හිත් නතර වෙන තැන්…

තරිඳු මත්පැන් වීදුරුවක් තොල ගාන ගමන් අසුන් දෙක තුනකට එහා ඉන්න මධූශා දිහා බැලුවේ හොරැහින් වගේ. මදූෂාත් තමන් දිහා බලාගෙන ඉන්නවා කියලා තරිඳු දැක්කේ එතකොට. යාලුවන්ගේ සාද වලදී කීප සැරයක්ම මුණ ගැහිලා කතා බහ කරපු මධූෂා කියන්නේ දෙපාරක් හැරිලා බලන්න හිතෙන තරුණියක් වගේම මිතුරන් කතා වෙන විදිහට හොඳ ගතිගුණ තියෙන තරුණියක්. මත්පැනින් සප්පායම් වෙලා හිටපු තරිඳුගේ හිතට නානාප්‍රකාර දේවල් එන්න පටන් ගත්තේ ඒ ගැන හිතනකොට 

” මධූෂා දැම්ම ගෙදර යනවද ? ” 

තරිඳු එහෙම ඇහුවේ මධූෂා කෑම බෙදා ගන්න තැනට ගිහිල්ලා

” තව පැයකින් දෙකකින් විතර යනවා ” 

මධූෂා උත්තර දුන්නේ මද හිනාවකින්.ඒ හිනාව ඇතුලේ මොකද්දෝ අහිංසක කමක් ගෑවිලා තියෙනවා කියලා තරිඳුට හිතුනා .මධූෂා කෑම කාල ඉවර වෙනකම් බලාගෙන හිටපු තරිඳු මිතුරන්ගෙන් මිදිලා මධූෂා ඉන්න තැනට ගියා.එතනින් පටන් ගත්ත කතාබහ දුරකථන අංක හුවමාරුවක් වෙනකම්ම ගියේ නොහිතුව විදියට 

ආදරයකින් පරාද වෙලා කිසිම කෙනෙක්ව විශ්වාස කරන්න පුළුවන් තත්ත්වයක නොහිටපු මධූෂා , තරිඳුගේ හොඳම යාළුවෙක් වෙන්න ඒ හැටි කාලයක් ගියේ නැහැ. නිතර නිතර සිදුවෙන මිතුරු හමුවීම් වලදී මුණගැහෙන්න වගේම , පැය ගණන් කෙරීගෙන යන දුරකථන සංවාද වල නියැලෙන්නන් තරිඳු වගේම මධූෂාත් පුරුදු වුණා

” ඔයාට කතා කරන එක දැන් මට පුරුද්දට ගිහිල්ලා. මෙහෙම ගිහින් ඔයාට මාව වදයක් වෙයිද දන්නේ නෑ ” 

දවසක් තරිඳු කිව්වෙ හිනා වෙවී

” මට කිසිම වදයක් නෑ.ඔයා ඕනම වෙලාවක කතා කරන්න ” 

කාගෙවත් හිත රිද්දන්න අකමැති වුණ මදූෂා ගේ උත්තරේ වුනේ ඒක. තරිඳුගේ ඇමතුමක් එනකම් තමන් මග බලාගෙන ඉන්න බව මධූෂා ට වැටහෙන්න පටන් ගත්තේ ඒ අතරෙදි 

” සමහර දේවල් අපි අයිතිකර ගන්න හදනකොට අපිට ඒ දේවල් නැති වෙනවා ” 

දුරකථන ඇමතුමක් අතරතුර දී තරිඳු කිව්ව ඒ කතාව මධූෂා ට මතක් උනා. කා අතරත් හිත දිනාගෙන හිටපු තරිඳු ගේ හොඳ ගතිගුණ ගැන තියෙන පැහැදීම ආදරයක් බවට පෙරලීගෙන එනවා කියලා මධූෂා ට හිතුනා.

දවස පටන් ගන්නකොට වගේම දවස අවසාන වෙනකොටත් තරිඳුගේ කටහඬ අහන්න මධූෂා ආස කලා. තරිඳුගෙන් ඇමතුමක් නොඑන වෙලාවල් වලට හිත රිදෙනවා කියලාත් ඇයට දැනුනා

මධූෂා තමන්ගේ හිතට දැනෙන දේ හොදම මිතුරිය වුන අපූර්වා එක්ක කිව්වා

” මතකයි නේද එකපාරක් උනදේ ? ඒ නිසා පරිස්සමෙන් මධූ ”  

 මදූෂා නිහඬව හිටියේ කියන්නේ මොනවද කියල හිතාගන්න බැරිව 

” අපි දන්නෙ නෑනෙ තරිඳුගේ හිතේ ඔයා ගැන අදහසක් තියෙනවද නැද්ද කියලා . සමහරවිට එයා නිකන් කාලෙ කන්න ඔයා එක්ක කතා කරනවා වෙන්නත් පුළුවන් , නැත්තං ඇත්තටම ඔයා ගැන අදහසක් තියෙන නිසා වෙන්නත් පුළුවන් ” 

” එහෙම වෙන්න පුළුවන්ද ? ” 

මධූෂා කල්පනා කලා. ඊට පස්සේ තරිඳුගෙන් ඇමතුමක් එනකොටත් ඇයට දැනුනේ තිගැස්මක්

” ඔයා හරි අමුතුයි . මොකක් හරි ප්‍රශ්නයක්ද මධූෂා ? ” 

” එහෙම දෙයක් නෑ තරිඳු ” 

ඇත්තටම දෙන්න ඕන උත්තර ඒක නෙමෙයි උනත් මධූෂා ඉවසීමෙන් උත්තර දුන්නා.පැය ගණන් කෙරීගෙන යන දුරකථන සංවාද අවසාන වෙනකොට තරිඳු ගැන අලුත් බලාපොරොත්තුවක් හිතට එකතු වෙන හැටි මදූෂාට තේරුම් ගියා. තරිඳුගේ සමාජශීලි බව , දඩබ්බරකම් ඇතුලෙ හැංගිලා තියෙන ආදරණීය බවට මදූෂා ඕනෑවටත් වඩා ආදරේ කලා.

” ඔයා මේක තරිඳුට කෙලින්ම කියන්න.එයාට කෙල්ලෙකුත් නැති එකේ ඔයාට අකමැති වෙන එකක් නෑ මදූ ” 

අපූර්වා කිව්වේ එහෙම. ඒත් ආදරය ප්‍රකාශ කරන්න ගැහැණු ළමයෙක් ඉස්සර නොවෙන එක සම්මතයක් නෙමෙයි කියලා මදූෂාගෙ හිත කිව්වා

” ඔයාගේ හිතේ මදූෂා ගැන විශේෂ දෙයක් තියෙනවා ද ? ” 

මිතුරු හමුවීමක දී තරිඳු , මදූෂාත් අපූර්වාත් ඉන්න තැනට ආවම අපූර්වා ඉස්සර උනේ තමන්ගේ මිතුරිය ඒකපාර්ශවික ප්‍රේමයක් හිතේ තියාගෙන රහසේම විඳවන බව දන්න නිසා 

” එහෙම දෙයක් නෑ අපූර්වා ! ” 

තරිඳුගේ උත්තරය වුනේ ඒක.ඒ උත්තරයෙන් මදූෂා තිගැස්සුනා.ඒත් ඒ බවක් නොපෙන්වා ඉන්න ඇය උත්සාහ කළා.අපූර්වාට තමන්ගේ මිතුරිය ගැන දැනුනේ දුකක් 

” ජීවිතය සමහර කාලය ගෙවා ගන්න අපි ගාවට එන මිනිසුන්ට සදාකාලික නවාතැනක් වෙන්න හිතන්න හොඳ නැහැ මදූ ” 

තරිඳු තමන්ගේ මිතුරන් පිරිසට එකතු වෙන්න ගියාට පස්සේ අපූර්වා කිව්වෙ එහෙම.

” මං වගේ හැමදේම සැහැල්ලුවෙන් හිතන කෙනෙක් ඔයාට ගැලපෙන්නෙ නෑ මදූෂා. ඔයා වගේ ආදරේ කරන කෙනෙක්ව අයිති වෙන්න ඕනේ මට වඩා හොද කෙනෙක් ට  ” 

ඊළඟ දුරකථන ඇමැතුමේදී තරිඳු කිව්වෙ එහෙම.

