ජීවිත සටන..

බදුල්ල නගරයේ ඉඳන් අශ්විනිලගේ පාසැලට එක බස් එකයි තියෙන්නෙ. ඒක සීටීබීබස් එකක්. නගරේ ඉඳන් කිලෝමීටර් දහයක් ඈතින් තියෙන පාසැල අති දුෂ්කර කියන නිර්ණායක වලට තමයි වැටෙන්නේ. උදේ හයට බදුල්ලෙන් ගමන් අරඹන බස් එක හත වෙනකොට පාසැල පහු කරනවා. ආයෙම ගමේ බස් නැවතුමෙන් නවයට ගමන් අරඹලා දහය වෙනකොට බදුල්ලට යනවා. මේ වගේ ගමන් වාර හයක් එක දවසකට යනවා. 

ඒ හැම ගමන් වාරයක්ම රියැදුරු මහත්තයයි, කොන්දොස්තර මහත්තයයි සලකන්නේ රාජකාරියෙන් එහා ගිය දේවකාරියක් විදියට. බදුල්ල නගරෙ ඉඳන් එන මඟ උදේ ඉස්කෝලේ යන්න ඉන්න ගුරුවරු ළමයි හැමෝගෙම අංක කොන්දොස්තර මහත්තයා ළඟ තියෙනවා. බැරි වෙලාවත් අදාල  තැනින් ගොඩ වෙන්න හිටියේ නැත්නම් ඉතා ඉක්මනින් ඇමතුමක් අරගෙන හොයලා බලනවා.

මේ ගැන වටහා ගත්තාම අශ්විනිලා පුරුදු වුනා නිවාඩු දාන දවසක් නම් කොන්දොස්තර මහත්තයා ට ඇමතුමක් දීලා ඒ බව කියන්න. පොඩි හරි ප්‍රමාදයක් වෙනවා නම් ඒ ගැන කියන්නත් අමතක කලේ නැහැ.  

ගමේ ගොවියොන්ගේ එළවලු, පළතුරු ටික ටවුමේ පොළට ගේන තැන් ඉඳන් මරණේකට මඟුලකට ටවුමට එන තැන දක්වාම හැමදේම උදව් කලේ මේ රතු පාට සීටීබී බස් එක. 

ඒත් එක දවසක් උදේ ඒ බස් එක පුරුදු වෙලාවට බදුල්ලෙන් ගමන් අරඹලා තිබුණේ නැහැ. අශ්විනිලා මඟ බලාගෙන හිටියත් බස් රථය එන බවක් නැති නිසා එදා අශ්විනි නිවාඩු දැම්මා. කොන්දොස්තර මහත්තයාගේ ජංගම දුරකතනය වැඩ කලෙත් නැහැ. 

බස් රථයෙන් ඉස්කෝලේ එන ගුරු මණ්ඩලයේ හය දෙනාම පාසැල් නාව නිසා විදුහල්පතිතුමා  පාසැල කලමණාකාරණය කරගත්තේ තනිවම. 

කොහොම හරි එදා හවස විදුහල්පතිතුමා බදුල්ලේ ඩිපෝවට ඇමතුමක් ලබා ගත්තා.

” හෙලෝ .. මම මොණරවිල ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිතුමා කතා කරන්නේ .. අපේ ගමට එන බස් එක අද දවසම වැඩ කලේ නෑ.. පොඩ්ඩක් ඒ ගැන දැනගන්න පුළුවන් ද ?”

“අහ්හ් . ඔව් මහත්තයා .. ඒ බස් එකේ රියැදුරු මහත්තයා ට පොඩි කරදරයක් වෙලා. අපිට අතිරේක රියැදුරුවරුන් නැති නිසා අදට බස් ගමන් වාර   අවලංගු කරා.  අපි අනියුක්ත රියැදුරෙක් ඉල්ලලා තියෙන්නේ .. ඒ ආව ගමන් බස් එක වැඩ කරනවා….”

” ඒ කියන්නේ හෙටත් බස් එක නැති වේවිද?”

” ඒක නම් හරියටම කියන්න බැහැ…”

විදුහල්පතිතුමා ඇමතුමෙන් සමුගත්තා.අශ්විනි විදුහල්පතිතුමා ට ඇමතුමක් ගත්තේ ඒත් එක්කම වගේ.

” සර්.. හෙටත් බස් එක නැති වේවිද සර් …?”

” ඒ වගේ ආරංචියක් තියෙන්නේ අශ්විනි…  ඒ රියැදුරු මහත්තයා ට හදිසි කරදරයක් ලු…”

“එහෙනම් හොයලා බලන්නවත් වේවි සර්…”

පහුවෙනිදත් බස් එක තිබුනෙ නැහැ. ඒත් අශ්විනිලා පාසැලට එන්න ප්‍රවාහන ක්‍රමයක් හොයගෙන තිබුණා. පාසැල් ඇරිලා ඔවුන් බදුල්ලේ ඩිපොවට ගියෙත් ඒ ත්‍රී රෝද රියෙන්මයි. 

” අපේ දසරත්න රියැදුරු මහත්තයාගේ දරුවා ඉස්පිරිතාලෙ උන්නේ පහුගිය ටිකේ …ඩෙංගු හැදිලා… බස් එක ඩිපෝවට දාලා දසේ , කැලුම් මල්ලිත් එක්ක ඉස්පිරිතාලෙට යන්න පාරේ ඉන්නකොට බීලා ආපු පිස්සු මිනිහෙක් දෙන්නව හප්පගෙන ගිහින් …”

අශ්විනිලා ඒ කතාව අහගෙන හිටියේ අදහාගන්න අකමැත්තෙන් වගේ. 

“කැලුම් මල්ලී නම් සාමාන්‍ය වාට්ටුවේ… දසේ තාම දැඩිසත්කාරේ …” 

ඩිපෝ අධිකාරිතුමා, ඩිපෝවේ වාහනයකින් අශ්විනිලා ට රෝහලට යන්න පහසුකම් සපයලා දුන්නා. කොන්දොස්තර මහත්තයා අශ්විනිලා එක්ක කතා බහ කරා. ඔවුන් නැති වීම නිසා සියලු දෙනාටම වෙන අපහසුතාව ගැන තමා ඔහු වැඩිපුරම කණගාටු වුනේ. 

” කැලුම් මල්ලි සනීප වෙන්නකෝ.. දෙන්නා එනකල් අපි බලාගෙන ඉන්නේ…”

එදා ඉඳන් කැලුම්ගෙයි, දසරත්නගෙයි පවුල් වල කාරණා ගැනත් ඩිපෝ අධිකාරිතුමා හරහා හොයලා බලන්න අශ්විනිලා අමතක කලේ නැහැ. විදෙස් ගත වෙලා උන්න අශ්විනිලගේ සරසවි සගයන් කිහිප දෙනෙකුගේ සහයෝගය  එක්ක අශ්විනිලා ගෙවල් දෙකේම කටයුතු හොයලා බැලුවා.  

ඒ අතරේ බස් එක ආයේ දුවන්න ගත්තා. හැබැයි බස් එකේ මනුස්සකම් තිබුනෙ නැහැ. 

ඒත් අලුත් රියැදුරු මහත්තයායි, කොන්දොස්තර මහත්තයායි ඔවුන්ගේ රාජකාරි හරි හැටි කරන නිසා අශ්විනිලා ට ඒ ගැන පැමිණිලි කරන්න තරම් හේතු තිබුනේ නැහැ. පොළට බඩු ගේන ගොවීන්ගේ සියලු බඩු බසයේ ගේන්න කොන්දොස්තර මහත්තයා ඉඩ දුන්නේත් නැහැ.

” ඕවා ඔක්කොම මේකේ පටවන්ම බැහැ…”

ඔහු අතිශය අමානුෂික වුනා.

ඒ අතරේදී කැලුම් සහ දසරත්න දෙන්නම යම් සුවපත් බවක් එක්ක නිවෙස් වලට ගිහින් තිබුණා. 

එක දවසක් අශ්විනි ට පාසැලට අරගෙන යන්න නියමිතව තිබුණ අත්කම් නිර්මාණ වගයක් තිබුණා. අශ්විනි ඒ ටික පාරෙන් ගෙනල්ලා තියලා බස් එක එනවා පෙනි පෙනීම ආයෙම නවාතැනට ගියේ අත් බෑගය ගේන්න. ඒත් බස් රථයේ රියැදුරු  අශ්විනිව නොදැක්කා වගේ ඉස්සරහට ගමන්  කලා.  

අශ්විනි ට එදා  නිවාඩු දාන්නත් විදියක් තිබුනේ නෑ. ඒ එදා දවසේ  අනිවාර්යයෙන් කල යුතු සැලසුම් වැඩ තිබුන නිසා. අන්තිමේදි පාසැලට යන්න උනේ රුපියල් දාස් ගානක් දීලා. 

අශ්විනි මේ ගැන කිව්වම අනෙක් ගුරුවරු තම තමන්ගේ අත්දැකීම් කිව්වා.

” අපිට මුකුත් කියන්න බෑ ඉතින්.. ඒ මිනිස්සුන්ගේ ජොබ් එක කරනවනේ.. “

“ඒ උනාට මේ පාරේ වෙන බස් එක්ක නොයන බව දන්නවනේ….”

“සමහරවිට ඒ මිනිස්සු මෙහෙට දුර වෙන්න ඇති.. අනියුක්ත කලාට තරහට ජොබ් එක එක්ක තරහෙන් වැඩ කරනවා ඇත්තේ …”

“ඒ වුනාට ඉතින් හම්බ කරගෙන කන රස්සාව ගැන හැඟීමක් තියෙන්න එපැයි …”

හැමෝම තම තමන්ගේ අදහස් කිව්වා.  

කාලය ගෙවුණා.  ඉඩ ලැබුන දෙතුන් වතාවක අශ්විනිලා රියැදුරු මහත්තයා සහ කොන්දොස්තර මහත්තයා බලලා එන්නත් ගියා.

මාස දෙකකට පස්සේ දවසක ඩිපෝ අධිකාරිතුමා ගෙන් විදුහල්පතිතුමා ට ඇමතුමක් ආවා.

” ඔන්න ඕගොල්ලන්ගේ ගමන් සගයෝ ලබන සඳුදා ඉඳන් වැඩ …”

විදුහල්පතිතුමා මේ ගැන ආචාර්ය මණ්ඩලයටයි, ගමටයි කිව්වා.  මුලු ගමම එකතු වෙලා තොරණක් ගැහුවා. ඒ ගමෙ මැද. එදා කිසිම කෙනෙක් බස් එකට ගොඩ වුනේ නැහැ.  හැමෝම වේලාසන උත්සව භූමියට ගිහිල්ලා හිටියේ. 

කොන්දොස්තර මහත්තයා මඟ දිගට ඇමතුම් ගත්තත් කිසිම කෙනෙක් දුරකතන වලට පිළිතුරු දුන්නේත් නැහැ

අන්තිමේදි ඒ විශාල තොරණ පෙනුණා.

” මනුසත් සිත් පිළිගමු”

රියැදුරු මහත්තයා කොන්දොස්තර මහත්තයා වත් ඉස්සර කරගෙන ඉස්සරහට ඇවිදගෙන ගියේ, පපුව පිරුණ ආඩම්බරෙන්… 

| අපේක්ෂා ගුණරත්න |

More Stories

Don't Miss


Latest Articles