උත්තේජනය…

ජිත්මිකගේ ජංගම දුරකථනයේ  මා නොවන ස්ත්‍රියක ඔහුගේ අත අල්ලාගෙන සිටින සේයාරුව දුටු දා මම තිගැස්සුනෙමි. එවිට අපේ සම්බන්ධයට මාස හයකි. අප මුණ ගැසුණේ තු වෙනි වතාවටය. එය හුදෙක් අප දෙදෙනාගේම කාර්‍යබහුල කම නිසාවෙන් විය. ජිත්මික ඉතාම ආදරණීය මිනිසෙකු වූ අතර කිසිම විටෙක රළු හැසිරිම් හෝ පෙන්වූවෙකු නොවීය. එනිසාම මම හදවතින්ම ඔහුට ප්‍රේම කරමින් උන්නෙමි. වසර තුනක රැවටිලිසහගත ආදර කතාවකට පසු මම සැබැවින්ම ජීවත් වෙමින් සිටිනවායැයි මට සිතුණි. 

එහෙත් අහම්බයෙන් දුටු ඒ දසුන මට අදහා ගන්නට හැකි වූයේ නැත. එවෙලෙහි ජිත්මිකගේ විමසන්නට මට සවියක් හෝ තිබුනේ නැත. නොවූ කලබලයක් මවාගෙන මම සමුගත්තෙමි. 

නිවෙසට පැමිණි මොහොතේ පටන් ඒ පිළිබඳව සිතමින් විස්සෝප වෙමින් උන්නෙමි. ජිත්මිකගේ ඇමතුම් පවා මඟ හැරියෙමි. අවසානයේ මම යළි මුලාවේ  නොවැටෙන්නට තීරණය කලෙමි.

“ඔයාගේ ෆෝන් එකේ ඉන්න කෙල්ල එක්ක ඔයාගේ ජීවිතේ ඉස්සරහට යන්න … මගේ සුබ පැතුම් … ෆේස්බුක් එකෙන් අඳුනගෙන ආශ්‍රය කරන කොල්ලෙක්ගෙන් මීටවඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැරි බව මට තේරෙනවා… ස්තූතියි මට දුන්න සතුටු මොහොතවල් වෙනුවෙන් … ඒ වගේම සමාවක් නැහැ කවදාවත් මට කල රැවටීමට … මගේ යාලුවන්ට කතා කරන්න උත්සාහ කරන්න එපා.. මේක නැවතෙන බව මම කාටවත් කියන්නේ නැහැ කාලයක් යනකල් ….” 

ජිත්මිකට මා වෙත ලං වෙන්නට තිබූ සියලු මාර්ග අවහිර කලෙමි. ඔහු ගෙනැවිත් දුන්  ත්‍යාග අල්මාරියේ යටටම දැම්මෙමි. ඔහු වෙනුවෙන් වෙන් කර තිබූ ඇල්බමය සඟවා දැම්මෙමි. මම අතිශය දරුණු ලෙස හිතුවක්කාර වෙමින් උන්නෙමි. 

රාත්‍රී නවයට පමන නාන කාමරයට රිංගා ගෙන ඉන් පැය තුනකට පසුව මම නාන කාමරයෙන් පිටතට පැමිණියේ නැවුම් හැඟුම් එක්කය. හැඬුමෙන් රිදෙන ඇහිදාර වේදනාව ඉවසා ගැනීමට හැකියැයි මම විශ්වාස කලෙමි. දැන දැනම මුලාවේ වෙලිය යුතු නොවේය. යළි මුලාවේ වේදනාව විඳින්නට කිසිවෙකු විශ්වාස කල නොහේය. 

පසුදා උදෑසන කෙටි පණිවිඩයක් තිබුණේ ඊ මේලය හරහාය. එය අවහිර කිරීම මට මඟ හැරී තිබුණි. 

