. අසංකගේ සිතුම් පැතුම් තරමක් වෙනස් නිසා ශලනි මුකුත්ම කියන්න ගියේ නැහැ . හැබැයි කවදාවත්ම අසංක ශලනිව ඒ වගේ වර්ණනා කරපු දවසකුත් ශලනිගේ මතකයේ තිබ්බේ නැහැ. 

” මං ඇති වෙන්න හම්බ කරනවනේ. wedding එකෙන් පස්සේ ඔයා ගෙදර ඉන්න. රස්සාවක් කරන්නයි ගෙදර වැඩ කරන්නයි දෙකක් බැහැ ශලනි ” 

අසංක ඒ වගේ නීතියක් ගෙනාවේ විවාහයට සති දෙකක් විතර තියෙද්දී. තමන්ගේ උගත්කම නිසා ලැබුණු රැකියාව අතහරිනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් ඒ වෙලාවේ ශලනිට තිබුණෙ නැහැ.

” අම්මත් නැතුව මං දුක් මහන්සියෙන් හම්බ කරලා ඔයාට ඉගැන්නුවේ ඔහොම ගෙදර නවතින්නද දෝණි ? ” 

ශලනි රැකියාවෙන් ඉවත් වෙන්න තීරණය කළා කියලා දැනගත්තට පස්සේ ශලනිගේ තාත්තා තරමක් කම්පා වුණා .

” මට එකපාරටම හැමදේම බැලන්ස් කරගන්න බැරිවෙයි තාත්තේ. ඒ නිසා මාස කීපයක් බලලා ආපහු ජොබ් එකකට යනවා. නැත්තං මට ඔන්ලයින් උනත් වැඩ කරන්න පුළුවන්නේ ” 

ශලනි තාත්තාගේ හිත හදන්න උත්සාහ කරත් ඒක පහසු වුණේ නැහැ. ඒත් තමන්ගේ දුවගේ සතුට ගැන හිතලා නිහඬ වෙන්න ඔහුට සිද්ධ වුණා. 

මතක ඇති කාලෙක ඉඳලම දවස පුරාම මහන්සි වෙලා වැඩ කරපු ශලනිට ගෙදර වැඩ කටයුතු ඉවර වුණාට පස්සේ කාලය ගත කරන එක ලේසි වුණේ නැහැ. 

” අපේ office එකේම මට online join වෙලා වැඩ කරන්න පුළුවන් අසංක. මට experience තියෙන නිසා අලුතෙන් එන අයව ට්‍රේන් කරන්න මාව ගන්න එයාලා කැමතියි. හොඳ ගානක් අතට ගන්න පුළුවන් එකේ මම ඒක කරන්නද ? ” 

” ඔයාට මොකටද සල්ලි ? මම ඔයාට මොකක්ද කරන අඩුව ? ” 

” අනේ ඔයා මට අඩුවක් කරනවා කියලා කිව්වා නෙවෙයි. මේ ගෙදර හැම වැඩක්ම කරලා ඉවර වුණාට පස්සේ දවල් වරුවේ මට කරන්න වෙන කිසි දෙයක් නැහැ. අර වැඩ කරලා පුරුදු වෙලා මට එහෙම නිකන් ඉන්න අමාරුයි. අනික ඔෆිස් එකෙන්මයි මට කතා කළේ. යන්න එන්නත් මහන්සි වෙන්න නැති එකේ මම ඒක කරන්න හිතුවේ ” 

ටික වෙලාවක් නිහඬව හිටපු අසංක ශලනිගේ යෝජනාවට කැමති වුණේ ඇයට ගෙදර ඉඳන්ම කීයක් හරි හොයාගන්න පුළුවන් නිසා. 

” ඉස්සරහට කොහොමත් එන්න එන්න වියදම් වැඩි වෙනවා. උඹ ශලනිට ඕක කරන්න දීපු එක හොඳයි ” 

ශලනි ආයෙම රැකියාවක් කරන එක ගැන අසංක තමන්ගේ හොඳම යාලුවා උන සාරංග එක්ක කිව්වා.

” උඹ ඒකිට ජොබ් එකෙන් අයින් වෙන්න කියන කොටම මම කිව්වනේ ඕක කරන්න එපා කියලා. බලපන් අපේ වයිෆුත් ජොබ් එකක් කලාට සමහර වෙලාවට මාසෙ අන්තිම වෙනකොට අපි දෙන්නගෙම අතේ සල්ලි නැහැ. උඹ දැනට ඔහොම ඇදගෙන යයි. හැබැයි දරුවෙක් එහෙම හම්බ උන දවසට ලේසි වෙන්නෙ නෑ මචන් ” 

සාරංග කියන කතාවේ ඇත්තක් තියෙනවා කියලා අසංකට ඒ වෙලාවෙ හිතුණා.

” training එකට අමතරව මට office එකේ වැඩත් පොඩ්ඩක් කරන්න පුළුවන් අසංක. මම හිතුවේ ඒකත් කරනවා කියලා ” 

තවත් සතියක් දෙකක් ඉක්මවා යනකොට ශලනි ඒ කතාව අසංකට කිව්වේ හරිම සතුටෙන්

” ඒ පාර තව එකක්. ඉස්සරහට තව මොනව කරනවා කියයිද දන්නේ නෑ ” 

අසංක ඒ විදිහට උත්තර දුන්නත් ශලනි තමන්ගෙ වැඩ ටික බොහොම හොඳින් කරගෙන ගියා. මාස තුනක් විතර පහුවෙනකොට අසංකට ලැබෙනවට වඩා මුදලක් ශලනි උපයන්න පටන් ගත්තා. ගෙදර හුඟක් වැඩ කටයුතු අසංක කරන්න කලින් ශලනිම හොයලා බලලා කරනකොට තමයි අසංකගේ නොදැකපු පැත්තක් ශලනිට දැකගන්න ලැබුණේ 

” තමුසෙ ඒ පාර තමුසෙගේ සල්ලි වල බලේ පෙන්නන්න හදනවද ? ” 

” මම වතුර බිල් එකයි කරන්ට් බිල් එකයි online ගෙව්ව එක ඔයාට ලේසි වෙයි කියලා මම හිතුවේ අසංක ” 

” ඇයි තමුසේ හිතාගෙන ඉන්නේ මම ඒකවත් කරගන්න බැරි මිනිහෙක් කියලද ? ” 

පුංචි පුංචි දේවල් වලට රණ්ඩු ඇතිකර ගන්න එක අසංක පුරුද්දක් කර ගත්තේ ඊට පස්සේ. 

ගැහැණියක් ස්වාධීන වීම මොන තරම් වැදගත්ද කියලා මුහුණු පොතේ පලවුනු ලිපියක් ශලනි ශෙයා කරපු එක ඊළඟ රණ්ඩුවට හේතුව වුණා.

” හහ්.. සල්ලි ටිකක් හම්බ කරා කියලා තමුසෙ මහ ලොකු ගෑනියෙක් කියලද හිතාගෙන ඉන්නේ ? තමුසෙ ඒකද ලෝකෙට පෙන්නන්න හදන්නේ ? ” 

එතනින් පටන් ගත්ත රණ්ඩුව අවසාන වුණේ ශලනිගේ ජංගම දුරකථනය අසංක පොළවෙ ගැහුවට පස්සේ.

හැමදාම හවසට ගෙදර එනකොට රණ්ඩු වෙන්න හේතුවක් හදාගෙනමයි අසංක ගෙදර ආවේ. එහෙම එක දවසක බීමතින් ගෙදර ආව අසංක ,ශලනිගේ කොන්ඩෙන් ඇදලා ඇයව ගෙදරින් එළියට දාන්නත් පෙළඹුණා. 

