ණය ගෙවීම

විකුම් සිටින්නේ කලකිරීමෙන් බව මම දනිමි. ඔහුට අවශ්‍යව ඇත්තේ යළි ලංකාවට යන්නය. එහි කිනම් හෝ රෝහලක සේවය කරන්නටය. දුප්පත් මිනිසුන්ට හැකි තරම් සහන මුදලකට සෞඛ්‍ය පහසුකම් සපයන්නටය. 

එහෙත්, මට ඒ ජීවිතයට යන්නට අවැසි නැත. දරු දෙදෙනා දැන් ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපන ක්‍රමය තුළ ස්ථාවරව සිටිති. අනෙක් අතට මගේ රැකියාවද ස්ථිරය. සෑහෙන්න වටිනාකමක වැටුපක් මටද ලැබේ. අපට මෙල්බර්න් නගර සීමාවේ නිවෙසක් ද මිලදී ගන්නට ඉඩ ලැබී ඇත. අප දෙදෙනාට වෙන් වූ කුඩා මෝටර් රථ දෙකක් ඇත. අප දෙදෙනාගේම පවුල් වල අයට මාසිකව උපකාර කරන්නට තරමේ ආදායමක් අප අතර ඇත. එනිසා විකුම් කුමක් සිතනවා වුවද මේ සියල්ල අතැර මට ලංකාවට යන්නට හිත හදාගත නොහැක.

දරුවන් දෙදෙනා සිටින්නේද විකුම්ගේ පසය. ඔවුන් පවසන්නේද තාත්තා නිවැරැදි බවය. ඒ ඔවුන්ට මේ ජීවිත් දෙක අතර වන වෙනස නොවැටහෙන නිසාද විය හැක. 

” චාපා …. මං නෙක්ස්ට් ඕගස්ට් ලංකාවට යනවා… මම ඩොක්ටර් වික්‍රමසිංහ එක්ක කතා කලා.. මට එහෙ වැඩ ටික ඉක්මනට කරල දෙන්නම් කිව්වා.. මට  හොස්පිට්ල් එකක් ලැබේවි…”

විකුම් එලෙස පවසද්දී මම පරල වූයෙමි. සැබැවින්ම එය කිනම් ආත්මාර්ථකාමී බවක්දැයි මට වැටහුණේ නැත. ඔහු දක්ශ ස්නායු ශල්‍ය වෛද්‍යවරයකු වීම මටද ආඩම්බරකාර හැඟීමකි. එහෙත්, එය එලෙසයැයි කියා අපේ පෞද්ගලික ජීවිත වල ආලෝකය අඩුව යන්නට දිය නොහැකම් 

” කොහොමද ඔයා එහෙම තීරණය කරන්නේ විකුම් ?”

“මම ඔයා එක්ක කතා කරලා ඩිසිශන් එකක් ගන්න උත්සාහ කරා චාපා …. ඔයා අහන්නේ නෑ මම කියන එක.. අඩුම තරමේ උත්සාහ කරන්නේවත් නෑ .  ඉතින් ඉන් එහාට මට කරන්න දෙයක් නෑ.. ඒත්, තවම ඔයා එනවා නම්, මට එහෙන් හැමදේම ඇරේන්ජ් කරන්න පුළුවන් .. දෝණිළගේ ස්ටඩිස් උනත් …”

” ඔයාට ඇයි නොතේරෙන්නේ විකුම් .. මේ ජීවිතේ නෙවෙයි එහෙදි ලැබෙන්නේ…”

” අමාරුවෙයි චාපා … ඒත් මං කියනවට විශ්වාස කරන්න මීට වඩා සතුටක්, සැනසීමක් ලැබෙනවාම තමා…”

“මෙච්චර අමාරුවෙන් ඉගෙනගෙන, කට්ට කාලා රට ඇවිල්ලා, පී එච් ඩී වෙනකල් කරලා, නැහිලා නැහිලා යන්තම් ස්ටේබල් උනා විතරයි ඔයාඇයි ඔහොම ?”

” ස්ටේබල් වෙනකල් හිටියා නෙවෙයි .. මෙහෙන් ඉගෙනගන්න තිබුණ හැමදේම ඉගෙනගන්නයි මට ඕනි වුණේ.. මේ දේවල් ලංකාවට ගෙනියන්න ඔනි කියලා හිතෙන්නේ නැද්ද ඔයාට ..”

