රැය සුව පහසු නින්දක් තැනුවේ නැත. විටින් විට නින්දෙන් ඇහැරුනෙමි. ඒ අතර වාරයේ ජංගම දුරකථන දෙස බලමින් උදෑසන වන්නට තව පැය කීයක් තිබේදැයි ගැන්නෙමි.
මම ඇහැරුණේ උදෑසන පහටත් පෙරය. කේතලය ලිපේ තැබුවෙමි. විසන්ධි කර තිබූ ශීතකරණයේ වූ අයිස් දියවී ගොස් තිබුණි. මම ශීතකරණය පිරිසිදු කලෙමි. කිරි කෝපි කෝප්පය සකසාගෙන එය පානය කරන අතරේ අද දිනය වෙනුවෙන් සල්වාර් ඇඳුමක් අල්මාරියෙන් එලියට ඇද ගත්තෙමි. එහෙත් යන්නේ රාජකාරි ගමනකට බව අන් අයට ඇඟවිය යුතු බව පසුව වැටහුණි.
කළු පැහැ ස්ලැක් කලිසමකට රෝස පැහැ බ්ලවුසයක් ගැලපූවෙමි. නාන කාමරය පිරිසිදු කර, නාගෙන එළියට එනවිට හය පසුවී තිබුණි. උදෑසන ආහාර අවන්හලෙන්ම ගන්නට් තීරණය කලෙමි. බෑගය දෙස යළි බලන්නට අවැසි වූයේ නැත. අවැසි යමක් වේ නම් මිලයට ගත හැක. හැඳ පැළඳගෙන නවාතැනින් පිටත්වනවිට හත පසු විය.
නොසිතූ මාර්ග තදබදය නිසා අවන්හල අසලින් බැස ගන්නට වුයේ අටට විනාඩි කිහිපයක් තියෙද්දීය. සදීර සර් ලොබියේ විය.
“යමු .. සර් එකපාරක් කෝල් කරා පිටත් වුනාද අහලා …”
සදීර සර් ඉස්සර වූයේය. ඉන් පසුව උදෑසන ආහාර ගැන විමසන්නට මට ඉඩක් වූයේ නැත.
සදීර සර් වෙනදා ගමනට භාවිතා කල ඩබල් කැබ් රියේ පිටුපස අසුන මට වෙන් විණි. රථය ගමන් අරඹා විනාඩියක් ගත වූයේ නැත. සදීර සර්ගේ ජංගම දුරකථනය නාද විය.
” සර් … “
” ඔව් සර් .. “
“හරි සර් … මම ලොකේශන් එක ශෙයාර් කරන්න ඕනිද සර් ? …”
” අහ් හරි සර් … ඕකේ සර් …”
එපමණක් ඇසිණි. මහේල අරන්දර මා වෙනුවෙන් මෙතරම් නොඉවසිල්ලෙන් සිටින වග මට විශ්වාස කරගන්නට හැකි වූයේ නැත. ඔහු මෙතරම් වසර ගණනාවක් පසු කර අවසානයේ මා වෙනුවෙන් මෙතරම් නොඉවසිලිමත් වීම සැබැවින්ම උන්මාදනීය නොවේද ?
මහේල අරන්දර නමින් දැන උන් යෞවනයා දැන් වඩා පරිණත මිනිසෙකු බවට පත් ව ඇතිවාට සැක නැත.
ඔහුගේ දුඹුරු පැහැ ඇස් තවම වෙනස් නොවී ඇති බව මට තහවුරු කර ගන්නට නොහැකි විය. ඔහු සතුව තිබූ කැරලි කොණ්ඩය නම් එලෙසම වූ බව මම දුටුවෙමි. ඒ නැතත්,
“සර්ගේ කර්ල් හෙයාර් එක නම් ශෝක් නේ?”
කියමින් මැරෙන්නට සැදූ අවන්හලේ සේවය කල පොඩි කෙල්ලන් නිසා එහි සැකයක් නැත. නළලේ මැදින් එකතු වෙන ඝණ ඇහි බැම ගැන මට කොහොමටත් තිබුණේ ප්‍රශ්න වැලකි.
