ප්‍රේමයේ මන්දහාසිනි 03

මගේ හදවත තුළ ඔහු තනා තිබූ පැල්ලම් වල වූයේ සෞම්‍ය තෙත් බවකි. මෙතරම් කලකට පසුව වුවද, ඒ තෙත් පැල්ලම් වල වෙනසක් නැති බව දැනෙයි.  ඒ තෙත් පැල්ලම් මත කිතිකැවෙමින් කෝලම් කරන්නට ඉඩ සකසා ගැනීමෙන් මම ජීවිතේ වූ පාලුව මකා ගැනීමට හුරු වී උන්නෙමි.

 ඔහුගේ නිහඬ , හුදෙකලා වීම් මා මත ඇති කල දරාගත නොහැකි තරනේ වියළි බව මැකෙන්නට තරම් ඒ තෙත ප්‍රමාණවත් වූවායැයි ඔබ වරදවා වටහා ගත නොයුතු වග මම යෝජනා කරමි. මම පැවතුනා පමණි. යළි ඔහු ඒවිය යන බලාපොරොත්තුව මත මා පැවතුණා පමනි. 

ඒ වියළි බව මා වසා ගන්නා ඇතැම් තත්පර වලදී, මට සෙලවෙන්නට පවා නොහැකි ගල් වීමක් දැනී ඇත. ඔහු මා වෙත පා කර දැමූ අකාරුණික නිහඬ වීම තුළ පවා, ඔහුව අත් හරින්නට හෝ වෛර කරගන්නට නොහැකිව මම මරණීය වේදනාවක ගිලුණු දවස් පවා ඇත.

 එහෙත්, වගකීමක් දරන්නට වූ  කෙල්ලක ලෙස මා කල දේ නිසා කලකට පෙර ඔහු ද මෙතරම්ම මරණීය වන වේදනාවක් උහුලන්නට ඇති වගට මට සැක නැත.

මා හා සම වයස්  වන සහ  මට වඩා බාල අවන්හල් සේවිකාවෝ  මහේල අරන්දර ගේ රුව පිළිබඳව විශ්ලේෂණය කරනු ඇසෙයි. මුහුණු පොතෙන්ද, ඉන්ස්ටර්ග්‍රෑමයෙන්ද දුටු රූප වල හැඩතල සසඳති. මේ තරම් කාලයක් ඔහු සමාජ මාධ්‍ය ගිණුම් හී උන්නේ නැති බව දන්නා නිසා මම ඔවුන්ගේ කතා බස් මඟ හැරියෙමි. 

මම අසා උන්නා පමණි. 

“ඈ අසේකා… මොනවා හරි කියන්නකෝ… මහේල සර් මොකක් ඇඳගෙන ඒවිද ?”

ඊයේ දිනය පුරාම තරින්දි එලෙස විමසමින් කිහිප වතාවක්ම මා පසු කර බවද මට සිහිවිය. 

දැන් සියල්ලන්ම ඔහු කුමක් හැඳ ඉන්නේදැයි දැක ඇතිවාට සැක නැත. එහෙත්,  අසේකා පණ්ඩිතරත්න වන මම  තවම සිටින්නේ ඔහු ඉදිරියට යන්නට තියා සැඟව සිට හෝ ඔහු දැකගන්නට නොහැකි පසුගාමී හැඟීමක් එක්කය.

මා දන්නා මහේල අරන්දර නම් සැහැල්ලු කලිසමක් සහ කමිසයකට බාටා දෙකක් දාන්නට ප්‍රිය අයෙකි.  ඒ කමිස කලිසම් මිලයට ගත්තේ බොරැල්ලේ  හවුස් ඔෆ් ෆැශන් එකෙනි. ලෙහෙසියෙන්  කමිසයක් ගන්න පුරුද්දක් නොතිබුණ මහේල අරන්දරට කමිසයක් අරන් දෙන්නට පෙරුම් පිරූ යුවතිය මමය. මාස්පතා සැහැල්ලු කමිස දවටා  ඔහුට තෑගි එතූ යුවතිය මමය. 

මම වහා චායි තේ සකස් කිරීමට සූදානම් වූයෙමි. මේ අවන්හලට පැමිණි දිනයේ පටන් මා සකසන්නේ මහේල අරන්දරගේ ප්‍රියතම චායි තේ  වට්ටෝරුවය. ඔහුගේ රුචිය වෙනස් වී නොමැතිනම් අද ඔහු පුදුම විය යුතුය. ලෝකයේ කොහේ කරක් ගසා පැමිණියද මේ චායි තේ සැකසෙන්නේ අසේකා පණ්ඩිතරත්න ගේ අතින් පමණක් වග ඔහුට සිහි විය යුතුය.

එහෙත්, කාලය   ගෙවී ඇත්තේ ඉතා විශාල පරතර සකසමිනි. මහේල අරන්දර ට අසේකා පණ්ඩිතරත්න කියා කෙනෙක් සිහියේ නැතිවා හෝ විය හැක. චායි තේ පානය ඔහුගේ අප්‍රියතම පානය වී ඇතිවා විය නොහැකිවාද නොවේ. නැත, චායි තේ සකසන්නට තීරණය කරන්නට ඇත්තේ එය ඔහුගේ ප්‍රියතම බව දැනගෙන විය යුතුය.

මම නිල් පැහැ එප්‍රණය දවටා ගත්තෙමි.  ගෑස් ලිප දල්වා ඒ මත නන්ස්ටික් සාස්පාන තැබූවෙමි. එයට වතුර කෝප්ප එකහමාරක් දැම්මෙමි. 

ගම්මිරිස් ඇට දෙකක්, කරාබු නැටි තුනක්, කුරුඳු පොත්තක්, කරදමුංගු කැබැල්ලක් කුඩා ගල් වංගෙඩියට දමා කොටා ගත්තෙමි. සුදු පැහැ පීරිසියේ පසෙකින් මිශ්‍රණය තැබූවෙමි. ඉඟුරු කැබැල්ල වෙනම කොටාගෙන එය නටන ජලය බඳුනට දැමූවෙමි. විනාඩියක් නටද්දී අනෙක් කුළුබඩු මිශ්‍රණයද එයට එක් කලෙමි. ජලය හොඳින් උතුරන තෙක් තවත් විනාඩි කිහිපයක් බලා උන්නෙමි.

ඉන් පසුව ලිප නිවා භාජනය වසා තැබූවෙමි. ඉන් පසුව නැවුම් කිරි කෝප්පයක් සහ සීනි තේ හැඳි දෙකක් දමා උතුරවාගත්තෙමි.  එයට වැනිලා කරලක කොටසක් සහ කළු තේ කොළ හැන්දක් දමා විනාඩියක් තියෙන්නට හැර ලිප නිවා දැම්මෙමි.  යලි භාජනය වසා විනාඩියක් තැබූවෙමි. 

මම සූපවේදිනියක වීම ගැන ජීවිතේ පලමු වතාවටදෝ මට මහා ආඩම්බරයක් දැනෙන්නට ගෙන තිබුණි.

මහේල  අරන්දර පැමිණ ඇති නිසා උදෑසන ආහාර මේසය වෙනුවෙන් පිරිස පේවී සිටිනවාට සැක නැත. 

සුදු පැහැ පීරිසි කෝප්ප තට්ටුවේ වෛවර්ණ මල් වැටී තිබුණි. එය වූයේ පැරණි යුරෝපීය විලාසිතාවකටය. මම කෝප්පය උණුවතුරින් සෝදා හැරියෙමි. 

එය රැගෙන යන්නට අයෙකු බලා සිටී. මම වහා   සැකසූ තේ කෝප්පයට පෙරා වත් කලෙමි. බලා උන් ඇය දෙස බලා හිස සැලුවෙමි.

“එන්න සර්ව බලන්න.. හැමෝටම කතා කරනවා… “

මම හිස සැලුවා පමණි. අනෙක් කෝප්ප තුනටද තේ වත් කලෙමි. තරින්දි දිව විත් එය රැගෙන ගියාය. ඉන් පසුව කුමක් කල යුතුදැයි සිතා ගත නොහැකිව අසේකා පණ්ඩිතරත්න එතැනම උන්නාය.

තමාට සිතුවිල්ලකින් හෝ ද්‍රෝහී වූ ගැහැණියකට යලි තම ජීවිතයේ පෙර ඉඩම දෙන්නට කිසිඳු පිරිමියෙක් කැමති වන්නේ නැත.  නිකම්ම අත් හැර දැමීමක්, සමාව දී අත් හැර දැමීමක් වැනි යමක් පමණක් බලාපොරොත්තු විය හැකිය. මහේල අරන්දර සාමාන්‍ය පිරිමියෙක් නොවන වග දන්නේ අසේකා ය. සැබැවින්ම අසේකා තරමට එය දන්නා කෙනෙක් නැතියැයි කිවහොත් වඩා නිවැරදිය.

“මාව අනෙක් පිරිමි වගේ හිතන්න එපා කෙල්ල….”

ඇස් පොඩි කරමින් , ඇහි බැම නළලටම ඔසවා මගේ ඇස් වලටම එබී එහෙම පැවසූ යෞවන මහේල අරන්දර මට අමතක නැත. විසි පස් වියැති යෞවනයෙකුට නොවන තරමේ පරිණත පෞරුෂය හමුවේ ඔහුට ඇලෙන්නට, බැඳෙන්නට සහ ඔහු හා බඳින්නම පෝලිම් ගැහෙන යුවතියන් සෑහෙන්නම දෙනෙකු පසු කර මහේල අරන්දර නැවතුණේ අසේකා පණ්ඩිතරත්න ගේ පසෙකිනි.

ඉතා අපහසු රැකියාවකට ඉල්ලා  අස්වීම ලබා දී , අම්මාගේ එක දිගට පැමිණි ඇමතුම් නිසා කලබල ව ඔහේ පාරට පැන්න අසේකා ගැටුණේ මහේලගේ යතුරු පැදියේය. සැබැවින්ම අසේකා පණ්ඩිතරත්න  එහි ගැටී තිබුණේ නැත. අසේකා දෑස් වසාගෙන උන් තැනම ගල්ගැසී උන්නාය. අසේකා බේරන්නට යතුරු පැදිය පසෙකට කැපූ මහේල අරන්දර පසෙක වූ කුඩා පෙට්ටි කඩයද පෙරළාගෙන වැටී  උන්නේය.

දැන් ඔබ මාව විනිශ්චය කර අවසන් කර අවසන් වගට සැක නැත.

“මේ කෙල්ල, ඒ කොල්ලාගේ ජීවිතේ ට ඇවිල්ලා තියෙන්නේම කුඩු පට්ටම් කරගෙන නේ…”

ඔබට එලෙස සිතෙනවානම්, මම ඒ අදහස් වෙනස් කරන්නට උත්සාහ නොකරමි. සැබැවින්ම ඔබ මා ගැන සිතන දේ පිළිබඳව මට වැදගත් නැත. අවැසි මා අසා සිටීමය. 

ඉන් එහා මා වෙනුවෙන් කල හැකි යමක් වේනම්, ඒ අසේකා පණ්ඩිතරත්න සිත තුළ දරා සිටින විසල් ප්‍රේමයේ අහු කොනක් හෝ ඔහුට පෙනෙන සේ සකසා දීමය. ඔබ මා වෙනුවෙන් එතරම් දෙයක් කරාවියැයි බලාපොරොත්තු නැති වුවද, කොහෙන් හෝ කවුරුන් හෝ මතුවී මේ ප්‍රේමය එළි දරව් කරාවියැයි මම විශ්වාස කරමි. 

“අපි උත්සාහ කරමු.. සමහරවිට මහේල අරන්දර ට ඔයා ගේ කතාව අහන්න උවමනා වේවි…”

යැයි කියාවිය යන විශ්වාසය ඉතා අංශුමාත්‍රික ව සිතෙහි ඇත.

මම ඒප්‍රණය ගලවා බිත්තියේ එයට වෙන්වූ කොක්කේ එල්වූයෙමි. නිල් පැහැ අනෙක් ඒප්‍රණය පැළඳගත්තෙමි.  දෑත් සෝදා යළි පිසදාගත්තෙමි. මුළුතැන්ගෙයින් පිටතට ආයෙමි. කොරිඩෝවේ තැනින් තැන අපේම අය කුටු කුටු කතා බස් වලය.

“අම්මෝ…. සර්ගේ ලස්සන…”

“මට නම් කකුල් දෙකත් පණ නෑ..පිස්සුවක් ඒක නම්…”

“දැක්කද කොණ්ඩේ ලිහලා ආයේ බූල් බැන්න්ඩ් එක දාපු හැටි…”

“ඇයි අනේ අපේ මැනේජර් මැඩම්ව හග් කරපු හැටි…”

“හැමෝටම හිනාවෙනවා අප්පා….පිස්සුවක් එයා….”

“අද ඉඳන් නම් නිවාඩු එපා ඈ..”

අවුරුදු විසි දෙකේ, විසිතුනේ පොඩි කෙල්ලන් මහේල අරන්දර වෙනුවෙන් නැහෙන්නේ එහෙමය. මේ දිනකට පෙර දැක තවම හරිහැටි නොදන්නා මහේල අරන්දරගේ රූපයෙන් කෙල්ලන් උමතුව ගොස් ඇත්තේ එලෙසය.

“ඔයා හිනාවෙන්න එපා.. කෙල්ලෝ බලනවා වැඩියි එතකොට …”

දිනක් විහාරමහාදේවි උද්‍යානයේ ඇවිද යමින් සිටියදී මම මහේලගේ බාහුවක් කොනිත්තා එලෙස කීවෙමි. එවිට මහේල අරන්දර  වැඩි වැඩියෙන් සිනාසුනේය. මා දෙස බලමින් ඇස් උස්සා, නටවා ඉන් පසුව අප පසු කරන යුවතියන් දෙසද බලමින් උමතුවෙන් මෙන් සිනාසුණේය. ආපසු හැරී බලන්නට ඒ යුවතියන්ට ඉනාවක් ඉතිරි කරමින් ඔහු දිගටම සිනාසුණේය. 

“කොච්චරක් කෙල්ලෝ බැලුවත් මේ කොල්ලා බලන්නේ මේ කෙල්ල දිහා විතරයි නේ…”

සෑහෙන්නම වෙලාවක් තිස්සේ නැටූ නාඩගමට  පසු මහේල අරන්දර එලෙස පැවසූයේ ඉන්න තැන ගැන හෝ වගක් නැතිව මගේ කොපුලක් මිරිකා පසුව ඒ තැනම හරියටම ඉඹිමිනි

| අපේක්ෂා ගුණරත්න | 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles