සිරුරට ගුණදායක සුදුලූණු ව්‍යංජනයක්, වෙනස් රසට හදමු…

සුදුළූණු කියන්නෙ ආසියාතික රටවල් බොහොමයක මුළුතැන්ගෙයි දශක ගණනාවක ඉදන් සුලභව දකින්න ලබෙන එළවළුවක් කියල අපි ඔබට මතක් කරල දෙන්න අවශ්‍ය වෙන්නෙ නෑනෙ. 

සුදුළූණු වල සුවඳ සහ ඖෂධීය ගුණ නිසා සුදුළූණු කුළුබඩුවක් සහ ඖෂධයක් ලෙස බොහෝ දෙනා හඳුනාගත්තත් ඇත්තෙන්ම සුදුළූණු එළවළුවක් බව තමයි පර්‍යේෂකයන් සඳහන් කරන්නේ. 

පොටෑසියම්, කැල්සියම්, මැග්නීසියම්, පොස්පරස්, මැංගනීස්, කොපර්, සින්ක්, ෆෙරම්, විටමින් A.E,K, ෆෝලේට් වගේ පෝෂ්‍ය පදාර්ථ වලින් සංතෘප්ත සුදුළූණු, 

අපේ ශරීරයේ කොලෙස්ට්‍රෝල් මට්ටම අඩුකරන්න, 

ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් කරන්න, 

හෘදයේ නීරෝගී පැවැත්මට, 

පිළිකා ඇතිවීමේ අවදානම අඩු කරන්න, 

මොළයේ මනා ක්‍රියාකාරීත්වයට, 

සම නීරෝගී කරන්න, 

රුධිරයේ සීනි මට්ටම අඩුකරන්න, 

සිරුරේ බර අඩු කරන්න වගේම ආහාර ජීර්ණ ක්‍රියාවලිය ක්‍රමවත්ව සිදු කිරීමටත් ලබාදෙන්නෙ හොඳ උදව්වක්. 

මේ නිසාම අද වෙද්දි ලෝකය පුරාම රස සහ සුවඳ කාරකයක් ලෙස සුදුළූණු භාවිතා කරනව අපිට දැකගන්න පුළුවන්. 

සුදුළූණු වල තියෙන මේ පෝෂක ආරක්ෂා කරගනිමින් රසවත් විදිහට සුදුළූණු ව්‍යාංජනයක් හදාගන්නෙ කොහොමද කියල ඔබට කියල දෙන්නයි අපි අද සූදානම් වෙන්නෙ. 

එහෙනම් මුලින්ම බලමු අපිට අවශ්‍ය කළමණා මොනවද කියල? 

අවශ්‍ය ද්‍රව්‍ය

පොතු ඉවත්කර සෝදා පිරිසිදු කරගත් සුදුළූණු 250 g ක් 

පළාගත් අමු මිරිස් කරල් 04 ක් 

පොතු ඉවත්කර සෝදා පිරිසිදු කරගත් රතුළූණු ගෙඩි 05 ක් 

උම්බලකඩ මේස හැඳි 04 ක් 

කරපිංචා ඉත්තක කොළ 

රම්පෙ කැබැල්ලක් 

දියකිරි අඬු කෝප්ප 01 ක් 

මිටිකිරි අඬු කෝප්ප ¾ ක් 

උළුහාල් තේ හැඳි 01 ක් 

කහ කුඩු තේ හැඳි ½ ක් 

මිරිස් කුඩු තේ හැන්ඳක් 

අමු තුනපහ කුඩු තේ හැඳි 02 ක් 

ලුණු කුඩු 

අමු සූදුරු කුඩු (අත්‍යාවශ්‍යම නැත) 

සාදාගන්නා ආකාරය 

මුලින්ම උයන භාජනයක් ගෙන එයට සුදුළූණු ටික එකතු කරගන්න. 

එක් එක් ප්‍රමාණවල සුදුළූණු බික් තිබේ නම් ලොකු සුදුළූණු දෙකට කපා එක සමාන ප්‍රමාණයට සකසා ගන්න ඔබට පුළුවන්. 

එයට මිරිස් කුඩු, කහ කුඩු, රස අනුව ලුණු සහ දියකිරි එකතු කර හොඳින් කලවම් කරගන්න. 

දැන් මේ භාජනය ලිප තබා භාජනයේ පියන වසා සුදුළූණු ටික මද ගින්නෙ තැම්බෙන්නට තබන්න. 

සුදුළූණු හොඳින් තැම්බුනු පසු අමු තුනපහ කුඩු, උම්බලකඩ, උළුහාල්, රතුළූණු, රම්පෙ, කරපිංචා සහ අමු මිරිස් සහ මිටිකිරි එක්කර හොඳින් කලවම් කරගන්න. 

හොඳින් හැඳිගාමින් පොල්කිරි හොඳින් පැහෙමින් (නටමින්) උකුවෙන තුරු තබාගන්න. 

පොල්කිරි පැසුනු පසු ව්‍යාංජනය ලිපෙන් ඉවත් කර විනාඩියක් දෙකක් පමණ හැඳි ගා ගන්න. 

එවිට කිරි කටි ගැසීම වළක්වා ගන්න ඔබට පුළුවන්. 

හැඳි ගා ගෙන අවසන් වූ පසු උඩින් අමු සූදුරු කුඩු ඉසගැනීමෙන් සුදුළූණු ව්‍යාංජනයේ රස, සුවඳ දෙගුණ කරගන්නත් ඔබට පුළුවන්. 

ඔන්න අපි රස, ගුණ, සුවඳ පිරුණු සුදුළූණු ව්‍යාංජනයක් සාදාගෙන අවසානයි. 

මේ වගේම පෝෂණය වගේම රස පිරුණු තවත් රසවත් කෑමක් එක්ක නැවත ඔබව හමුවෙන බලාපොරොත්තුවෙන් අපි සමුගන්නවා. 

රසට කන්න – සුවෙන් ඉන්න !

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles