සන්ධ්‍යා තිදරු මවක්. සන්ධ්‍යාගේ ස්වාමිපුරුෂයා කපිල. කපිල මේසන් බාස් කෙනෙක්. කපිල ඒ පළාතේ සෑහෙන නම ගියපු මේසන් බාස් කෙනෙක් නිසා කපිලට වැඩ වල අඩුවක් තිබුණේ නැහැ. එක වැඩක් ඉවර වෙනකොට තව වැඩක් වෙන විදියට වැඩ ගලාගෙන ආවා. කපිලට වැඩ කලමණාකාරණය කරගන්න අපහසු නිසා තවත් කණ්ඩායම් දෙකක් හදාගෙන වැඩ බෙදාගෙන තමයි සමහර කාල වල වැඩ කලේ.
ඒ නිසා කපිලලාගේ පවුලට ආර්ථික අපහසුතා නම් නොතිබුන තරම්. දවසක ආදායම සෑහෙන ගානක් ලැබුණා වගේම ඉතිරියකුත් තිබුණා.
සන්ධ්‍යාගෙයි කපිලගෙයිද දරුවෝ පාසැල් ගියේ ටවුමට. පාසැල් වෑන් එකෙන් ගිහිල්ලා හවසටත් එහෙමම ගෙදර ආවා. ටියුශන් පන්ති වලට යනවා නම් සන්ධ්‍යා එක්ක ත්‍රී රෝද රථයකින් තමයි ගියේ.
මේ හැමදේටම කපිල නොමසුරුව වියදම් කලා.
” උඹලා ඉගෙනගනිල්ලා.. මට පුළුවන් කලේ හම්බ කරලා කරන්න පුළුවන් ඒක… පස්සේ රට රාජ්ජෙකට හරි ගිහින් ජීවත් වෙන්න බැරියැ….”
හය, අට, දහය වසරේ ඉගෙන ගන්න කෙල්ලෝ තුන් දෙනාට ඔය කතාව අහලාම කට පාඩම්. තාත්තා තමන් වෙනුවෙන් කොයි තරම් වෙහෙසෙනවාද කියලා හොඳින්ම දැනගෙන උන්න කෙල්ලෝ තුන්දෙනා වෙහෙසිලා වැඩ කලා. පන්තියේ ඉහළ ලකුණු අතර උන්නා.
” ඔහේ නැහෙන එක ගැන කෙල්ලො හරියට විස්සෝප වෙනවා …”
දවසක් රෑ කාලා ඉවර වෙලා මිදුලේ කතා කර කර ඉන්න අතරේ සන්ධ්‍යා කපිලට කිව්වා.
” ඇහැක් කාලේ නැහෙන්න ඕනි .. එහෙම නැතුව කොහොමද කෙල්ලෝ තුන්දෙනෙක් බලන්නේ… ඔහෙත් ඉතින්, කෙල්ලෝම නේ මට තෑගි කලේ….”
කපිල සන්ධ්‍යා එක්ක ගෙව්වේත් සාමකාමී ජීවිතයක්. මත් පැන් පානය කලත් ඒකෙන් ගෙදර ට කිසිම බලපෑමක් නොවෙන්න කපිල වග බලා ගත්තා.
ඒ කුරුළු කූඩුවට ඇස් වහ වැදෙන්න වැඩි කාලයක් ගියේ නෑ. පලංචියකට අවේලාවේ නැඟපු කපිල පලංචියෙන් වැටුණා. එතන හිටපු ඔක්කොමලා එකතු වෙලා හරි සීරුවෙන් කපිලව රෝහල් ගත කලා. ප්‍රාදේශීය රෝහලෙන් කපිලව කරාපිටිය ශික්ෂණ රෝහලට මාරු කලා. සන්ධ්‍යා දරුවෝ තුන් දෙනා එක්ක රෝහලට දිව්වේ පිස්සුවෙන් වගේ.
කපිලගේ සුෂුම්නාවට යම් බලපෑමක් වෙලා තිබුණා. ඒ නිසා කපිලට ඇවිදින්න නොහැකි වන බව වෛද්‍යවරුන් කියනකොට සන්ධ්‍යා දරුවෝ බඳාගෙන කෑ ගහලා ඇඬුවා.
“අඬන්න එපා අම්මේ… තාත්තා අපි එක්ක ඉන්න එකම ඇතිනේ ….”
ලොකු කෙල්ල සන්ධ්‍යාගේ හිත හැදුවා.
” උඹ නාඩා හිටපංකෝ.. උඹ ඇඬුවම ඒ මිනිහාත් අඩියටම වැටෙනවානේ…”
නෑදෑ හිතවත්තුත් සන්ධ්‍යාට බල කරලාම කිව්වා. සතියක් විතර වෙලාවක් අවේලාවක් නැතුව අඬලා අඬලා සන්ධ්‍යා හිත හදාගත්තා.
” කොහොම හරි ජීවත් වෙමු…”
සන්ධ්‍යා කපිලගේ අතින් අල්ලගෙන කිව්වා. මාස එක හමාරකින් කපිලව ගෙදර එක්කගෙන ආවා. කපිලගේ තනියට රෝද පුටුවකුත් ආවා. ආසාවෙන් කරපු දෑතේ කර්මාන්තය ට සමුදෙන්න කපිලට සිදු වුනා.
” අපි එකතු කරපු සල්ලි දාලා පොඩිවට කඩයක් දාමු…”
සන්ධ්‍යා යෝජනා කලා. සන්ධ්‍යාගේ මල්ලිලා කොළඹින් බඩු ගෙනල්ලා දුන්නා. ගෙදර ඉස්සරහම පොඩිවට කඩයක් හැදුණා. ඒ හරියට කඩයක් තිබුනේ නැති නිසා ඒ ව්‍යාපාරය යම් මට්ටමකින් සාර්ථක වුනා.
ඒත් ඒ ආදායම ඉස්සර දවස් ආදායම තරම් වුනේ නැහැ. කපිලගේ බෙහෙත් වලටත් සෑහෙන වියදමක් ගිය නිසා ඉතිරි කරල තිබුණ මුදල් ටික ටික ඉවර වෙන එක විතරයි වුනේ.
කෙල්ලෝ තුන් දෙනා පාසැල් වෑන් එකෙන් සිසු සැරියට මාරු වුණා. ලොකු කෙල්ල ටියුශන් ගියාම සන්ධ්‍යා බස් එකේ ගිහින් එක්කගෙන ආවා. අනෙක් දෙන්නට පාඩම් කියලා දුන්නේ ලොකු කෙල්ල.
මේ දේවල් එක්ක කපිල උන්නේ ඉතාම දැඩි මානසික පීඩනයකින්
” කෙල්ලෝ දුක් විඳිනවා බං…”
කපිලව මුණ ගැහෙන්න ආව යාලුවෙක් ට කපිල එහෙම කිව්වා. යාලුවා වට පිට බලලා කපිලට ලං වුණා.
” ජීවිතේ ටක්කෙටම ගොඩ යන මැජික් එකක් නම් තියෙනවා බං …. උඹේ ගෑණි දිනපතා ටව්න් යන එන එකේ මේක සීරුවෙන් කරන්න පුළුවන් …”
“ඒ මොකක්ද බං ..?..”
යාලුවා බොහෝම සීරුවෙන් විස්තර කලා. කපිලට ඒ ගැන දැනුනේ බයක්. ඒත් සන්ධ්‍යා එක්ක කතා කරලා උත්තරයක් දෙන්නම් කියලා යාලුවාට කියන්න කපිල තීරණය කලා.
එදා රෑම කපිල මේ ගැන සන්ධ්‍යා එක්ක කතා කලා. සන්ධ්‍යා කිව්වේ පරෙස්සමින් කරගන්න පුළුවන් වේවි කියලා .
” කවුරුත් මාව සැක කරන එකක් නෑ…. ඕක ගේන ගෙනියන වෙලාව විතරනේ.. අනෙක ඔලුව උස්සගන්න පුළුවන් වෙනකල් විතරනේ…”
කපිල මිතුරාට ඇමතුමක් ගත්තා.
” උඹ සන්ධ්‍යාට විස්තරේ කියපං ඇවිල්ලා…”
ඊළඟ දවසේ ඉඳගෙනම වැඩේ පටන් ගත්තා. මුල් දවසේ සන්ධ්‍යා ට වැටහුණා තමන් අසීමාන්තික විදියට කලබල වෙල ඉන්නේ කියලා. ඊළඟ දවසේ ඉඳන් ඒ කලබලය නැතිව ඉවසීමෙන් සාමාන්‍ය විදියට යන එන එක සන්ධ්‍යා පුහුණු වුනා.
සතිය අවසානේ කපිලගේ ගිණුමට මුදල් වැටිලා තිබිණා. කපිල මිතුරාට ඇමතුමක් ගත්තා.
” එච්චර ගානක් බං ??”
” සන්ධ්‍යා ගානට වැඩේ කරානේ.. ඔය බෝනස් එකකුත් ..”
සන්ධ්‍යාලා ආයේම පරණ ජීවිතේ ට හුරු වෙන්න ගත්තා. කෙල්ලෝ පාසැල් වෑන් එකට හුරු වුනා. පන්ති යනකොට ත්‍රි වීල් වලින් යන එන්න පුරුදු වුනා.
ඒත් සන්ධ්‍යලා නොදැනම උකුසු ඇස් සන්ධ්‍යාගේ දිහාවට එල්ල වෙලා තිබුණේ.
එක අඳුරු දවසක සන්ධ්‍යා ලොකු කෙල්ල එක්ක පන්ති යමින් ඉන්නකොට ත්‍රී රෝද රථය පරීක්ෂා කිරීම් වලට නැවැත්තූවා. සන්ධ්‍යා ව අත් අඩංගුවට ගත්තා.
නිතීවිරෝධි මත් ද්‍රව්‍ය ප්‍රවාහනය කියන කාරනාවට සන්ධ්‍යා ට නඩු ගොනු කෙරුණා. දඬුවම් නියම කෙරුණා.
කපිලට කෙල්ලො තුන් දෙනා එක්ක ඒ විශාල ගෙදර තනි වෙන්න සිදු වුණා. ලොකු කෙල්ල සාමාන්‍ය පෙළ විභාගය එක්ක ගෙදර වගකීම් ඔක්කොම භාරගත්තා.
” වැඩි තණ්හාව හින්දා අපේ ජීවිත විනාස වුනා මිස්… මෙතනින් එලියට ගිහිල්ලා මගේ මනුස්සයයි, දරුවෝ තුන් දෙනයි එක්ක සැනසීමෙන් ජීවත් වෙන්නයි ඕනි …”
සන්ධ්‍යා ඇස් වල තෙත පුරවගෙන කිව්වා.
” අපේ ලොකු කෙල්ල ඔන්ලයින් බිස්නස් කරනවලු.. රෙදි මහලා විකුණනවලු … ඒලෙවල් කරන්නේ කොමස් වලින්… මාත් නිදහස් වෙලා ගියාම කෙල්ලගේ බිස්නස් එකට උදව් වෙනවා…”
සන්ධ්‍යා එහෙම කියනකොට සන්ධ්‍යා ගේ ඇස් වල තිබුන තෙත අතරින් රිදී ඉරක් පෙනුණා.
| අපේක්ෂා ගුණරත්න |