“නෑ…”

මම වෙනස් නොවූයෙමි. දරු දෙදෙනා මා හැර යන්නටද, විකුම් සමඟ යන්නටද සිතා ගත නොහැකිව අසරණ වූහ. විකුම් ඔවුන් දෙදෙනා රැගෙන යන්නට පවා අකමැති නොවුවේය. එහෙත් මම ඉඩ නොදුන්නෙමි.  

මට වෙනස් කරගන්නට නොහැකි වූ නිසා දූ දෙදෙනා ලවාත්, ඉන් අසාර්ථක වූ නිසා අම්මලා ලවාත්, මම විකුම් නවතාගන්නට උත්සාහ කලෙමි. එහෙත් ඔහු තීරණය වෙනස් කලේ නැත. 

” මට සමාවෙන්න චාපා…”

ඔහු ලංකාවට පිටව යන්නට පෙර දිනයේ රැයේ මා සිප ගනිමින් කීවේය. ඔහුගේ හඬ බිඳී ගොස් තිබුණි. වසර දහ අටකටත් වැඩි කාලයක් අප උන්නේ එකටය. ඉන් වසර දොළහක් පමණම අප එක් නිවසක ජීවත් වෙමින් උන්නෙමු. රටවල් දෙකකට මෙහෙම හිත් නොහොඳකමින් වෙන් වන්නේ පලමුවතාවටය.

” යන්න එපා විකුම් … අපිට ආයේ මේ ජීවිතේ ලැබෙන්නේ නැති වෙයි …”

“මං ගිහින් එන්නම් චාපා… ඔයාට පුළුවන් මෙහෙ දේවල් මැනේජ් කරගන්න… සමහරවිට , මට එහේ ජීවත් වෙන්න ඔයාගෙන් ණය ගන්නත් වෙයු …”

විකුම් සිනාසෙමින් කීවේය. මට සැහැල්ලුවක් දැනුනේ නැත. දියණියන් දෙදෙනාට විකුම්වද, විකුම්ට දියණියන් දෙදෙනාද දුරස් කරවමින් මා සිදු කරන්නේ වරදක්දැයි ද මට විටෙක සිතෙන්නේය. ඒ සියල්ලටම වඩා විකුම්ගේ උණුසුම් කොපුලක හාදුවක් නැතිව දවස අරඹන්නේ නිම කරන්නේ කෙලෙසින්දැයිද මට වැටහෙන්නේ නැත. 

විකුම් ලංකාව බලා පිටත් වූයේය. දියණියන් දෙදෙනා ඉකි ගසමින් හැඬූහ. ඔවුන්ටද යන්නට අවැසි වග පැවසුහ. එහෙත් එවේලෙහි විකුම්ටද පිටත්ව යෑම හැර අන් විකල්පයක් වූයේ නැත.

” ඔය  හරිම සෙල්ෆිශ් අම්මා.. තාත්තා කරෙක්ට් .. ඔයාලා ලංකාවේ මිනිස්සුන්ට ඔයාලගේ සර්‍ර්විස් එක ඩිසර්ව් කරන්නම ඕනි … “

සති දෙකකට පසු ලොකු දුව කීවාය.ඇය විකුම්ගේ ගමන පිළිබඳව කිසිවෙකු හෝ සමඟ කතා බහ කර වඩා පැහැදිලි කිරිමක් ලබා ගන්නට ඇත.

විකුම්ට බදුල්ල මහ රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍ය ඒකකයේ පත්වීම් ලැබී තිබුණි. එහි කාර්‍යමණ්ඩලය සහ පරිසරය ගැන විකුම් උන්නේ ප්‍රීතියෙනි. ශල්‍ය වෛද්‍ය ඒකකයේ අඩු පාඩු කම් සකසා ගන්නට  සැලසුම් තනන්නට සහයෝගය  දෙන කාර්‍යමණ්ඩල සගයන් ගැන විකුම්ට වූයේ පහන් හැඟීමකි. එපරිද්දෙන්ම බදුල්ලේ මිනිසුන්ගේ යහපත් කම් ද දිය. මට වෙනසක් හෝ නොකර ඔහු ඒ විස්තර මා හා බෙදාගත්තේය. 

ඕස්ට්‍රේලියාවේ දී රැකියාවෙන් ලැබූ තෘප්තිය ඉක්මවන යමක් විකුම් විඳිමින් උන්නේය. ඔහුට වෙහෙසී වැඩ කරන්නට හේතු වන කාරණා යෙදී තිබුණි. එහෙත් දවස අවසානයේ ඔහුට පවසන්නට කතා රැසක් තිබුණි. 

” ඔක්කොම හොඳයි.. ඔය තුන් දෙනා නැති අඩුව දැනෙනවා…”

විකුම් එලෙස පැවසූ වාර අඩු වූයේද නැත.

” ඕස්ට්‍රේලියාවෙන් බදුල්ලට පැනපු ලොකු දොස්තර මහත්තයා …”

විකුම්ගේ බදුල්ල ආගමනයෙන් මාස අටකට පසු ප්‍රධාන පුවත්පතක එලෙස ලියවී තිබුණි. එය එවා  තිබුණේ මගේ නංගීය. එහි විකුම්ගෙ දැනුමේ භාවිතය තුළ ජීවිත බේරුණු, අබ්බගාත නොවී බේරුණ බොහෝ දෙනෙකු අදහස් දක්වා තිබුණි. 

විකුම් ඕස්ට්‍රේලියාවෙන් රැගෙන ගිය වෛද්‍ය  තාක්ෂණය ශ්‍රී ලංකාව තුළ වූ වෛද්‍ය තාක්ෂණය සමඟ මුහු වෙමින් ඉතා වටිනා ජීවිත බේරාගැනීමකට මඟ පෙන්වමින් තිබුණි. 

විකුම්ගේ තිස් අට වැනි උපන්දිනය එලැඹෙමින් තිබුණි. 

මම දියණියන් දෙදෙනා සමඟින් කතා බස් කලෙමි

” අපිට එහෙ ඇජෙස් වෙන්න පුළුවන් අම්මේ… ආයේ හයර් ස්ටඩිස් වලට අපිට ඕනි කියලා හිතුනොත් මෙහෙ එමු…”

විකුම් නොමැතිව සියල්ල තනිව කර ගැනීම අපහසු නොවිය. අපේ හිතවතුන් ඒ සියල්ල වෙනුවෙන් උපකාර කලහ. විකුම්ව පුදුම කරන්නටයන ගමනක් නිසා කිසිවකට ඔහුගේ සහයෝගය නොගන්නට අප තීරණය කර 

තිබුණි. 

අප බදුල්ල මහ රෝහලට යන විට එහි විකුම්ගේ උපන්දිනය සමරන්නට සූදානම් වෙමින් තිබුණි. ඔහුගෙන් සුවපත් වූ බොහෝ දෙනා පැමිණ සිටින බව කීවේ මුහුණු පොත හරහා මා සම්බන්ධ කරගෙන හිතවත් වූ විකුම්ගේ කාර්‍ය්මණ්ඩල සගයෙකි. 

” ඔන්න ඩොක්ටර්ට අපි ඕස්ට්‍රේලියාවෙන්ම තෑග්ගක් ගෙනාවා…”

වෛද්‍ය මිතුරෙක් එලෙස පවසද්දී විකුම් ආපස්සට හැරුණේය. ඔහු අප දෙස බලා උන්නේ විශ්වාස කිරීමට අපහසු ලෙසකිනි. ඉන් පසුව අඩියට දෙකට අප වෙත ඇවිද ආවේය.

“චාපා…???”

” ඔයා යන ගමනට අත්වැලක් වෙන්න මම පොරොන්දු උනානේ.. අපි දැන් එකට මේ ගමන යමු විකුම් ..  මට සමාවෙන්න … මට තේරෙනවා, ජීවිතේ සමහර දේවල් තියෙන්නේ අපි නොහිතන තැන් වල …”

ඉන්නේ කොහිදැයි නොසිතාම විකුම් මා සිප ගත්තේය. පිරිස අත් පොලොසන් දෙනු ඇසිණි. 

දියනියන් දෙදෙනා අප දෙදෙනා බඳාගන්නව  දැනුණි. 

දැන් ජීවිතේ පිරී ඇත

| අපේක්ෂා ගුණරත්න | 

More Stories

Don't Miss


Latest Articles