” ඔච්චර ඝණ අයි බ්‍රෝ කොල්ලෙක්ට තියෙනවා දැක්කමයි … “
විටෙක සුලැඟිල්ල ඒ මත යවමින් මම පවසද්දී මහේල අරන්දර එපරිද්දෙන්ම මගේ ඉතා සිහින් ඇහි බැම පිරිමදින්නේය.
“ඔලිව් ඔයිල් ටිකක් දාලා මසාජ් කරගන්න අසේකා… එතකොට ග්‍රෝ වෙනවා ..”
මහේල එලෙස පැවසූයේ ඒ පිළිබඳව අම්මාගෙන් විමසා පැමිණීමෙන් පසුව බව මම දැනගත්තේ පසුවය. ඉන් නොනැවතී ඔහු මිතුරෙකු ලවා ගෙන්වා ගත් ඔලිව් තෙල් ඔරිජිනල් බෝතලයක්ද මට ගෙනැවිත් දුන්නේය.
මට සුසුමක් හෙලුණි. මට අහිමි වූයේ එවන් ප්‍රේමයක් ය. නැත, ඔබට වඩා පැහැදිලි වන ලෙස පවසනවා නම් අම්මලා මට අහිමි කලේද ,අම්මලා වෙනුවෙන් ඉඩ දෙමින් මම අහිමි කර ගත්තේද එවැනි ප්‍රේමයක් ය.
මම දෑස් පියා ගත්තෙමි. මහේල අරන්දර ගේ සිනහව අඩුවෙන්ම ඇලවෙන මුහුණ මවාගත්තෙමි. ඔහු සිනාසුණේ ඉතා කලාතුරකින් යැයි පැවසීම ඔබට ඔහු ගැන මැවෙන චිත්‍රයට බාධාවකි. එහෙත්, මා මුණ ගැසෙන්නට පෙර ඔහු සිනහව ඉතා අඩුවෙන් පැලැඳි අයෙකු වග ඔහුම පැවසූ බව ඔබට කියා තියන්නට පමණක් මම ඉදිරිපත් වෙමි.
මහේල අරන්දර ගේ ඇසුර මා මෙතරමේ උන්මාදනීය හැඟීමක හෙලුවායැයි කියන්නට තරමේ වචන දැන් මට ගැලපෙන්නේ නැත. එනිසා මට ඉඩ දෙන්න , පලමුව අද දවස ගෙවා ගත යුතුය.
“අසේකා … “
එක්වරම සදීර සර්ගේ හඬින් මම තිගැස්සුනෙමි. රිය නවතා තිබිණි.
” අසේකා … ඔයා යන්න ..සර් ඇතුලේ ඇති …”
මම වහා හිස සළ ඔහුට සමුදුන්නෙමි. බෑගයද, අත් බෑගයද ගෙන කැබ් රියෙන් බැස්සෙමි. ගත වසා ගනිමින් පැතිර ගියේ සීතල සුළඟකි. ඒ කොළඹ හුළඟ නොවන බව විශ්වාසය.
ආපසු හැරෙන්නට ඉඩක් නැත. මම ඉදිරියට ඇවිද ගියෙමි. එය තරු පන්තියේ හෝටලයක් විය. එහෙත් කාර්යබහුල බවක් නොවීය. මම පිළිගැනීමේ නිළධාරිනිය දෙස බලා සිනාසුනෙමි. මහේල අරන්දර පෙනෙන මානයක නැත. ඔහු අමතන්නට තරම් අංකයක්ද මා සතුව නැත. පැරණි අංකය කට පාඩමේ තිබුණත් පසුගිය අවුරුදු ගානක තිස්සේ එම අංකයෙන් වාදනය වූයේ එකම එක හඬ පටයක් පමණි.
පිළිගැනීමේ නිළධාරිනිය මා දෙස බලා සිටියේ මා ධෛර්යමත් කරන බැල්මකින් ය. මම ඇය වෙත ගියෙමි.
” යස් මිස් …?”
“මේ.. මහේල අරන්දර …”
“අහ්… මිස් අසේකා ?”
“ඔව් …”
සැහැල්ලුවක් දැනුණි. මා පැමිණෙන්නටද පෙර මහේල මා හඳුන්වා දී තිබීමේ ආහ්ලාහදායී හැඟීම වින්දෙමි.
” ස්ටාර්ෆ් මෙම්බර් කෙනෙක් එනවා කියලා සර් කිව්වා.. පස්සේ මේල් එකකින් ඉන්ෆෝර්ම් කරලා තිබුණා.. මේල් එකේ මිස්ගේ නම තිබුණා…”
ඇය වැඩිදුරට පැහැදිලි කලාය. මම තනාගත් මාලිගාව බිඳ හෙලුණි.
එහෙත් ඒ බවක් නොපෙන්වා ඇය ට සිනාසුණෙමි.
“ඔහොම ඉන්න මිස්.. මම සර්ට ඉන්ෆෝර්ම් කරන්නම් … සර් ඒවි… ප්ලීස් ටේක් අ සිට් …”
ඇය ඇමතුමකට සම්බන්ධ වෙන්නට උත්සාහ කරමින් කීවාය. මම ඇයට හිස සලා අසල වූ අසුනකට වැටුනෙමි.
පියඹා ආවාට ඒ සැහැල්ලුව රැඳෙන්නේ නැති වගට ඉඟි දැන් දැන්ම දැනෙමින් ඇත. සැබැවින්ම මට කල්පනා නොවූයේ මන්ද ? මහේල අරන්දර මෙතරම් කල් තනිව සිටින්නේ නැතිවා විය හැකි නොවේද?
ඔහු විවාහක නම් ….,
මම දැස් පියාගත්තෙමි. තද හුස්ම කිහිපයක් ගත්තෙමි. හෙළුවෙමි.
“සර් …”
අර යුවතියගේ හඬ ඇසුණි. ඇය අසල උන්නේ මහේල අරන්දර ය. ඔහු දකින වාරයක් ගානේ මෙහෙම ගැහෙන්නට ගත්තෝතින් නම් හදවත වැඩි කල් නියමිත ප්‍රමාණයෙන් ක්‍රියා නොකරනු ඇත.
සුදු අත් දිග ටී ශර්ට් එකකට , ලා නිල් පැහැ ඩෙනිමක් හැඳ උන් පරිණත අරන්දර පැළඳ උන්නේ ලෙදර් පෙනුමැති සපත්තු යුවලකි. මට මගේ පෙනුම ගැන මදි කමක් දැනුණි. එහෙත් දැන් කල හැකි දෙයක් නැත.
“මෙයාගේ බෑග්ස් රූම් එකට යවන්න … එන්න …”
ඔහු අර යුවතියට වැඩි හරිය පවසා මට එක් වචනයක් පමණක් ඉතිරි කලේය. මම බෑගදෙකම එලෙස තම මහේල දෙසට ඇවිද ගියෙමි.
” ගුඩ්මෝනින්…”
ඔහු සිනාමුසුව පැවසුවේය. මට දැනුණේ සැනසීමක් නොවේය. ඔහුගේ ස්වරයෙහි පටන්ම වූ ආගන්තුක බව මට රිදවීම අරඹා තිබුණි. එහෙත්, රිදුම් පෙන්වීමට මට අයිතියක් නැත. ඔබ ඒ ගැන වැඩි හේතු නොදන්නවා වුවද, සිදුවූයේ කුමක්දැයි දැන ගැනීමෙන් පසුව ඔබ උත්සාහ කරන්නේද මහේල අරන්දර ගේ ජීවිතයෙන් මා උදුරා දමන්නට බව මම ඉන්තේරුවෙන්ම දනිමි. එනිසා අතීත කතා දැන්ම ඇදෙන්නට මම ඉඩ නොදෙමි.
“ගුඩ්මෝනින් සර් ….”
මම ඉතාම පහත් හඬින් කීවෙමි. අදහන්න මහේල අරන්දර ඉතා රිදවන සුළු සරදම් සිනහවකින් මා පෙලුවේය.
මම එය නොදැක්කා සේ ඉවත බැලුවෙමි.
” කම්…”
ඔහුද ඒ බවක් නොකලා සේ ඉස්සර වූයේය. මම පසුපසින් ඇවිද ගියෙමි.
| අපේක්ෂා ගුණරත්න |