” ඔයාගේ තීරණේ වෙනස් කරන්න මම උත්සාහ කරන්නේ නැහැ…. ඒත් ඒ ෆොටෝ එක කවදාවත් මගේ වෝල් පේපර් එකෙන් අයින් වෙන එකකුත් නැහැ… ඒ ඇයි කියලා අහන්න ඔයාට උවමනාවක් තියෙනවා නම් අපිට එක වතාවක් කතා කරන්න පුළුවන් .. එහෙම එපා නම් , අපි ආයේ කවදාවත් මුණ ගැහෙන එකක් නැහැ… ඔයා හිතාගෙන ඉන්න එක එක්කම ඔයාට ජීවත් වෙන්න පුළුවන් ..

මගේ ජීවිතේ මම ආස කරන හැඩයකින් පාට කරගන්න, ලස්සන කරගන්න ඉඩ ලැබුණ ගෑණු ළමයාගේ අත ඒ…  ඒ අත දකින එක මට සෑහෙන්නම උත්තේජනයක් වෙනවා.. මගේ ජීවිතේ හැමදේටම වටිනවා එක.. මගේ දවස ගෙවාගන්න මට උත්තේජනයක් ඒ දැකීම … ඒක සෑහෙන්නම දාර්ශනික අරමුණක්… “

මට හැඬුණි. මම හැඬුවෙමි. ඔහු තරම් අධමයෙක්. මම සංජනා අමතා සියල්ල පැවසූයෙමි. ඇයට ඊමේලයද යැව්වෙමි 

” මහ පුදුම මිනිහෙක් අප්පා …. එක අතකට ඔය ආර්ට් ෆීල්ඩ්  එකේ ඉන්න මිනිස්සුන්ගෙන් ඔයිට වඩාදෙයක් බලාපොරොත්තු වෙන්න  බෑ  ආශා … ෆේස්බුක් එකෙන් හොයාගන්න කොල්ලෝ විශ්වාස කරන්න එපා කියලා කතාවටත් කියන්නේ ඇත්තක් ඇතිනේ අප්පා ….. කෝම හරි ..  ඕක ඔහොම විසඳුන එක හොඳයි ..”

මම ඇයට එකඟ වුණෙමි. පෙර සම්බන්ධතාවය තුළ නැවත නැවත අවස්ථා දෙමින්, යලි යලි නාටක වලට ඉඩ දෙමින් උන් මට යළි එවැන්නක් අවශ්‍ය වූයේ නැත. 

කිසිවක් පහසු වූයේ නැත. දවසට තිබූ පැය විසි හතරම ජිත්මිකගේ මතක අවුස්සමින් මා රිදෙව්වේය. 

රූපවාහිනීයේද, මුහුණු පොතේද ඔහුගේ රුව මතු වෙමින් මා අවුස්සවමින් උන්නේය. මුහුණු පොත් ගිණුම සහ ඉන්ස්ටර්ග්‍රෑමය අවහිර කර දැම්මෙමි. රූපවාහිනීය නැරඹීම නවතා දැම්මෙමි. ඒ වෙනුවට ජපන් භාෂාව ඉගෙනීම ඇරඹුවෙමි. 

ඉලක්ක සහ අරමුණු සියල්ල වෙනස් කලෙමි. 

අවසානයේ ජපානය බලා විදෙස්ගත වූයෙමි. ප්‍රේමය නමින් ජංගම දුරකථනය ජීවිතයේ වූ සියලු කුටීර වසා දැම්මෙමි. මුදල් ඉපයූවෙමි. හැකි හැම කෙනෙක්ටම උපකාර කලෙමි. 

ජිත්මිකගේ මතකයෙන් පමණක් මිදෙන්නට අපහසු විය. මාස හය අමතක කරන්නට අවුරුදු හයක් ගත වූවද පහසු වූයේ නැත. 

මම ව්‍යාජ ගිණුම් වලින් ඔහු හා දොඬමලු වෙන්නට උත්සාහ කලෙමි. එහෙත් ඒවාදුර දිග ගියේ නැත.

ජිත්මික චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු, ගීත රචකයෙකු සහ තිර පිටපත් රචකයෙකු ලෙසිකොයි ඉහලටම යමින් උන්නේය.

