ගෙයක් හදන්න ඉඩමක් තෝරා ගන්නේ මෙහෙමයි.

නිවසක් කියන්නේ අලුතෙන් ජීවිතය පටන් ගන්න හැම යුවලකගේම සිහිනයක්. ගෙයක් හදන්න පටන් ගන්න කලින් අපි සැලකිලිමත් වෙන්න ඕනෑ කාරණා බොහොමයක් තියෙනවා. නිවසක් කියන්නේ දිගු කාලීන ආයෝජනයක් නිසා එය කිසිසේත්ම ආවාට ගියාට කළ යුත්තක් නෙවෙයි.

මේ ගැන ඔබට පිළිවෙලකට විස්තර කරන්න අපි හිතුවා. මේ ඒ ලිපි මාලාවේ පළමුවැන්න. අපි මේ ලිපියෙන් කතා කරන්නේ නිවසක් සෑදීමට කලින් ඔබ හිතන්න ඕනෑ මූලික කාරණාව ගැන. ඒ ඉඩමක් තෝරා ගැනීම ගැන.

ඉඩමේ පාංශු ස්වභාවය

පහුගිය දිනවල අසන්නට ලැබුණු ඛේදවාචක නිසා ඔබ නිවසක් හදන ඉඩම තෝරා ගනිද්දී එය ආරක්ෂිත ස්ථානයක් ද කියලා මුලින්ම තහවුරු කර ගන්න. අනාරක්ෂිත ගොඩනැගිලි තිබෙනවාද, ඉඩම ගොඩ කර තැනූ ඉඩමක් ද කියන එක තහවුරු කර ගන්න. එවැනි ඉඩමක් ගිලා බැසීම් තර්ජන වලට ලක් වෙන්න පුලුවන්. ඒ වගේම ඉඩමේ පාංශු තත්වය ගැනත් සැලකිලිමත් වීම වැදගත්.මැටි, රොන්මඩ සහ සිහින් වැලි වැනි අඩු ධාරිතාවයකින් යුත් පස් වර්ග ඇති ඉඩමක අත්තිවාරම සඳහා ලොකු මුදලක් වැය වෙන්න පුලුවන්.බොරළු හා පාෂාණ සහිත ශක්තිමත් පසක් ඇති ඉඩමක් ඔබේ අත්තිවාරමේ පිරිවැයෙන් සැලකිය යුතු මුදලක් ඉතිරි කර දෙනවා.

ඉඩමේ මිල

ඔබ ඉඩම මිලදී ගැනීමට අපේක්ෂා කරන ප්‍රදේශයේ අනෙකුත් ඉඩම් වල මිල ගණන් ගැන අවබෝධය ලබා ගන්න. ප්‍රදේශයේ මිලට සාපේක්ෂව ඉඩමේ මිල අඩු වීමත් විශේෂයෙන් සැලකිලිමත් විය යුතු කාරණයක්…
හදිසියේ සොයා බැලීමකින් තොරව වැඩි මුදලක් ගෙවා ඉඩම් මිලදී ගන්න යාමත් එතරම් සුදුසු නැහැ. ඒ නිසා සංසන්දනය කර බලා තීරණයක් ගන්න.

නිවසේ සැලසුමට ගැලපෙනවා ද?

ඒ වගේම ඒ ඉඩම ඔබේ නිවාස සැලසුමට ගැළපෙනවා ද කියන එකත් සොයා බලන්න. ඉඩමේ හැඩය නිවසක් ඉදි කිරීම කෙරෙහි සෘජුවම බලපානවා. විවිධ හැඩ සහිත ඉඩමක ඇතැම් විට ඒ හැඩයට ගැලපෙන්නට නිවෙස් ඉදි කිරීමට යාම වියදම් අධික වීමක්.නිවසක් ඉදි කිරීමට පහසුම ඉඩමක් වන්නේ සමචතුරශ්‍ර හැඩයේ ඉඩමක්. ඒ නිසා ඉඩම මිලදී ගන්නා විටම ගෘහ නිර්මාණ ශිල්පියකුගේ සහය ගන්න පුලුවන් නම් ඔබේ සිහින නිවස සෑදීමට ඒ භූමිය ගැලපෙනවාද කියන එක සාකච්ඡා කරන්න පුලුවන්. ඉඩම් වල හැඩය විවිධාකාරයි. වාස්තු විද්‍යාව ගැන විශ්වාසයක් තිබේ නම් ඒවා ගැනත් සිතිය යුතු වෙනවා.

ඔප්පු වල නිරවුල් භාවය.

ඔබ මිලදී ගැනීමට අපේක්ෂා කරන ඉඩමේ මුල් අයිතිකරුවන් ගැන සොයා බලන්න. නිසි පරිදි නොබෙදූ ඉඩම් මිලදී ගැනීමේ දී කල්පනාකාරී විය යුත්තේ පසුකාලීනව ඉඩමේ හිමිකම් හා මායිම් පිලිබඳ නඩු කටයුතුවලට වුනත් පැටලීමේ ඉඩකඩක් තිබෙන නිසයි.නීතිඥවරයෙකු හරහා ඉඩමේ ලියකියවිලි නිත්‍යානුකුලදැයි පරික්ෂා කර බලන්න.
ඉඩම ඔබට පවරන මොහොතේදීත් නීතිඥ සහාය ලබා ගන්න.
ඒ වගේම තමයි ඔබේ ඉඩම වටා ප්‍රධාන මාර්ග කීපයක් තියෙනවා නම්, මාර්ග කීපයකින් ඔබේ ඉඩම වට වෙලා නම් නිවස ඉදි කිරීමේදී ගැටළු ඇති වෙන්න පුලුවන්.

ප්‍රදේශයේ ස්වභාවය සහ ඉඩමේ ඉතිහාසය.

ගංවතුරට හසු වූ ඉඩමක්, නැවතත් ගංවතුර උවදුරකට හසු වීමේ අවදානමක් තිබෙනවා. කාලෙකට කලින් නාය යෑමට ලක් වුනු ප්‍රදේශයක් නැවතත් නාය යෑමකට ලක් විය හැකියි. 

අනිත් කාරණාව ප්‍රදේශයේ ස්වභාවය ගැන තීරණය කර අසල්වැසියන් ගැන අවබෝධයක් ලබා ගැනීම, පාසල් සහ මූලික අවශ්‍යතා වලට ඇති දුර, බස් කාලසටහන් සහ ඔබේ රැකියා ස්ථාන වලට ඇති දුර ගැන අවබෝධයක් ගැනීමත් වැදගත්.

Related Articles

Don't Miss


Latest Articles