මහේල අරන්දර අසනීපව සිටින නිසා කාර්යාලයට නොපැමිණෙන බව දන්වා තිබුණි. දවසේ රාජකාරි අවසන් කර මම ඔහුගේ නිවස බලා යන්නට පිටත් වීමි. මහේලගේ අම්මා සහ අක්කා මට ඉතා හිතවත් වූ නිසාත්, මහේලගේ තාත්තා මහේලට වඩා මට ආදරය කරන බව පවසමින් මා ඉතා ආදරයෙ පිලිගෙන තිබූ නිසාත් තනිව වුවද එහි යැමෙහි මට කුකුසක් වූයේ නැත.
මින් පෙර කිහිප වතාවක් පමණක් මහේල සමඟද, සෑහෙන්නම වතාවක් අක්කා සමඟද එහි ගොස් තිබූ නිසා මට නුහුරක් වූයේද නැත.
මහේල අරන්දර අසනීප බව දැන දැනම ඔහු මඟැර සිටීමේ නොහැකියාව ගැන ඔබට යම් ඉඟියක් දැනෙනවා විය යුතුය. එහෙත් මා ඒ මොහොත වනවිටත් එවැන්නක් සිතා තිබුණේ නැත. මහේල අරන්දර අහස නම් මම පොළව බවද, මහේල අරන්දර තරුවක් නම් මම දූවිලි අංශුවක් බවද ලෙසින් පමනක් මම සිතා තිබුණෙමි.
එහෙත්, මෙයද ඔබට පැවසිය යුතුය. මහේල අරන්දර දෑස් මානයේ සිටින මොහොතක දැනෙන කිතිය මින් පෙර විඳ නොතිබුණි. මහේල අරන්දර දකින්නට නැති දවස් වල නොවැටහෙන පාලුවක් මගේ ජීවිතයේ විය. එනිසා මහේල අරන්දර මට මගේ වෘත්තීය ජීවිතය තුළ උස් තැනක සිටින පුද්ගලයකු පමණක්ම වූයේ නැත. එහෙත්, ඉතා උපක්රමශීලීව මම එය එලෙස බව පෙන්වමින් උන්නෙමි.
” අක්කේ..”
මහේලගේ අක්කා මිදුලේදීම හමුවූවාය. මම පැමිණෙන බව කිව් නිසා ඇය මඟ බලමින් උන්නා විය යුතුය.
” සර් අසනීපයි කිව්වා මිසක් මොකද කිව්වේ නෑනේ අක්කේ ? ..අනෙක චෙක් වගයක් තියෙනවා ……..”
“යමුකෝ යමුකෝ … සමහරවිට අසනීප හොඳ වෙයි …”
අක්කා මා තල්ලු කරමින් ගෙතුලට පිවිසියාය. මම වෙනදා පුරුද්දට දකුණු පස බැලුවෙමි. බිත්තියේ අඩක මහේල අරන්දර ගේ සේයාරුව සොයන්නටය. ඔහු හිනැහෙමින් උන්නේය.
නොසන්සුන් කම සඟවා ගැනීම පහසු නැත. එහෙත් කලෙමි. අක්කා මා සාලයේ හිඳුවාගෙන කතාවට වැටුණාය. සවස හයටද කිට්ටු වෙන්නට එලැඹෙමින් තිබුණි. එහෙත් පැම්ණි මහේල කෙනෙක් නැත. ඇතැම්විට වෛද්‍ය ප්‍රතිකාර වෙනුවෙන් පිටත්ව ගොස් වෙන්නට ඇතැයි මම සිතුවෙමි.
රැය එළඹෙන්නට පෙර නිවෙසට යා යුතුය. ඒත් අක්කාගෙන් ඉඩක් ලැබුනේ නැත. ඇය සමඟ සාදයකට යන්නට සූදානම් වන්නයැයි ඉල්ලුවාය. ඇඳුමක්ද දුන්නාය. කොණ්ඩය සැකසුවාය.
” ඔහොමම රූෆ් ටොප් එකට යන්නකෝ.. කොෆී එකක් බීලාම යමු.. ඕවට ගියාට කන්න වෙන්නේ මිඩ් නයිට් …”
හතට කිට්ටු වෙද්දී ඕ මා උඩු මහල දෙසට තල්ලු කලාය.
ඉන් පසු සිදුවූ කිසිවක් විස්තර කරන්නට තරම් මනස්කාන්ත වචන මා දන්නේ නැත. එනිසාම ඒ සිදුවීම විස්තර කිරීමට උත්සාහ කිරීමෙන් එහි වූ ප්‍රහර්ශණීය බව බිඳී යාම සිදුවේ. එහෙත්, ඉතා සරලව හෝ එය ඔබට නොපවසාද බැරිය.
මහේල අරන්දර ගේ නිවසේ උඩු මහලේ විවෘත කොටස සාදයක සිරියෙන් සරසා තිබුණි. මා ඇතුලු වෙද්දීම කොහෙන්දෝ ආ මල් වෙඩි අහසට විසි වුණේය. ඒවා පිපිරුණේය. විදුලි පහන් වල ආලෝකය වෙනස් වූයේය.
” මැරි මී ගර්ල් ?”
මා අසල බිම දණ නවා උන් මහේල අරන්දර ය මම උන්නේ ඔහුව දෙවෙනිව දුටු මොහොතටත් වඩා තිගැස්සී යමිනි. අත්පොලොසන් හඩ , මල්වෙඩි අස්සෙන් ඇසුණි.