මට දැනෙමින් තිබූ සැනසීමට හේතුව ප්‍රේමය  ලෙස කියවාගෙන ජීවිතය ඉදිරියට  ඇදුනෙමි. එහෙත් දැනෙන, මා කල ප්‍රේමයක් වූවාට ලද ප්‍රේමයක් නැති නම් කුමක් කරන්නදැයි හිත හදාගන්නට සිදු  විය.  මට අවුරුදු තිස් හයද ඉක්මවමින් තිබුණි. අම්මලා උන්නේ මට නොවූ කලබලයකය. 

ඇබ්බැහිය නවත්වාගන්නට නොහැකි වූ නිසා ජිත්මිකගේ අලුත්ම සාකච්ඡා ව නරඹන්නට හිඳ ගත්තෙමි. 

අදහන්න, විමසුවේ ඔහුගේ ජංගම දුරකථන තිරයේ වූ චායාරූපය පිළිබඳව ය. 

” මම මීටින් එකක් ඉවර වෙල එන ගමන් හිටියේ… කෝල් එකේ ඉන්න ගමන් මම පාර පැන්නේ.. මට ඇත්තටම පාර දෙපැත්ත බලන්න සිහියක් තිබුණේ නෑ.. තත්පර ගානෙන් හැමදේම වෙලා තිබුණා…

මාව බේරන්න කාර් එක අනෙක් පැත්තට කැපුව ඒ ගෑණු ළමයා ලයිට් කණුවක් කඩාගෙන ගිහින් තිබුණා.. ඒ ළමයාව එලියට අරගෙන හොස්පිට්ල් අරන් යනකොටත් එයාට සිහිය තිබුණා …. 

ඒත් හොස්පිට්ල් එකේ ගේට් එකෙන් වැඩි දුරක් යන්න කලින් එයා නැති වුණා…. එතන වුණ සිද්දිය දන්නේ මමයි එයයි විතරයි … 

එයා ජීවිතේ කැප කලේ  මගේ ජීවිතේ වෙනුවෙන් .. ඒක තනිකරම සංසාරේ කොහේ හරි දිගුවක් … ඒ ගැන මට සැකයක් නෑ… 

ට්‍රොලියේ දාලා තිබුණ හුස්ම වැටුනේ නැති මගේ සාංසාරේ කොහෙ හරි ප්‍රේම කරපු ඒ හිතැත්තියගේ අත අල්ලගෙන මම ඒ ෆොටෝ එක ගැහුවේ ඇයි කියලා අද වෙනකල් මට අවබෝධයක් නැහැ …

ඒත් ජීවිතේ සෑහෙන්නම දේවල් වලට උත්තේජනය මේ ෆොටෝ එකේ තියෙනවා …

ඒ වගේම හරි ආදරෙන් ලං කරගන්න උත්සාහ කරපු බැඳීමක් පුපුරලාම යන්නත් මේ ෆොටෝ එක හේතු වුණා… 

ඒ පිපිරීම මගේ ජීවිතේ දෙවෙනි උත්තේජනය කරගන්නයි මම උත්සාහ කරන්නේ …. 

මේ හැදෙන හැම ෆිල්ම් එකකම, ලියන හැම සින්දුවකම තියෙන්නේ මම එයාට කොච්චර ආදරේ කරනවද කියන එක …  එයාට පේනවා නම් එයා දැනගනීවි මට මෙච්චර ආදරේ කරන්න පුළුවන් බව…

අද මම අවුරුදු තිස් නවයක මිනිහෙක්.. එයා කොහේ ඉන්නවාද කියලාවත් නොදන්න එක හරි මරණීයයි …. හැබැයි ඒ මරණීය බව ජීවිතේ ට උත්තේජනයක් කරගන්න මට සිද්ද වෙනවා…..

මොකද මං වෙනුවෙන් ජීවිතේ දාලා ගිය කෙනාටත් එක්ක මම වැඩ කරන්න ඕනි ….”

සකුරා මල් වල පාට මට නොපෙනී යමින් තිබුණි. 

මම වහා ලංකාවට එන්නට හැකි ගුවන් යානයේ අසුනක් සෙව්වෙමි. 

ජිත්මික, වසර දහයක ඇරියස් ඇත.

ඉන්න .. මම එමි …!!!

| අපේක්ෂා ගුණරත්න |

More Stories

Don't Miss


Latest Articles