මැදියම් රෑ පහු වෙනකම් ගෙදර දොරකඩට වෙලා හිටපු හඬමින් ශලනි තවත් ඉවසන එක ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි කියලා තීරණය කළා. කිසිම හේතුවක් නැතුව වැරදිකාරයෙක් වෙන්න උවමනාවක් නැති නිසා ඒ මැදියම් රැයේම ශලනි ගෙදරින් එළියට බැහැලා මහ ගෙදරට ආවා. තමන්ට ඕනම වුන වෙලාවක මහ ගෙදර දොර තාමත් තමන් වෙනුවෙන් ඇරලා තියෙන එක ශලනිට සැනසීමක් වුණා.

” ඔයා කසාද බැඳලා ගිහින් අවුරුද්දක් වෙන්න ආවා. ඇයි මේ දේවල් මට නොකිව්වේ දෝණි ? ” 

ශලනිගේ තාත්තා හිතට දැනුන කම්පනය නොපෙන්වා ඉන්න උත්සාහ කරත් මැදියම් රැයේ ගෙදර ආපු තමන්ගේ දියණිය ගැන ඔහුට දැනෙමින් තිබුණේ ලොකු දුකක්. 

” ගෑණු අපි ඉවසන්න ඕනේ කියලා මං අහල තිබුණේ තාත්තේ. ඉතින් මං හුඟක් ඉවසුවා. හේතුවක් නැති දේවල් වලට අසංක රණ්ඩු කරන කොට මම කරන්න ඕනේ මොනවද නොකරන්න ඕනේ මොනවද කියලා මට හිතාගන්න බැරිවුනා ” 

” මම කියන්නේ නෑ ඔයාට අසංකගෙන් අයින් වෙන්න කියලා. ඒත් , ඔයාට ගරු නොකරන තැනක , ඔයාගේ නිදහසට ගරු නොකරන තැනක ඔයා තවදුරටත් රැඳෙනවද කියලා හිතලා බලන්න. ඒ කොහොම උනත් මට ඔයාව වැඩි නෑ කියලත් මතක තියාගන්න ” 

පහුවදා උදේම අසංක ශලනිගේ මහ ගෙදරට ආවේ ශලනිගෙන් සමාව ඉල්ලලා ඇයව ආපහු ගෙදර එක්කගෙන යන්නයි. 

” මම වැදගත් විදිහට මගේ ළමයව ඔයාට කසාද බන්දලා දුන්නේ මහ රෑ ජාමේ ගෙදරින් එළියට ඇදලා දාන්න නෙමෙයි අසංක. එයාගේ අම්මා වගේ මමත් ජීවතුන් අතර නොහිටියනං ඒ දරුවා කොහේ කියලා යන්නද? ” 

ශලනිගේ තාත්තා එක එල්ලේම අසංක දිහා බලාගෙන කියද්දි අසංකට දැනුනේ ලැජ්ජාවක්.

” නෑ තාත්තේ මම ටිකක් බීලා හිටියේ ” 

අසංක ඒ වචන ටික පිටකර ගත්තේ අපහසුවෙන්

” තමන් කරන්නෙ කියන්නේ මොනවද කියලා නොපෙනෙන තරමට බොනව නම් ඒක ඔයාගේ ප්‍රශ්නයක් මිසක් මගේ දරුවාගේ ප්‍රශ්නයක් නෙමෙයි මම හිතන්නේ. ඔයාට එයාව එපා නම් මම ඔයාට එයාව දීපු විදිහටම, වැදගත් විදිහට එයාව මේ ගෙදරට ගේන්න තිබුණා. ඔයාට ඒක කරන්නත් බැරි නම් ඒ දරුවා මෙහෙට වෙලාම හිටපු දෙන්. ගෑණියෙකුට ගරු කරන්න ඕනේ කොහොමද කියලා හරියට ඉගෙන ගත්ත දවසට ඔයා එන්න  ” 

ශලනිගේ තාත්තා එහෙම කියලා ලොකු හුස්මක් පිට කරල ගේ ඇතුලට ආවේ අසංකට තව දුරටත් හිතන්න දෙයක් ඉතුරු කරලා.

More Stories

Don't Miss


Latest Articles