තනුජා අපේ ඔෆිස් එකටම ආවා එක ගැන මට දැනුනේ සතුටක්. ඒ සතුට සාධාරණ අවංක සතුටක් නෙවෙයි, කාලකණ්ණි සතුටක් කියලා කියන එක වඩා නිවැරැදියි.තනුජා ට පත්වීම ලැබිලා තිබුනෙත් ගිණුම් අංශයේම මගේ යටතේ වන පත්වීමක් නිසා ඒ කාලකණ්ණි සතුට වැඩි වුණා.
තනුජා කියන්නේ හසන්තගේ පළමු පෙම්වතිය. මම හසන්තගේ නීත්‍යානුකූල බිරිඳ. හසන්තගෙයි, තනුජාගෙයි ප්‍රේම සම්බන්ධතාවයට අවුරුදු හයක ඉතිහාස කතාවක් තිබුණා. කැම්පස් එකේ අන්තිම අවුරුද්දේදි දෙන්නාම කතා කරලා තමයි සම්බන්ධතාවය නවත්තලා තිබුණේ. ඉන් අවුරුදු දෙකකට පස්සේ තනුජා විවාහ වෙලා තිබුණා. ඊටත් අවුරුදු දෙකකට පස්සේ තමයි මට හසන්තව මුණ ගැහුණේ. ඒ අපේ අයියාගේ යෝජනාවකින්.
ඒ මුණ ගැහෙන කාලේ වෙනකොට මම මගේ උපාධිය අවසාන කරල පලවෙනි රැකියාව හොයමින් උන්න කාලේ. හසන්ත තමයි මට රැකියාව හොයලා දුන්නේ. ඒ අයියාගේ ඉල්ලීමට. ඊටත් පස්සේ තමයි අයියා හසන්තව මට යෝජනා කලේ. හසන්ත මගේ පලවෙනිම ප්‍රේමය නිසාද මන්දා මම හරිම ඉක්මනින් හසන්තට බැඳුණා. හසන්තගේ කරුණාවන්තකම , අවදානය , ඉතාම ඉක්මනින් මාව හසන්තට ඉතාම ඉක්මනින් ලං කලා.
මගේ සමහර පුරුදු දිහා උපේක්ෂාවෙන් බලලා ඉවසීමෙන් මාව දරාගන්න හසන්තට පුළුවන් කම තිබුණා. ඒ නිසාම මගේ සමහර කරදරකාරි පුරුදු මම වෙනස් කරගත්තා.
ඒත් අපි ආදරේ කරන්න පටන් අරන් අවුරුදු තුනක් ගෙවිලා තියෙද්දිත්, විවාහ වෙලා එක අවුරුද්දක් ගෙවිලා තියෙද්දීත් මට අතෑරගන්න බැරුව ගියපු පුරුද්දක් තිබුණා. ඒ හසන්තගේ ජීවිතේ කලින් උන්න තනුජා එක්ක මාව සසඳන පුරුද්ද.
” ඔයා වැඩියෙන්ම ආදරේ තනුජාට නේද ?”
” ඔයා තනුජාට කොච්චර තෑගි දීලා තියෙනවා ද ? …”
” ඔයා තනුජා එක්කත් මෙහෙම ඉඳලා තියෙනවා ද ?”
“ඔයා තනුජා එක්කත් මෙහෙ ඇවිල්ලා තියෙනවා ද ?”
” ඔයා වැඩියෙන්ම ආස තනුජා එක්ක උන්න කාලේටද ?”
හසන්ත මුලදි මුලදි නම් ඒ කතන්දර හිනා වෙලා උපේක්ෂාවෙන් ඉවසගෙන හිටියත් පස්සේ පස්සේ ඒ අහන දේවල් ගැන වගවෙන්න කියලා මට අවධාරණය කලා.
සමහර කතන්දර නිසා අපි දෙන්නා අතරේ පැයේ,දෙකේ, දවසේ අමනාපකමුත් හැදුණා.
දේවල් ඒ විදියට සිදුවෙමින් තියෙන අතරේ තමයි තනුජා අපේ ඔෆිස් එකේ පත්වීම අරගෙන ආවේ.
මම එදා හවස ගෙදර ගියේ උද්දාමයෙන්.
” මොකෝ මේ ..?”
හසන්ත එහෙම ඇහුවම මම කලේ සතුට පෙන්නගෙන උන්න එක.
පහුවෙනිදා ඉඳන්ම මම තනුජාට රිදවන එක පටන් ගත්තා. ඒත් ඒ හැම තැනකම රිදෙන්න ගත්තේ මට. තනුජා කිසිම වෙනසක් නැතුව වැඩ කරගෙන සතුටින් හිටියා.
” තනුජා අපේ ඔෆිස් එකේ වැඩ…”
දවසක් නිදාගන්න ඇඳට ගොඩ වෙනකොට මම එහෙම කිව්වා. ඒත් හසන්ත ඒකට ප්‍රතිචාරයක් දැක්වූවේ නැහැ
” ඔයාට ඇහුන් නැද අනේ… තනුජා අපේ ඔෆිස් එකේ වැඩ…”
මම ආයෙම එහෙම කිව්වා. එකපාරට හසන්තගේ හඬට මම වෙව්ලලා ගියා.
