මාරියා, ඉගෙනීමට බොහොම දක්ශ, ඒ වගේම සුන්දර යුවතියක්. මාරියා ජීවත් වුණේ එයාගේ අම්මයි , තාත්තා යි එක්ක. උසස් අධ්‍යාපන කටයුතු වල ඉදිරි සැලසුම් වෙනුවෙන් මාරියාට අවශ්‍ය වෙනවා නාවික හමුදාවට ඇතුලු වෙන්න. ඊට පස්සේ මාරියාගේ අම්මලා මාරියාගේ මේ හීනය වෙනුවෙන් කරුණු කාරණා හොයනවා.
” කොලේජ් යනවට වඩා නාවික විශ්ව විද්‍යාලෙන් ඉගෙනගෙන නාවික නිළධාරිනියක් වෙන එක හොඳයි කියලා අපිත් හිතුවා.. දුවටත් ඒ ගැන තිබුනේ පුදුමාකාර කැමැත්තක් .. ඒ නිසා අපි දුවව ඒ නාවික විශ්ව විද්‍යාලයට ඇතුල් කලා…”
මාරියාගේ අම්මා වුණ මේරි මෙහෙම කියනවා.
මාරියාව නාවික විශ්ව විද්‍යාලයට ඇතුලත් කෙරෙන්නේ ඒ අනුව. මූලික අධ්‍යාපන කටයුතු වලට මාරියා ඉතාම උනන්දුවෙන් සහභාගි වෙනවා. ඒ වගේම ඒ කටයුතු වලින් ඇයට ඉහළ ලකුණු ලබා ගන්නත් පුළුවන් වෙනවා.
ඊට පස්සේ මාරියාට ඇයගේ පලමු රාජකාරි ස්ථානය සඳහා වන අනියුක්ත වීම ලැබෙනවා. ඒ උතුරු කැලිෆෝනියාවේ, ජැක්සොන්විල් කියන කඳවුරට. ඉතා මිත්‍රශීලි වටපිටාව එක්ක මාරියාට ඇයගේ තීරණය ගැන දැනෙන්නේ ඉතාම සතුටක්.
” ඇත්තටම මැරීන් තෝරගත්තට මම සෑහෙන සතුටුයි අම්මේ…. ඇත්තටම මේ ෆීල්ඩ් එකේම ඉස්සරහට යන්නම් මම … මට පිළිවන් වේවි …”
හැමදාම රෑට අම්මාත් එක්ක කතා කරනකොට මාරියා දවසට වතාවක් අනිවාර්යයෙන් එහෙම කියනවා. ඒ නිසාම මාරියාගේ අම්මයි තාත්තායි තමන් මාරියාගේ ජීවිතේ ගැන ගත්තු තීරණය ගැන සතුටූ වුනා.
මාසයක විතර කාලෙක ඉඳන් එකපාරට මාරියා වෙනස් වෙන්න ගත්තා. අම්මට ගන්න ඇමතුම් වල කාලය අඩු වුණා. අම්මා එක්ක නිතරම කෝප ගත්තා. ඒ ගැන අහලා බලන්න මාරියාගේ අම්මයි තාත්තයි කිහිප වතාවක්ම උත්සාහ කලත් මාරියා කතාව මඟෑරියා.
මාරියාගේ මේ වෙනස නිසා මාරියාගේ අම්මා මාරියාගේ යාලුවෝ කිහිප දෙනෙක්ටම කතා කලා.
” මාරියාට කතා කරලා බලන්න පුළුවන් ද හෙලී … එයා මේ දවස් ටිකේම හරිම අමුතුයි …. මාත් එක්ක කතා කරන්නේත් නෑ… මේ මාරියා මොකක්ම හරි හිතේ කලබලේක ඉන්නේ කියලා මට හිතෙන්නේ ….”
මාරියාගේ යාලුවොත් මාරියාට කතා කරලා ඇගේ වෙනසට හේතුව හොයන්න උත්සාහ කලා. ඒත් ඒ අයටත් මාරියාහේ හිත කියවන්න ඉඩක් ලැබුනේ නැහැ.
2007 ලෝක මවු දිනය දවසේ උදේ මාරියා අම්මට ඇමතුමක් දුන්නා.
” මං ඔයාට ආදරෙයි අම්මේ.. සුබම සුබ අම්මාවරුන්ගේ දිනයක් වේවා..”
මාරියා අම්මට සුබ පැතුවා.
