ප්‍රේමයේ මන්දහාසිනි 13

මා රෝහලෙන් කැටුව යන්නට මහේල පැමිණියේ සවස හයට පමණය. 

ඔහුගේ මුහුණෙහි වූයේ විඩාවකි. වේදනාවක්ද නොවූවා නොවේ. 

” යමු … “

ඔහු මා ඔසවා රෝද පුටුවේ තිව්වේය. මට ඇවිද  යා හැකිවුවද මහේල මා අසලින් එලෙස දැවටෙනවාට රිසි වීමි. එනිසා ඔහුට රිසි පරිදි සියල්ල කරන්න ඉඩ දී බලා උන්නෙමි. 

මහේල අරන්දර ට හිමි විසල් රථයක පිටුපස අසුනට මා බර කෙරුණි. අනෙක් පසින් ඔහුද ගොඩ වූයේය.

” යමු බං…”

මා නොදන්න අයෙකු රියැදුරු අසුනේ හිඳ උන්නේය. ඔහු  ඉදිරිපස  කණ්නාඩිය මා වෙත හරවා වඩා හොඳින් මා දෙස බැලුවේය.

” තාමත් එහෙමයි කිසි වෙනසක් නෑ නේද බං …?”

ඔහු ඉන් පසුව විමසුවේය.  මහේල එයට කිසිත් කීවේ නැත.

“ආන්ටිලා මොකක් කියාවිද බං ..?”.

” දන් නෑ .. කිව්වේ නෑ…”

” අර බඩ්ඩ මොකක් කියාවිද ?”

” කට වහගෙන යමංකෝ … මගේ මේ ඔලුව තෝන්තු වෙලා ඉන්න වෙලේ උඹත් කියවන්නේ නැතුව…”

“මං බං උඹට එදා  උඩ පැනගෙන දඟලනකොටම  කිව්වා උඹේ පැත්තේ කතාව වගේම ඒකිගේ පැත්තේ කතාවත් අහපං කියලා .. .  උඹ මොකක් ද කිව්වේ ? උඹට මතකනේ කිව්ව එව්වා..   උඹ ගියාට පස්සේත් මම ආයේ ආයේ උඹට කිව්වා හදිසි නොවී හිටපං කියලා .. ඒත් උඹ මොකක් ද කලේ ? පලිගන්න ඕනි වුණා… උඹට කලාට කරන්න ඕනි වුණා…. දැන් දැක්කනේ… පෙනුනානේ… ?”

මට ඉමක් කොනක් අගක් මුලක් කිසිවක් වැටහුණේ නැත.  මම ඔහේ බලාඋන්නෙමි.

” කට වහගෙන යමංකෝ තිලංක…”

මම තිගැස්සුණි. දෙවියනේ ; මේ තිලංක අය්‍ යාය. එසේනම් මේ ඔහුය. මම මින් පෙර ඔබට ඔහු පිළිබඳව පැවසූවාදැයි මට මතක නැත. එහෙත් මා ඔබ හා බෙදාගන්නා අතීත කතාවේ තිලංක අය් යා ප්‍රධාන චරිතයක් ව උන්නේය. 

“ආහ්… නෑනෝ … අඳුනගන්න ටිකක් පරක්කු උනා නේද ? …”

මගේ විමතියෙන් පිරුණු ඇස් දෙස බලා ඔහු ඇසුවේය. මට වචන ගැලපුනේ නැත. මට හැඬුණි. මහේල සහ මම එක්ව උන් කාලයේ තිලංක  අය් යා උන්නේ විදෙස්ගතවය. මට එකම එක වතාවක්වත් ඔහු මුණ ගැසී නොතිබුණි. එහෙත් අප තිදෙනා වට්සැප් ඇමතුම් වල සෑහෙන කල් ගෙවා තිබුණි. ඒ නැතත් මහේලගේ විශ්වාසවන්තම මිතුරා වූයේ ද ඔහු ය. 

” හරි හරි … වෙන්න තියෙන හොඳම විදිය මේක කියලා හිතමු …” 

 ” වෙන්න තියෙන හොඳම විදිය මේක නෙවෙයි බං … තව ටික කාලයක් ඕනි මට ….. ” 

” අනේ මහේල මේ …” 

ඉන් පසු දෙදෙනාම නිහඬ වූහ. මම අසුනට හිස තබා ගත්තෙමි. 

මහේල මා අල්ලාගෙන වාහනයෙන් බැස්සවූයේය. අප පැමිණ උන්නේ සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයකටය.  අනතුරුව විදුලි සොපානයෙන් අප විසි එක් වෙනි මහලට පැමිණියෙමු.  තිලංක අය් යා ඉස්සර වූයේය. අනතුරුව ඔහු කාමරයක දොරක් විවෘත කලේය. මහේල මා අල්ලාගෙන ඒ කාමරය තුළට ඇතුළු වූයේය 

සමාවෙන්නයැයි ඔබට පවසන්නට සිදුවේ. එය කාමරයක් නොවේය. එය නිවෙසකි. 

තිලංක අය් යා සමුදී තිබුණි. මහේල මට අසුනක හිඳගන්නට ඉඩ සැදුවේය. අනතුරුව ශීත කරන ලද කිරි වීදුරුවක් ගෙනැවිත් දුන්නේය. 

ඔහු මෙහෙම හැසිරෙන්නේ කුමක් නිසාදැයි මට තවම වැටහෙන්නේ නැත.  ඇතැම් විට මට ගැස්ට්‍රයිටිස් වැඩි වූයේ ඔහු සමඟ සාකච්ඡාව වෙනුවෙන්  කලබලයේ දිව ආ නිසාවෙන් යැයි ඔහු සිතනවා  විය හැක. එනිසා මගේ සෞඛ්‍ය තත්වය ගැන වද වෙනවා විය හැක. 

” මං කොහෙද රෑට ඉන්නේ ?”

සති දෙකක පමණ කාලයක් ඔහු සමඟ වෙසෙන්නට සිදු වන බව සිහියෙන් මම විමසුවෙමි. 

බඩු මලු සකසාගෙන දිව ආයේ ඔහු අප සමුගන්නට පෙර වූ ප්‍රේමයෙන් මා වැලඳගන්නට උත්සාහ කරනවා විය යුතුයැයි සිතමිනි. එහෙත්, ඔහු පැවසූයේ චොකලට් ව්‍යාපාරයක් පිළිබඳව ය.  

ඔහු ජීවත් වන්නේ සියල්ල අමතකව ගොස් ඇති පරිද්දෙනි. මා සිප ගන්නට හෝ මා නොතකා හිඳිමින් රිදවන්නටවත් ඔහුට අවැසි නොවන වග පෙනේ.  

සය වසකට පෙර මා උමතුවකින් පෙම්කල මහේල අරන්දර සහ මට උමතුවෙන් පෙම්කල මහේල අරන්දර නම් මිනිසා යළි මට හමුවන්නේ නැතිවා විය යුතුය. මේ සිටින මහේල අරන්දර නඩත්තු කරන්නේ අමුතුම ප්‍රතිරූපයකි. ඔහු වටහා ගන්නට හෝ ඉඩක් නොදෙන ප්‍රතිරූපයකි.

” මෙහේ ඉන්නේ ..”

ඔහු කීවේ මගේ බැල්ම ට ඍජුවම නතුවෙමිනි. මම එය වටහා ගන්නට අකමැති වග පෙන්වමින් බල් උන්නෙමි. 

” මෙතන ..?”

“ඔව්… මොකක් හරි ප්‍රශ්නයක් ද?”

“මට බෑ මෙතන ඉන්න … මට එලියෙන් තැනක් ඇරේන්ජ් කරන්න … එහෙම නැත්නම් අපි අර හිටපු හොටෙල් එකේ හරි …” 

එවර මහේල අරන්දර ට හසු වූයේ මගේ නිකටය. ඔහු රිදෙන්නම මිරිකා නිකටින් මා ඔහුවෙත නතු වන සේ අල්ලා උන්නේය.

” දැන් උඹ නටපු කාලේ ඉවරයි අසේකා … මේ මම නටන කාලේ… උඹට තියෙන්නේ මම කියන ගැලරියට වෙලා බලාගෙන ඉන්න  …. “

මම ඔහුගෙන් මිදෙන්නට දැඟලුවෙමි. එහෙත් මහේල පෙර ට වඩා සවිමත් ව වැඩීඋන්නේය. මා දැන උන් යෞවනයා, ශක්තිමත් මිනිසෙක් ව උන්නේය. මට හැඬුණි.

” ඇතිවෙනකල් අඬපං… හැබැයි .. මගේ අවසරයක් නැතුව එලියට බහිනවා නෙවෙය්…”

ඔහු ගුගුලේය. මේ කිනම් හරුපයක්දැයි මට වැටහෙන්නේ නැත ඔබටද එහි වැටහීමක්නැති බව දනිමි. එනිසාම මම ඒ ගැන ඔබෙන් විමසන්නේ නැත. 

” ඇයි මට මෙහෙම කරන්නේ ?”

“ඇයි මට එහෙම කලේ ?”

මහේල අරන්දර කඩා පැන්නේය. මට තවත් හැඬුණි. 

” උඹේ අය්‍ යා ලංකාවට ඇවිල්ලා ඊයේ… ඌ ඇවිල්ලා ඉන්නේ උඹව අරගෙන යන්න … නිර්මලී ආන්ටි පණිවිඩේ කිව්වේ … දෙය් යන්ගේ නාමෙට මාව මිනීමරුවෙක් නොකර කියන එක අහලා හිටපං …”

මහේල කීවේ මගේ දෑසටම එබීගෙනය. ඔහු පැවසූ කිසිවක් මට පැහැදිලි වූයේනැත. 

අය්‍ යා මීට වසර තුනකට පෙර කිසිවෙකුට හෝ නොපවසා විදෙස් ගත වී තිබුනේය. ඉන් පසුව අම්මා ඇයගේ අක්කා කෙනෙක් සමඟ විදෙස් ගත වූ බව තාත්තා ගෙන් මම දැනගතිමි. අය් යා යම් නීති විරෝධී ව්‍යාපාරයකට හවුල්වී සිට ඇති බවත්, එය බංකොලොත් වන බව වටහාගත් වහාම නීති විරෝධී මාර්ගයකින්ම විදෙස් ගතවී ඇති වගත් පැවසූයේ තාත්තා මය. අම්මා සහ අය් යා වෙනුවෙන් යම් ලේ බැඳිමක හැඟීමක් හෝවූවා නම්, ඒවාද ලෙහී ගොස් සෑහෙන කල් ගෙවි ගොස් තිබූ නිසා මට  ඒ කිසිම පුවතක අරුමයක් දැනුනේ නැත. විශේෂ දුකක් දැනුනේද නැත. 

එහෙත් එක්වරම ඔහු මෙලෙස පැමිණියේ කෙලෙසද ? ඒ නැතත් ඒ බව මහේල දන්නේ කෙලෙසද ?

” ඌ ඇවිල්ලා තියෙන්නේ තමුසෙව  බ්ලැක් මේල් කරලා උස්සන් යන්න  .. ඒ ගිහින් අර නාකි කෝටිපතියාට ආයේ විකුනන්න…… මං නොදන්න අසංක … උගේ අම්මා මැරෙන්නලු යන්නේ උඹ ට කරපුවාට හිතේ වේදනාවෙන් ..  උඹව එක්ක යන්න ඕනි ලු … ඔය ගෑණි නම් මැරෙන්නේත් නෑ ලේසියකට … කුම්මැහි කමට…”

” සර් … මොනවද කියවන්නේ … ? ඒ මගෙ අම්මා … ඒ මගේ අම්මා …කොහොමද සර් ඔහොම කතා කරන්නේ ඔයා මගේ අම්මට ..?”

මම කෑ ගසා ඇඬුවෙම්.සැබැවින්ම ඇය අසනීපයෙන් නම්…,

මම ජංගම දුරකතනය සෙව්වෙමි. තාත්තා ට ඇමතුමක් ලබා ගන්නට අවැසිය. සිදුවන්නේ කුමක්දැයි ඔහු පහදනු ඇත. 

” ෆෝන් එක මගේ ළඟ තිබ්බදෙන් ..”

ඔහු ඉන් පසුව කීවේය.

” මට තාත්තා ට කතා කරන්න ඕනි…”

මම දැඩිව කීවෙමි. මහේල ඔහුගේ ව්සල් ජංගම දුරකතනයේ අංකනය කර වෙත පෑවේය. මම ගොදුරක් ඩැහැ ගන්නාක් මෙන් එය අල්ලා ගත්තෙමි. 

“Aseka Dad ” 

එහි වූයෙ එලෙසිනි. මම මහේල දෙස බැලුවෙමි. මට අවැසි මේ සියල්ල පැහැදිලි කරගන්නටය.  ඔහු ඉවත බැලුවේය.

” මහේල පුතා ?”

“තාත්තා මම ….”

මම මහේල වෙතින් දෑස් ඉවතට  නොගෙනම කතා කලෙමි.

| අපේක්ෂා ගුණරත්න | 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles