ප්‍රේමයේ මන්දහාසිනි 01..

සවස සේවා මුරය නිමවී මම කඩිමුඩියේ පාරට පැන්නෙමි. සිත පිරා වන කලබලය  සන්සුන් වන්නට නම් බස් රියක ශටරය අසල අසුනක හිඳගෙන ගාලු මුවදොර පසුවන විනාඩි කිහිපය ගෙවා දැමිය යුතුය. මුහුදු හුළඟට මුහුණ හරවාගෙන ඉතා තද හුස්ම ගත යුතුය. ඇතැම් විට දවසකටම ලැබෙන සැනසීමේ විනාඩි කිහිපය එච්චර ය. අවන්හලට ඇතුළු වූ මොහොතේ පටන් කෝපි, කෝප්ප, සුවඳකාරක, කිරි, බන්දේසි, අත් පිස්නා සමඟින් ගෙවෙන ජීවිතය විඩාවකි. කාර්‍යබහුල බවකි. 

ඒ කාර්‍යබහුල ජීවිතය මට නොමැරී සිටින්නට උදව් දෙන්නේය. එනිසා මේ ජීවිතය මට වදයක් නොවේය. ඔසුවකි. එහෙත්, සන්සුන් තත්පරක් මටද අවැසිය. 

 බසය ආවේය.  සෙනඟ ගොඩේ තෙරපෙමින් බසයට  නැග්ගෙමි. අසුනද ලැබුණි.  මම බෑගයෙන් රුපියල් හැටක්  ගත්තෙමි. ජංගම දුරකතනය බෑගයට ඔබා ගත්තෙමි. දිග හුස්මක් සමඟ දෑස් පියාගත්තෙමි. බසය යන්නේ තව විනාඩි කිහිපයකිනි.

” අක්කේ.. ඔයාට මෙතනට එන්න පුළුවන් ද ? ….ප්ලීස්…”

ඉතා කාරුණික හඬින් විමසූ තරුණයා මගේ කල්පනා දැහැන බින්දේය. මට ඉදිරියේ වූ අසුනේ ශටරයට මෙපිටින් වූ අසුන ඔහු මට පිරිනමන්නට සූදානමින් උන්නේය. ඔහුගේ පෙම්වතිය යැයි  දැනෙන තරුණිය ඉතා ලැජ්ජාවෙන් ඔහුට මුවාවෙමින් උන්නාය. ඔහු ඇයට යමක් පවසා දෙදෙනාම සිනාසුනෝය.

” මෙතනට එන්න පුළුවන් ද අක්කේ ? .. කරදරයක් නැතිනම් ?”

තරුණයා යළි විමසුවේය.

මම වහ  සිහි එළවාගෙන අසුන මාරු කලෙමි. ඔහුද, ඇයද මට ස්තූති වන්ත වූවෝය. ඒ ස්තූතිය මට රිදුමක් තැනුවෝය. ඔවුහු දැන මා රිදෙව්වා නොවේ. එහෙත් නොදැන මා රිදවූවෝය.

” ලෝකයක් ඉදිරියේ ඔබ ඔහුගේ ප්‍රේමවන්තිය ලෙසින් පෙන්වා, ඉතා ආදරණීය ලෙසින්  වැලඳගන්නා මිනිසාව කිසිදිනෙක අහිමි කර  නොගන්න…”

මගේ අනෙක් පස හිඳ උන් තරුණියගේ මුහුණු පොත් ගිණුම මටද පෙන්නේය. එහි වූයේ එවැන්නකි. 

මම වහා දෑස් පියාගත්තෙමි. ප්‍රේමය, ඔවුන් සියල්ලටම සුව දී මට පමණක් මෙතරමට රිදවන්නේ මන්ද ?  මට පිටුපස අසුනේ වුන් තරුණයා ගේ සිනහව විටෙක උස් හඬින් නැගෙන්නේය. මට  රිදෙන්නේය.  

අසුනේ අනෙක් පස උන් තරුණියට ඇමතුමක් ආවේය.  ඕ ඉතා ප්‍රේමණීය ලෙසින් ඇමතුම හා සම්බන්ධ වෙමින් මට රිදෙව්වාය. දැන රිදෙව්වා නොවේ. එහෙත් නොදැන රිදෙව්වාය.

මම   දෑස් තවත්  තදින් පියාගත්තෙමි. 

මේ  කතා කෙලෙසකින් වුවද,  මට වන්නේ ප්‍රේමය ඉදිරියේ ගොලු වී සිටින්නටය. මුනිවත රකින්නටය. එවැන්නක් ගැන නොදන්නා සේ හිඳීමටය. ප්‍රේමය නමින් වන රිදුම් ඉවසා සිටින්නටය.  ප්‍රේමය ගැන කතා කරන්නට මා නුසුදුසු වග කොයි මොහොතක හෝ  ඔබටද සිතෙනු ඇත.

අනිවාර්යයෙන් මේ කියවිල්ල මැද ඔබ මට වෛර කරනු ඇත. 

එහෙත්, මොකක්ම හෝ පාලනය කරගන්නට නොහැකි  හේතුවක් නිසා ඉතා දයාර්ද්‍ර  වූ ප්‍රේමයකට  ද්‍රෝහි වූ ගැහැණියකට යළි ප්‍රේමයක් ලැබෙන්නේ නැතිමද ? එය එතරම්ම දැඩි දඬුවමක් සේ ඒ ගැහැණුන්ගේ ජීවිත වල සුළි සුළං තනමින් තියෙනවාමද ? ප්‍රේමයක අහිමිවීමෙන් තැනෙන හිස් තැන් පෑරී පෑරී මටම වද දෙනවාම පමණද  ? 