” ඔය අත දෙනවකෝ.. කකුල් දෙක රිදෙනවා…”
මෘදු මුදු පොරොන්දුවකින් ඔහු මගේ ජීවිතය ඒ සොඳුරු නිවෙස්න තුළට බැඳ ගත්තේය. සියල්ලන්ම ඉදිරියේ මගේ නළලද, දෙකොපුල්ද ඉම්බේය. අක්කා ඉතා උද්දාමයට පත් හඬකින් කෑ ගසනු ඇසිණි.
ඉන් පසුව සිදුවූ සියල්ල මගේ මතකයේ ඇත්තේ කඳුලු අතරිනි. පැය දෙකකටත් වැඩිපුර වෙලා මම මහේල අරන්දර ගේ උරිස්සේ හිස තියාගෙන හැඬුවෙමි.
” ඔයා පව් … මම ඔයාට ගැලපෙන කෙනෙක් නෙවෙයි …”
මට එලෙසින් නොකියා සිට්න්නට තිබුනියැයි සිතුණේ ඉන් පසුව මහේල අරන්දර ගෙ යක්ශාවේශය දුටු පසුය. ඒ හඬට පහල තට්ටුවේ උන් අම්මලා සහ ඔහුගේ සමීප මිතුරන් කිහිප දෙනාද යලි පෙරළා රූෆ් ටොප් එකට ආහ.
” මොකෝ බං…”
මැදියමට එළඹෙමින් තිබියදී එහී වූ සැරසිලි ඔහේ කඩා බිඳ දමන මහේල දෙස හඬමින් බලා සිටින මගේ දසුනින් සියල්ලන්ම භීතියට පත්ව සිටි බවත් මට අමතක නොවේ. අම්මාත් අක්කාත් මා අසලින් හිඳ ගත්තේ මගේ පවුල යන්න කෙතරම් උණුසුම් දැයි මට දැනෙන්නට හරිමිනි
” මඟුලක් කියවනවනේ බං…”
මහේල මිතුරන් මතින්ද කෝපය යැව්වේය. මට නැගිටගන්නට හෝ පණක් වූයේ නැත
” නංගීවත් එක්කන් පහලට එන්න .. කාලා ඉමු…”
මහේලගේ කෝපය නිවෙන්නේ නැති බව වටහා ගත් අක්කා එලෙස පවසමින් අනෙක් පිරිසද කැටුව පහලට බැස්සාය.
මහේල මා අසලට හෝ ආවේ නැත. ඔහු උන්නේ කෙටි බිත්තියට දෑතින්ම බර වී අහස දෙස බලාගෙනය.
මම ඔහුගේ දෙපා අසල බිම හිඳ ගත්තෙමි
ඔහු වහා මා නැගිටුවා ගත්තේය.
“එපා වෙන්නේ නැද්ද ළමයෝ.. එක එකාට පෑගෙන්න … “
” එක එකාට නෙවෙයි නේ… ඔයාට නේ…”
මම ඉස්සී ඔහුගේ ඇස් වලටම එබී කීවෙමි. ඉතින්, සංසාරයටම අලෙන්නට තරම් මැලියම් ඒ ඇස් වල විය. ඇතැම් විට මහේල අරන්දර මට ප්‍රේම කරනවාට වඩා ප්‍රේමයක් මම ඔහුට කරනවායැයි මට එවෙලෙහි නිකමට සිතුණි.
මහේල අරන්දර පුදුමාකාර තරමේ සුන්දර සිනහවක් මා වෙතට වැට්ටුවේය.
” මට උනත් පෑගෙන්න එපා.. මං එහෙම ආස නෑ….ඔයා එහෙම වෙන්න ඕනි කෙල්ලෙක් නෙවෙයි …”
මහේල පහත් හඬින් කීවේය. මම සිනසුනෙමි.
” එළි පහලියේදී මට පේන්න ඔහොම තොල් හපාගෙන හිනාවෙන්න එපා අසේකා.. මට අල්ලලා ගිලින්න හිතෙනවා…”
මහේල අරන්දර අයිතිවාසිකම් කීමද ඇරබුවේය.
” මට හීනයක් වගේ සර්…”
මට ඉබේටම කියවුණි.
මහේල මහ හඬින් සිනාසුනේය. කඳුලු පනින් තුරු සිනාසුනේය.
” සර්.. සුජීව ප්‍රසන්න ආරච්චි ගේ නවල් වල නේද ඉන්නේ කොල්ලට සර් කියන කෙල්ලෝ…””
“කාගේ නවල් වලද දන් නැ…ඒත් එහෙම කියන්න වෙන්නේ සර්ලා කෙල්ලන්ට මෙහෙම ආදරේ කරන්න ගත්තම…”
අපි එතැනම හිඳගෙන කියවමින් උන්නෙමු . අක්කා අපට් නූඩ්ල්ස් පිඟානක් ගෙනැවිත් දුන්නාය.
” අනෙක් හැමදේම අමතක කරන්න අසේකා … මගේ දිහා විතරක් බලාගෙන ඉන්න .. ෆෝකස් ඔන් මී… ඔයාගේ අම්මා අය්යා,තාත්තා .. ඒ හැමෝවම මගේ ෆෝකස් එකට දෙන්න ….”
ඔහු සියල්ල අවසානයේ එලෙස කීවේය.
| අපේක්ෂා ගුණරත්න |