මල් මල් හිනා..

මම මින්දදගේ ජීවිතේ එයා ඉල්ලුව සැනසීම දීලා ලංකාවෙන් එන්න ආවා. ගුවන් තොටුපලේ අම්මලාට සමුදෙන වෙලාවෙත් මගේ හිත කිව්වේම මින්දද ඇවිල්ලා මාව නවත්තගනීවි කියලා. ඒත් එයා ආවේ නැහැ. මම අවුරුදු පහක රැකියා ගිවිසුමක් එක්ක විදෙස්ගත වුනා.

අම්මගෙයි තාත්තගෙයි තනියට අයියයි නෑනයි දරුවොයි ඉන්න බව දන්න නිසා මට තිබුන එකම වගකීම මින්දද නිසා වැලපෙන හිත හයිය කරගන්න පාරක් හොයාගන්න එක විතරයි. ඒක කරන එක කොයි තරම් අමාරුද කියන්න මම දැනගෙන හිටියා  වුනත් මට මින්දදගේ නිදහස ට එරෙහි වෙලා ගිහින් ආයෙම එයාගේ ආදරේ ඉල්ලන හිතක් තිබුනේ නැහැ.

” දන්නවද, මට වැඩියෙන්ම වටින්නේ හිතේ නිදහස….”

අපි හඳුනගනිමින් උන්න  කාලේ මින්දද එහෙම කියනවා මට මතකයි. ඒ මතක එක්ක හැප්පෙනකොට ආයේ ආයේ මින්දදට කෙටි පණිවිඩයක්වත් තියන්න හිත ඉස්සර වුනේ නැහැ.

මම ඇමරිකාවට ආවට පස්සේ මට ඉස්සෙල්ලාම දරාගන්න බැරිව ගියේ ඒ වෙනකොට ඇමරිකාවට උදා වෙමින් තිබුණතු වෙනස. සීතල නිසා මගේඇඬිලි තුඩු පැලුණා. තොල් පැලුණා. වේදනාව දරාගන්න බැරුව මම මුල් දවස් වල තනියම ඇඬුවා. ඒ  හැම වෙලාවකම මින්දදට ඇමතුමක් ගන්න මගේ හිත කෑ ගැහුවා. එකම එක වචනෙකින් ඒ හැම වේදනාවක්ම නිවා ගන්න කියලා හිත මට උපදෙස් දුන්නා..

” ඔයා හින්දා මගේ මානසික නිදහස මාරම විදියට ඩැමේජ් වෙනවා හංසි … මට හිතෙන්නේ අපිට තවත් එකට දුරක් යන්න බැරි වේවි…”

” මං වෙනස් වෙන්නම් .. මම ඔයාට කරදර නොකර ඉන්නම්..”

” මන්තරය්ක් වගේ ඕක කියන එක ඔයා කොච්චර නම් කලාද? මේක අපි දෙන්නාටම වදයක් .. හිර වීමක්.. ඔයා ට දැන් විසි නවයක් .. ඔයාගේ ජීවිතේට අලුත් ගමනක් යන්න කාලේ තියෙනවා..”

මම කොච්චර ඇඬුවත් මින්දද වෙනස් වුනේම නැහැ. අන්තිමේදි මම හිත හදා ගන්න තීරණය කලේ උපදේශකවරියක් හමු වෙලා.

” එයාට මේ සම්බන්ධතාවය ඇතුලේ තවදුරටත් ඉන්න ඕනි නැති බව පැහැදිලිව කියනවා නම්, ඔයා තව උත්සාහ කරන එකෙන් වෙන්නේ දෙන්නාගෙන හිත් රිදෙන එක….”

ඇය එහෙම කිව්වම, මම ඒ ගැන හිතුවා. අයියා මට විදෙස්ගත වෙන අවස්තාවක් සකසලා දුන්නා, මම යන බව කිව්වම මින්දද හිනා වෙලා මට සුබ පැතුවා.

“කෙරෙන්න දෙයක් තියෙනවා නම් කියන්න..”

එහෙම කියලා ඉතාම ඉක්මනින් සමුගත්තා.

ඒ කතා බස් , ඒ සිදුවීම් මතක් වෙනකොට මට මින්දදට ඇමතුමක් ගන්න හිතෙන් ලැබෙන හයිය ඉබේම ක්ශීණ වෙලා ගියා. නැවත නැවත ඔහුගේ ජීවිතයට් එබිලා, ඔහු නැවුම් වෙන්න දරන උත්සාහයන් අඩපන නොකර ඉන්න මම මටම පොරොන්දු වුනා.

සති දෙකකින් මගේ නව රැකියාව ඇරඹුණා. මම දවසට පැය අටක් එතැන වැඩ කලා. ඊට පස්සේ දවස ගෙවාගන්න මම ඒ පැත්තේ තිබුන හැම තැනකම ඇවිද්දා.

කිසිම කෙනෙක් එක්ක දිගු කාලීන මිත්‍රකම් පවත්වා නොගන්න මම පරෙස්සම් වුනා. ඒත් ශ්‍රී ලාංකික පවුල් කිහිපයක හිතවතුන් කිහිප දෙනෙක් මගේ දිහාවට හිතවත් දෑත් දිගු කරගෙන ඉවසීමෙ මාව දරාගත්තා. මිලී, සාරා, අචින්ත, චමල් මගේ ජීවිතේ වටිනාම යාලුවෝ බවට පත් වුනා. ටික කාලයක් යනකොට මගේ ජීවිතේ තිබුන බිඳීම ගැන මට ඒ අයට නොකියා බැරි වුනා.

“එතකොට දැන් ඔය මින්දද කෝ….?”


“දන්නේ නෑ.. එයා එකපාරටම සෝෂල් මීඩියා වලිනුත් අයින් වෙලා තිබුණා… මාව බ්ලොක් කරලා නෙවෙයි .. එයා ඇත්තටම අයින් වෙලා.. එයාගේ යාලුවන්ගෙන් කොච්චර ඇහුවත් මට මුකුත් කියන් නෑ.. එයාගේ අයියාත් මගේ දුක සැප ඇහුවට  මින්දද ඝැන මුකුත් කියන්නේ නෑ..”

” එතකොට ඔයා මෙහෙ ආවත් හරි.., මින්දද එක්ක කමියුනිකේශන් නෑ?..”

“ඔව් .. මාස තුනක් නේ අනිද්දාට..”


” මෙහෙමයි නංගී ..,සමහරවිට මානසික නිදහස වගේ වචන ඉස්සර කරගෙන ඌ වෙන කොටුවකට  පැන්නා වෙන්නත් පුලුවන්…. අවුරුදු පහක් ආදරේ කලා කිය්න එක මහ ලොකු සාධකයක් වෙන්නේ නෑ සමහර වෙලාවට ..”

“එයා වෙන ගර්ල් කෙනෙක් එක්ක යාලු වෙලා කියලාද හිතන්නේ…?”

මගේ හිතේ ඇල්පෙනෙත්තක් ඇනෙන වේදනාව ඉතාම ඉක්මනින් ඇති වෙලා පැතිරෙන්න ගත්තා.

” ඒත්, මගේත් වැරදි තිබුනා.. මම හැම වෙලේම හැමදේටම එයා එක්ක රණ්ඩු කලා… මුලදී එයා ඒවා ආදරණීය විදියට බාරගත්තා.. පස්සේ එයාටම ඒක එපා වුනා…”

මම මින්දද තවම මගේ කියලා හිතාගන්න උත්සාහ ගන්න ගමන් එහෙම කිව්වා. ඒත් මගේ හිත මට මතක් කලා, මින්දදගේ මේ නිහඬ වීම පිටිපස්සේ ආදර කතාවක්ම තියෙන්න පුලුවන් බව.

මාව ඇමරිකාවේ උපදේශන  සේවාවකට සම්බන්ධ කලේ මිලී. එතැනදී මගේ ජීවිතේ වුන ලොකුම වෙනස ඉවසීම හුරු වීම.  ඒ වගේම අනියත බිය නිසා හටගන්න සැකයේ අතුරු පල ගැන එතැන දිගින් දිගටම කතා බස් කෙරුණා.

මගේ හැසිරීම් නිසා මින්දද කොයි තරම් නම් මානසික වදයක් විඳින්න ඇතිද කියලා පැහැදිළි මනසින් තේරුම් ගන්න මට මාස තුනක් විතර ගියා. වේයිටින් කෝල් එකකට පස්සේ ගැහැණියක් පාවා දීලා රණ්ඩු වෙන තැන ඉඳන්, මාව රවටගෙන මගේ ජීවිතේ විනාශ කල කියන තැනට වෙනකල් මම නඟපු අවලාද මම එකින් එක සිහි කලා.

අද මින්දදගේ උපන්දිනය, මින්දදව සම්බන්ධ කරගන්න මට තිබුන එකම විදිය විද්‍යුත් තැපෑල. අපි එකට උන්න අවුරුදු පහේදී මගේ හැසිරීම් වල තිබුන දුර්වලතා නිසා මින්දදට ඇති වුන මානසික වදය ගැන මට දැන් වැටහෙන විදියෙන් මම ලිව්වා. ඒ දවස් වෙනුවෙන් සමාව ඉල්ලුවා. ඔහුගේ අලුත් ජීවිතය වෙනුවෙන් සුබ පැතුවා.

…………………… මං හැමදාම ඔයාට ආදරේ කරනවා.. හැම අවුරුද්දකම මේ විදියටම ඔයාට සුබ පතනවා… මට පිළිතුරු එපා… ඒ වෙනුවට  සතුටින් ඉන්න …. ආදරෙයි …. හංසි …”

මම ඊ මේලය යවලා සැහැල්ලුවෙන් නිදාගත්තා. දවස් එක දෙක ගෙවුණා. ඒත් මින්දදගෙන් පිළිතුරු ආවේ නැහැ.

ආයෙම දවසක අහම්බෙන් මම මින්දදගේ මිතුරෙකුගේ මුහුණු පොත් ගිණුමේ මින්දදව දැක්කා.

” අයියේ..මින්දද හොඳින්ද?..”

මම කෙටි පණිවිඩයක් යැව්වා.

“ඔව්.. ඌ  දැන් සෑහෙන්නම හොඳින්..”

මට ඒ සැනින් උත්තර ආවා. ඉන් එහා අහන්න දෙයක් තිබුනේ නැහැ.

මිලී ඉතා හදිසියක් කියලා මාවත් එක්කගෙන ගෙදර එනකොට මම පුස්තකාලයට යන්න සූදානම් වෙමින් උන්නේ. එතකොට හවස හයට විතර ඇති

“මොකද මිකී … කාට හරි කරදරයක්ද ?..”

“ඔව් …විසාල කරදරයක් වෙන්න යන්නේ?..”

“ඇයි කාටද?…”
“පේන විදියට නම් ඔයාට ..”

අපි මගේ කුඩා නිවසට ඇතුලු වුනා. සාරාලා ඉස්සරහම හිටියේ හිනා වෙවී. කරදරයක් නම් මෙහෙම හිනා වෙන්නේ ඇයි කියලා අහන්න හිතුනට මම ඇහුවේ නැහැ.

“ඔන්න … ඇවිල්ලා ..”

මිලී එහෙම කියනකොට මම අනෙක් පැත්ත හැරිලා බැලුවා. එතැන හිටියේ මින්දද. ඒත් ඒක  හීනයක් බව දන්න නිසා මම ඇස් පිහිදගෙන ආයේ බැලුවා. එතකොට ඒ මින්දද මගේ දිහාවට ඇවිදගෙන එනවා.

මම මිලීගේ අතින් අල්ලගත්තා.

“සමහර වෙලාවට දෙවෙනි අවස්තාවක් ඕනිම හිතෙනවා.. ඔයා එක්ක ඉන්න ජීවිතේට වඩා වැඩි මානසික වදයක් ඔයා නැති ජීව්තේ මට තිබුනා කියලා හිතෙනවා… ඒ වගේම මම නැති ජීව්තේ ඔයා ඉන්නේ සතුටින් නෙවෙයි කියලත් හිතුනා…. තවම ඉඩ තියෙනවා නම්, මං ඔයා ලඟින් ඉන්නද හංසි ..?’

මින්දද එහෙම අහනකොට මිලීලා හයියෙන් කෑ ගැහුවා. ඒ නිසා මගේ උත්තරේ කාටවත් ඇහුනේ නැහැ, මින්දදට හැරෙන්න.

“මල් මල් හිනා …..”

අපේක්ෂා ගූණරත්න 

More Stories

Don't Miss


Latest Articles