” හ්ම් ! ” 

ඊට පස්සේ දවසේ ඉඳලා තරිඳුගෙන් ඇමතුම් අඩු වෙනකොට ඇත්තටම තමන් හිත හදාගන්න ඕනේ කියලා මදූෂා හිතුවේ ආදරය කරන හැම දෙයක්ම හිමි වෙන්නේ නැති බව මතක් කර ගන්න ගමන්

” තරිඳුට එයාගේ පරණ ගර්ල්ව ආයේ සෙට් වෙලා ” 

තවත් දවසක අපූර්වා ඇවිත් කියද්දි මදූෂාගේ හිත යන්තමින් රිදුනත් ඒ බව නොපෙන්වා ඉන්න මදූෂා උත්සහ කලා

” ඔයිට වඩා දේවල් ඔයාට ඔයාගේ ලයිෆ් එකේ නැතිවෙලා තියෙනකොට මේක හරිම පොඩි දෙයක් විතරයි කියලා හිත හදාගන්න මදූ ” 

අපූර්වා ඇහෙන නෑහෙන ගානට කියනකොට මදූෂා සුසුමකින් හිතට දැනුන බර පිට කර ගත්තා.

ඊට පස්සේ තරිඳුව මුණගැහෙන්න පුළුවන් හැම තැනකටම නොයා ඉන්නත් , ඔහුට ඇමතුමක් හෝ නොදී ඉන්නත් , ඔහු ගැන විස්තර හොයන්නෙ නැතුව ඉන්නත් මදූෂා වග බලා ගත්තා. මාස ගාණක් ඒ විදියට ගත වෙලා යනකොට ආපහු පරණ විදියටම ඉන්න මදූෂාට පුළුවන් උනේ එහෙම

” තරිඳු ඔයාව හොයනවා ” 

දවසක් හදිසියේම අපූර්වා ඇමතුමක් දීලා කිව්වා.

” එයා කිව්වා ඔයා එයාගේ කිසිම කෝල් එකක් ආන්සර් කරන්නෙවත් මැසේජ් එකකට රිප්ලයි කරන්නෙවත් නෑ කියලා. අඩුම ගානේ එයා ඉන්න තැනකටවත් ඔයා එන්නෙ නෑ කියලා එයා කියනවා ” 

” ඉතින් එයාට කියන්න, තවත් අපිට කතා කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැනෙ අපූර්වා ” 

” මම හිතන්නේ එයාට ඔයාට මොනවා හරි කියන්න තියෙනවා. නිකමට කතා කරලා බලන්න මදූ. මිනිස්සුත් එක්ක තරහ මරහ තියාගන්න ඕන නැහැනේ ” 

අපූර්වා කියපු දේ ගැන ගොඩක් වෙලා කල්පනා කරපු මදූෂා අන්තිමේදී තරිඳුට ඇමතුමක් ගත්තා .

” මම දන්නව මගේ අතින් වැරද්දක් උනා කියලා. සචිනි මගේ ජීවිතේට ආපහු ආවට කලින් වතාවෙදි වගේම එයා ටික දවසක් ඉඳලා යන්න ගියා ” 

තරිඳු කියද්දි මදූෂා වචනයක් වත් නොකියා නිහඬවම හිටියා.

” මදූෂා ? අපිට බැරිද අර ඉස්සර වගේම ඉන්න ? ” 

තමන් ගැන කිසිම හැඟීමක් හිතේ නැහැ කියපු තරිඳු ඒ විදියට අහද්දිත් මදුෂා නිරුත්තර වුණා

” මට ඔයාට එහෙම නොකර ඉන්න තිබුණා. සචිනි මට එකපාරක් කරපු දේ ආයේ පාරක් කරයි කියලා මට හිතන්න තිබුණා ” 

” ඔයත් මට එකපාරක් කරපු දේ ආයේ පාරක් නොකරයි කියලා මම හිතන්නේ නැතුව ඉන්නේ කොහොමද තරිඳු ? මේ කතාව අපි මෙතනින් නතර කරමු. මං කැමතියි අපි අතරේ තරහක් තියාගන්නෙ නැතුව ඉන්න ” 

එහෙම කියපු මදූෂා දුරකථන ඇමතුම අවසන් කළේ තරිඳුට හිතන්න තවත් යමක් ඉතුරු කරලා. 

More Stories

Don't Miss


Latest Articles