” මං දන්නවා මගේ දරුවො.. අම්මා ඕනි වෙලාවක ඔයාට ඉන්නවා. අම්මා වගේම තාත්තා ත්…”
අම්මා මාරියාට කිව්වා. එතැනින් පස්සේ ඒ තරම් කාලයක් හංගගෙන හිටපු හැමදේම මාරියා එලියට දැම්මා. තමන්ගේ අංශ ප්‍රධානි නිළධාරියා අතින් තමන් අතවරයට ලක්වුන බව මාරියා කිව්වේ හඬා වැටෙමින්.මාසෙකට කලින් රාත්‍රී සේවා මුරය තිබුණ දවසක තමන් ඔහුට ගොදුරු වුණ බවත් ඇය කිව්වා.
මාරියාගේ අම්මට දැනුණේ හිස මත බෝම්බයක් පුපුරලා ගියා වගේ. ඒත් මාරියාගේ අම්මා ඉවසීමෙන් කල්පනා කලා. ඇමතුම විසන්ධි කරන්න ඉඩ නොදී මාරියා එක්ක කතා කරමින් උන්නා.
” ඔයා මේ ගැන පැමිණිලි කරන්න ඕනි මාරියා …”
අම්මා මාරියාගේ හිත හදනවා. ඒ වගේම මේ වගේ අසාධාරණයක් වෙනුවෙන් නැගිටින එකේ වැදගත්කම අම්මා මාරියට පැහැදිලි කරනවා.
අන්තිමේදි මාරියා තීරණයක් ගන්නවා. පහුවෙනිදාම කඳවුරේ සියළු අංශ භාර ප්‍රධානියාට මේ ගැන ඇය පැමිණිලි කරනවා. එදිනම හවස මාරියාව නාවික අපරාධ අංශයට කැඳවනවා. ප්‍රශ්න කරනවා.
එතනදී මාරියා ඇයට සිදු වුණ අසාධාරණය ගැන සියලු දේ පවසනවා.
ඊට පස්සේ නාවික අපරාධ අංශය මාරියාට අතවර කලායැයි සැක කරපු නිළධාරියාව සහ ඔහුගේ ප්‍රධානියාව ප්‍රශ්න කරනවා එතැනදී ඔවුන්ගේ සාක්ෂි වඩා ප්‍රබල වෙනවා.
” මාරියා නවක නාවික නිළධාරිනියක් .. නමුත් මොහු වසර ගණනාවක් මගේ යටතේ සේවය කරන දක්ෂ නිළධාරියෙක් .. අනිවාර්යයෙන් මේ මාරියා විසින් මොහු අපකීර්තියට පත් කරවන්නට කල දෙයක් විය යුතුයි….”
ප්‍රධාන නිළධාරීන් එක් වී මාරියා තනි කරවනවා. ඇයව වෙනත් ගොඩනැගිල්ලකට මාරු කරනවා. නමුත් ඇය සේවය කල අංශය වෙනස් වෙන්නේ නැහැ.
මාරියා ඉතා අපහසුවෙන් දින ගෙවාගෙන රාජකාරි කරනවා.
මේ අතරේදි මාරියාගේ ජීවිතේ දෙදරලා යන අනෙක් සිදුවීමත් සිදුවෙනවා.
” ඔයා ප්‍රෙග්නන්ට්…”
අසනීප තත්වයක් වෙනුවෙන් ප්‍රතිකාර ලබා ගන්න ගිය මාරියාට ලැබෙන්නේ එහෙම නිර්දේශය. තත්වය එහෙම වෙලා තියෙද්දීත් තමන්ගෙ අපයෝජකයාව දැක දැක සේවයේ යෙදෙන්නට වීම මාරිය මත ඇති කරන්නේ සුලු පටු පීඩනයක් නෙවෙයි.
කොහොම හරි මාරියා ඒ පීඩනය කලමණාකාරණය කරගෙන ඉස්සරහට යනවා.
ඒ අතරේදී මාරියාගේ අම්මා මාරියාව බලන්න යන්න සැලසුම් කරනවා. අම්මව දකින්න මාරියා ආසාවෙන් සැලසුම් කරනවා.
ඒ අතරේදී මාරියාට කඳවුරේ සියලුම දෙනැ සහභාගි වෙන සාදයකට යන්න වෙනවා.
” මම ඒ සාදයට යන්න කැමති නෑ අම්මේ..”
“ඔයා මෙහෙම කරන්න මාරියා.. ඔයා සූදානම් වෙලා යන්න .. විනාඩි කිහිපයක් ඉඳලා නවාතැනට එන්න … මට කෝල් එකක් ගන්න …”
මාරියා අම්මට එකඟ වුණා. ඒත් එදා හවස මාරියාගේ කාමර සගයාගෙන් මාරියාගේ අම්මට ඇමතුමක් එනවා.
” මාරියා ලියුමක් තියලා කාමරෙන් ගිහින් ආන්ටි.. එයාට මේ මැරින් ජීවිතේ එපා වෙලා කියලා තියෙනවා .. ඒ නිසා එයා මේ හැමදේම දාලා යනවලු …සමාවෙන්න කියලා තියෙනවා ….”
මාරියාගේ දෙමාපියන් ට මේ කිසිම දෙයක් හිතාගන්න බැරි වුණා. මාරියාගේ දෙමාපියන් වහාම මේ ගැන ඔවුන් ජීවත් වුන ප්‍රදේශයේ පොලිස් ස්ථානය ට පැමිණිලි කරා.
” බය වෙන්න එපා..අපි ඇයව හොයමු…”
ඔවුන් මාරියාගේ දෙමාපියන් සැනසුවා. ඒත් දින කිහිපයක් යනකල්ම කිසිම ආරංචියක් ලැබුණේ නැහැ. ඒ අතරේ මාරියාගේ ජංගම දුරකතනය ට කිසිවෙක් පිළිතුරු දුන්නා.
” මම පාරේ යනකොට මට මේක නාද වෙනවා ඇහුණා..”
ඔහු මාරියාගේ අම්මා ට කිව්වා. ඒ ජංගම දුරකතනය සොයාගෙන තිබුණේ මාරියා උන්න කඳවුරට කිලෝ මීටර කිහිපයක දුරින්.
“අනේ.. ඔය ෆෝන් එක පොලිසියට බාර දෙන්න …”
අම්මා නන්නාඳුනන මිනිසාගෙන් ඇයැද්දා. ඔහු ජංගම දුරකතනය පොලිසියට බාර දුන්නා. ඒ අතරේදී පොලිස් පරීක්ෂණ කණ්ඩායම මාරු වුණා. අලුත් පරීක්ෂණ කන්ඩායමේ නායකයා මාරියගේ අම්මට කතා කලා. හැම විස්තරයක් ම දැනුවත් වුනා.
ඊට පස්සේ නාවික හමුදා කඳවුරේ ඉන්න මාරියාව අතවරයට ලක්කල බව කියන නිළධාරියා වුන ලෝරන්ව ප්‍රශ්න කිරීම් වෙනුවෙන් උත්සාහ කලා. ඒත් නාවික හමුදා බලධාරීන් එයට එකඟ වුනේ නැහැ
ඒ නිසාම මාරියව සොයන පොලිස් කණ්ඩායම අධිකරණ වරෙන්තුවක් ගත්තා. නමුත් ඒ වෙනකොට ලෝරන් මෙක්සිකෝවට ට පැනලා ගිහින්. ඒ තමා විසින් කල දේ ගැන පාපොච්චාරණක් ලියලා තියලා.
” මාරියා මගේ නිවසට ඇවිල්ලා සිය දිවි නසාගත්තා.. මම නිවස පිටිපස්සේ ඇයව වළදැම්මා…”
පොලිස් කණ්ඩායම මාරියා සහ ඇගේ නූපන් බිළිඳාගේ ශරීර කොටස් ගොඩ ගත්තා. මුලු ප්‍රාන්තයම ඒ අපරාධය නිසා සලිත වුණා.
මිනිස්සු ගේ බලකිරීම් නිසා නඩුව යටපත් වුනේ නැහැ. ලෝරන්ව ඇප ඉල්ලීමටවත් ඉඩක් නොදීම ජීවිතාන්තය දක්වා සිර දඬුවමට ලක් කලා.
ලෝරන් කිසිම දවසක පසුතැවීමක් පෙන්නුවේ නැහැ. ඒත් තමන්ගේ දියණිය සහ මිණිපිරිය අහිමි වීමේ වේදනාවෙන් මාරියාගේ අම්මයි තාත්තායි තවම මේ ලෝකේ කොහෙ හරි ජීවත් වෙනවා.
| අපේක්ෂා ගුණරත්න |