ගැහැණුන්ගේ ජීවිත වල උත්සාහ කිරීම් වෙනුවෙන් අවස්ථා නොලැබෙන බවත්, වරදවා ගැනීම් වෙනුවෙන් ඉඩ නොතබන ලෙසත් පවසමින් මුහුණු පොතේ හුවමාරු වන ලියමනක් මට සිහි විය. පිරිමියෙක් ට ලැබෙන අවස්ථා ගැහැණුන්ට ලැබෙන්නේ නැතැයි සමාජයද සිතන්නේය. 

” නාලා ගෙට ගත්තම කොල්ලා සහසුද්දයි …”

ඔහොම කියන්නේ ඒ නිසා විය යුතුය.  ජීවිතය පිළිබඳව කිසිවක් සිතා ගත නොහැකිවන මොහොතක ගැහැණියක ගන්නා තීරණයකින් ඒ ගැහැණියගේ ආත්මයම කුඩුපට්ටම් ව යා යුතුද ? 

මේ ප්‍රශ්න වලින් ඔබට වගක් නැති වග මම දනිමි. එහෙත් මේ ප්‍රශ්න  මම  මගෙන් කෙතරම් නම් අසාගෙන ඇතිදැයි ඔබ දන්නවාද ? 

මට කිසිඳු පිළිතුරක් ලැබී නැත. මම මේවාට පිළිතුරු දන්නේ නැත. මේ ජීවත් වන්නේ කෙදිනක හෝ පිළිතුරු දන්නා කෙනෙක් හමුවේය යන බලාපොරොත්තු නිසාය.

දැන්  ඒ කෙනාගේ ආගමනය වන්නේය. හිතට දැනෙන ප්‍රහර්ශය මහත් ය. ඒ අතරේම වන රිදුම, බිඳුමද මහත්‍ ය.

වළලා දැමූ අතීතයක බීජ අනාගතයේ දවසක යළි පැළවී දළුලාවිය යන බලාපොරොත්තුව ජීවත් වීම සඳහා වන සේලයින් මවෙත කාන්දු කරවන ඔසුව බව මට වෑහේ.  

පොළවට යට කර දමන සියල්ල අජීවි මරණයක සාක්කි නොවේය. 

 අනාගත  ජීවී වස්තූන්හි අතීත නෂ්ටාවශේෂ ද එලෙස පොළවට යට කර දමා වර්තමානය ගෙවා දමන්නට ඇතැමුන්ට සිදු වන්නේය. 

ඒ වර්තමානය කෙතරම් අපහසු වුවද පණ ගසා නැගිටින්නට නියමිත ඒ බීජ පත්‍ර වර්තමානය වෙනුවෙන් හය්ය දෙන්නේය. 

 මේ කියන මා ගැනවත්, ඔය කියන පොළවට යට කර දැමූ ජීවී බලාපොරොත්තුව නම් බීජය ගැනත් ඔබට අංශුමාත්‍රික අවබෝධයක් නැති වග දනිමි. එහෙත්, එය ඔබට වටහාගන්නට හැකි  වන සේ මේ කතාව  ඔබට පැවසිය යුතු වේගය ගැන මට තවම අවබෝධයක් නැත.

 අවබෝධයක් නැතිවාට වඩා, අතීතයේ වූ මා සහ  ඔය කියූ ජීවී බීජයට ප්‍රස්තූතය ඔබ දැන ගැනීමෙන් පසු ඔබ මා කියන්නට යන පැණි රස බව දැනෙන වර්තමාන කතාවෙන් මිඳෙතැයි මගේ හිත තුළ බයක් ඇත. 

 මෙවෙලෙහි අතිශය හුදෙකලා ජීවියෙකු ලෙසින් මා ඉන්නා ගොළුබෙලි කටුවටම රිංගා ගන්නට මට රුචි නැත.  එලෙස කිව්වාට මෙවෙලෙහි දයාර්ද්‍රව මා වැලඳගන්න ට ඉදිරිපත් වන කිසිවෙක්ද නැත.

 අම්මා, අය්‍ යා, තාත්තා , නිර්මලී නැන්දා මේ සියල්ලන්ගෙන්ම මම මගේ කැමැත්තෙන් වෙන්වූයෙමි. තාත්තා සහ නිර්මලී නැන්දා බලෙන්ම මා වෙත ඇතුලු වන නිසා මිසෙක, ඔවුන්ද මා විසින් අත් හැර දමා තිබුණි. 

 එනිසාම නිර්නාමික මා අසා සිටින්නට ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වී සිටින ඔබ සැම මට වටින්නේය. මා කවුරුන්දැයි නාමිකව පැවසීම තවත් බිඳක් ඉදිරියට තබා, අර පණ ගසා නැගී ආ බලාපොරොත්තුවට ප්‍රස්තූතය කියා ඉන්නට මට අවසර දෙන්න.  

ප්‍ර්‍රේමය නිසාම මියැදුණ හදවතක් ඇති ගැහැණියක ට සවන් දීමේ පුණ්‍ය කර්මය වෙනුවෙන් සූදානම් වෙන්න. 

| අපේක්ෂා ගුණරත්න |

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles