බෑණාවරු..

“දොස්තර කෙනෙක් හරි ඉන්ජිනියර් කෙනෙක් හරි බඳින්න කියල තමයි මම අපේ ළමයින්ට කියල තියෙන්නෙ. වෙන රස්සාවල් වලින් කොච්චර හම්බ කරත් පිලිගැනීම තියෙන රස්සාවල් තියෙන්නෙ කීයෙන් කීයද?

ඩොක්ටර් කෙනෙක් කිව්වම ඕනම තැනක පිලිගන්නවනෙ”

ලොකු නැන්දා ගෙ සුපුරුදු තැටිය ඉතින් හැමදාම වගේ අදත් වාදනය වෙන්න පටන් ගත්ත. විශේෂයෙන්ම මධූකා කසාද බැඳල ඉන්න රූමන්තව දැක්කම තමයි ඔය තැටිය වෙනදටත් වඩා හයියෙන් වාදනය වෙන්නෙ.

මධූකයි රූමන්තයි ඉස්කෝලෙ යන කාලෙ ඉඳන් යාලුවෙලා හිටපු ජෝඩුව. එච්චර කල් හොඳට යාලුවෙලා ඉඳපු කොල්ල දොස්තර කෙනෙක් නොවුනය කියල කසාඳ බඳින්න එපා කියන්නෙ කොහොමද කියල අම්මා අහන හැම වාරයක් පාසෙම ඔය කතාවම කියන්න ලොකු නැන්ද දෙපාරක් හිතුවෙ නෑ.

“ඔය කම්පියුටර් අතගාන ඒව හරිහමං රස්සාවල්ද කියන්නකො. ඩොක්ටර් කෙනෙක් කිව්වම එහෙමද බයෝ කරල කොච්චර අමාරුවෙන්ද කැම්පස් එකකට සිලෙක්ට් වෙන්නෙ. කම්පියුටර් ඒව එහෙමද? සල්ලි දීල උනත් ගන්න පුලුවන් ඩිග්‍රි නෙ. අනික ගෙදර ඉඳගෙනම වැඩ කරන්න වෙනවය කියන්නෙ එතනම තේරෙනවනෙ රස්සාවෙ අස්තිර බව”

“නැන්දෙ රූමන්ත වර්ක් ෆ්‍රොම් හෝම් කරන්නෙ එයාගෙ ඔෆිස් එක තියෙන්නෙ ඔස්ට්‍රේලියාවල හන්ද, අපි ඉන්නෙ බැඳල අවුරුද්දකින් විතර එහෙ පදිංචියට යන්න. අනික හැමෝම දොස්තරල වෙන්න ඕන කියල කතාවක් නෑනෙ” කියල මුල් කාලෙ නම් මධූකා ඕවට උත්තර බැඳගෙන ගියාට පස්සෙ පස්සෙ අම්ම කියන ඒව අහල කට වහං ඉන්න මධූකා හිතුවෙ කවුරු මොනව කිව්වත් තමන් සන්තෝසෙන් ඉන්න බව තමන් දන්න හන්ද.

“ඔයා කටවහං ඉන්න පුතේ එයාට ඕන දෙයක් කියන්න දීල. දොස්තර කෙනෙක් නොවුනට රූමන්ත කොච්චර හොඳ දරුවෙක්ද කියල අපි නොදන්නවය. ලොකු නැන්දට ඔව්ව තේරෙන්න පටන් ගන්නෙ සමාලි කොල්ලෙක් එක්ක යාලුවෙච්ච දවසක තමයි”

සමාලි මධූකාට වඩා සෑහෙන බාලයි. හොඳට ඉගෙන ගත්ත කෙල්ල. හැබැයි ඉතින් දූල යන්නෙ අම්මලගෙ ආරෙට කියන්න වගේ පුංචි කාලෙ නම් සමාලිත් පොඩ්ඩක් ඔලුව උදුම්මගෙන හිටියෙ තමන් දොස්තර කෙනෙක් වෙන්නයි ඉන්නෙ කියල.

වෙනස් වෙන්න උනේ සාමාන්‍ය විදියට උසස් පෙල පාස්වෙලා කැම්පස් යන්න පටන් ගත්තයින් පස්සෙ.

“මං හිතන්නෙ සමාලි යාලුවෙලා ඉන්න බෝයි තමයි අර කැම්පස් එකේදි එයාගෙ ෆොටෝ ගන්නෙ”

අම්මා තමයි මුලින්ම ඔය කතාව මධූකාට කිව්වෙ. ෆේස්බුක් එකට ගිහින් බලද්දි සමාලිගෙ ලස්සන පින්තූර හැම එකක්ම යටින්ම පික්චර් ක්‍රෙඩිට්ස් ගිහින් තිබුනෙ එකම නමකට.

හේශන්ත අධිකාරි.

එකම කැම්පස් එකේ එකම බැච් එකේ කොල්ලෙක් වීමටත් වඩා මේ ඉන්නෙ සමාලිගෙ බෝයි ෆ්‍රෙන්ඩ් කියල හැමෝම හේශන්ත ගැන හිතන්න හේතුව වුණේ හැම පින්තූරෙකම සමාලි ලගින් ඒ ළමයම ඉඳපු එක. සමාලිගෙ තනි පින්තූර වල පික්චර් ක්‍රෙඩිට්ස් හේශන්තටයි හේශන්තගෙ තනි පින්තූර වල පික්චර් ක්‍රෙඩිට්ස් සමාලිටයි වෙන්වෙලා තිබුන එක. ඒ විතරක් නෙවෙයි දෙන්නම ඉන්න පින්තූර වල හේශන්ත සමාලි ඉණ වටේ අත දාගෙන ඉඳපු විදිය.

“එහෙම ඉතින් ඉණ වටේ අත දාගෙන ඉඳපු පලියට එයා බෝයි ෆ්‍රෙන්ඩ්ම කියන්න බෑනෙ” කියල අක්කටයි අම්මටයි කිව්වෙ මධූකගෙ නංගි ආලෝකා.

“අනේ ඒ උනාට යාලුවෙක් අත දාගෙන ඉන්න විදියට නෙවෙයි එයා අත දාගෙන ඉන්නෙ. ඔහොම අල්ලගෙන ඉන්නෙ බෝයි ෆ්‍රෙන්ඩ් හරි හස්බන්ඩ් හරි නේද?”

“ලොකු නැන්ද දන්නවද දන්නෙ නෑ සමාලි යාලුයි කියල බෝයි කෙනෙක් එක්ක?”

“ඒ ළමය දොස්තර කෙනෙක් ද?”

“නෑ අනේ සමාලිගෙ යුනි එකේමයි ඒ බැච් එකේමද කොහෙද?”

“එහෙනම් බාගදා සමාලි එක්ක හොඳ අඩව්වක් අල්ලාවි කොල්ල දොස්තර කෙනෙක් නෙවෙයි කියල”

“අපි දන්නෙ නෑ වගෙ ඉමු, එයා එෆ් බී නැති හන්ද කොහොමත් ඕව දකින්නෙ නෑනෙ”

“ඕව ආරංචි නොවී තියෙනවද ළමයො ඒ උනාට?”

කිව්ව විදියටම ලොකු නැන්දට කතාව ආරංචි වෙලා තිබුනෙ යාලුවෙක්ගෙ මාර්ගෙන්. හැබැයි කට්ටිය හිතාගෙන ඉඳපු දේවල් නම් කිසිම දෙයක් උනේ නෑ.

“අපේ සමාලිත් කොල්ලෙක් එක්ක යාලුවෙලානෙ. ශෝක් අනේ, හොඳට ඉගෙන ගෙන. ගෙවල් කුරුණෑගල ලු. අපිට හරි ලේසියි දැන්.නැත්තම් කොහොමද අනේ අපි හොයන්නෙ මෙයාලට ගැලපෙන අය. දැන් කාලෙ ලමයි ඉතින් වෙනස් නෙ. එයාලම හොයාගන්න එක අපිට ලේසියි”

ලොකු නැන්ද ආඩම්බරෙන් හිනා වෙවී ඉද්දි නම් තවදුරටත් කටවහගෙන ඉන්න පුලුවන් කමක් මධූකට තිබ්බෙ නෑ. මෙච්චර කාලයක් රූමන්තට කිව්ව දේවල් වලට දෙපිටින් යන්න අහනව කියලමයි මධූකා කට ඇරියෙ.

“මං හිතුවෙ නැන්ද දොස්තරලව වර්ණනා කර විදියට දොස්තර බෑණෙක්ව හොයයි කියල. ඒ මල්ලි හොඳ නම් නැන්දට රූමන්තත් හොඳ ඇති නේද?

මෙච්චර කල් නැන්දට රූමන්ත හොඳ නොවුනෙ එයා දොස්තර කෙනෙක් නොවිච්ච හන්දනෙ, දැන් ඉතින් ලොකු නැන්දගෙ බෑණයි අපෙ අම්මගෙ බෑණයි දෙන්නම එකම පීල්ලෙනෙ” කියල කියද්දි නම් ලොකු නැන්ද උන්නෙ කට උත්තර නැතුව බව අම්මයි ආලෝකයි මධූකයි නොදැක්ක වගේ උන්නා.

More Stories

Don't Miss


Latest Articles