” ඇහුණා ඇහුණා.. ඇහුණා විතරක් නෙවෙයි ඔයා නටන නාඩගමත් දන්නවා… ඒ ගෑණිට ඔෆිස් එකේ වැඩ කරගන්න දෙන්නේ නැතුව …”
මම ඇඳේ කෙලින් වෙලා වාඩි වුණා. මට දැනුනේ මගේ මුළු ඇඟම පිළිස්සිලා යනවා වගේ. මේ තරම් කාලයක් ජීවිතේ තිබුණ හැමදේම විනාස වෙලා යනවා වගෙ හැඟීමක් ඒක.
” ඒ කියන්නේ ඒකි කතා කරනවා ?”
මට එහෙම ඇහුණා. හසන්ත මට දුන්නේ වේගවත් පිළිතුරක්.
” ඇයි ඒ ගෑණි ගොලුයි කියලා හිතුවාද ?”
මට දැණුනේ හසන්ත මගේ ඔලුවේ මැද්දෑවටම පොල්ලකින් ගැහුවා වගේ.
මම හසන්ත දිහා බැලුවා. මට පිටුපාලා නිදාගෙන උන්න හසන්ත එකපාරට වාඩි වෙලා මගේ දිහා බලාගෙන ඉඳගත්තා.
” ඔයාට ලැජ්ජාවක් නැති එක මට ඕකේ.. ඒත් මට ලැජ්ජ කරන්න කලින් දෙපාරක් කල්පනා කරන්න ..ප්ලීස් ….”
” ඔයාට මට වඩා දැන් ලොකු ඒ ගෑණිවද?”
මම හසන්තට කඩාගෙන පැන්නා.
” මං දැන් කිව්වේ ලොකු පොඩි කතාවක්ද?”
හසන්ත ත් මට කඩාගෙන පැන්නා.
” ඒ ගෑණි ඔයාට කතා කරන එක එතකොට පොඩි කතාවක්ද ? කොච්චර කාලයක් තිස්සේ ඔයා මාව රවට්ටනවද ?..”
මම මහ හයියෙන් ඇඬුවා.
” අනේ නිකන් විකාර කතා කියන්න එපා ශමා … තනුජා මට කතා කරලා කිව්වා ඔයා එයාට සෑහෙන්නම වෙනසක් කරන්ව ඔෆිස් එකේ.. ඒ අපේ ඉස්සර කතාව නිසාද කියලා .. මං ඒකිට කිව්වා ඔයාට එච්චර පිස්සුවක් නෑ. ඔෆිස් එකේදි හැටි වෙන්නැති ඒ කියලා .. ඒත් මට නිකමට හිතුණා ඔයා මොකක් හරි නාඩගමක් නටනවා ඇතිද කියලා ..”
” මොකක් ද මම නටපු නාඩගම..”
“ඒක ඔයා දන්නවා.. මං ඔයාට පැහැදිලිව කියලා තියෙනවා .. මං තනුජාගෙන් අයින් වුනේ ඒකිගේ විදියට මට ඉන්න බැරි නිසා.. ඒකිත් ඒක තේරුම් ගත්ත නිසා… අපි වෛරක්කාරයෝ වෙලා පලිගත්තා නෙවෙයි .. මං ඒකිගේ වෙඩිමටත් ගියා.. ඒකිගේ මිනිහත් එක්ක මම සෙට් වෙලත් තියෙනවා බැචුලර් එකකදි … ඒකි එක්ක උන්න කාලෙ මගේ ජීවිතේ අතීත මතකයක්… .. ඒත් ඒකෙන් කියවෙන්නේ මං ඒකි එක්ක ආයෙ ආයෙම ෆ්ලර්ටින් කියලා … මං ආදරේ ඔයාට ..මට ඕනු ඔයාව… ඒත් මට දැන් නම් මේ ජීවිතේ එක්කම එපා වෙල තියෙන්නේ ..”
හසන්ත එහෙමම ඇඳේ පෙරලුණා. අපි පහුවෙනිදා ඔෆිස් ගියේ එකිනෙකාගේ මුහුණවත් බලන්නේ නැතුව
මම උදේ ඔෆිස් එකට යනකොට තනුජා මගේ කැබින් එක ලඟ හිටියා.
” ඇතුලට එන්නකෝ.”
මම එහෙම කියාගෙනම ඇතුලට ගියා.මම වාඩි වෙනකොට තනුජාත් මගේ ඉස්සරහ පුටුවේ වාඩි වුණා
” සොරි …”
මම කිසිම පැහැදිලි කිරිමක් නැතුව කිව්වා.
” මටත්…”
තනුජා එහෙම කිව්වා. මම ඒක නොවැටහුණ ගානට බලාගෙන හිටියා.
” ඔයා ඔෆිස් එකේදි මට ප්‍රෙශර් කරනවා කියලා මම හසන්තට ටෙක්ස්ට් එකක් දැම්මා. පස්සේ මං අපේ හස්බන්ඩ් එක්ක ඒ ගැන කිව්වාම එයා තමා කීවේ ඒක ටූ මච් බව ….”
මම හිනා වුණා.
“අපේ හස්බන්ඩ් කිව්වා මාත් ටූ මච් බව…”
එහෙම කිව්වම අපි දෙන්නටම හිනා වෙන්න කාරනාවක් හැදුණා…
මට ඇත්තටම සෑහෙන සතුටක් දැනුනා.
| අපේක්ෂා ගුණරත්න |