එයා මැරිලා හුඟක් කල් 31

ඊළඟට සිද්ධ වෙන්න යන්නේ මොකද්ද කියලා හිතාගන්න බැරුව මාව ගල් ගැහිලා වගේ තිබුණා.මොනතරම් අමානුෂීය සිද්ධියක් මෙතන සිද්ධ වුණත් මොන විදිහේ කාන්තා අතවරයක් මෙතන සිද්ධ වුණත් නීතියේ නිලධාරියෙක් හැටියට රාජරත්නම්ටත් රජයේ පිළිගත්තු නිලධාරියෙක් හැටියට මටත් අද ගොලු බීරි ආබාධිතයෝ වගේ සිද්ධිය දිහා බලාගෙන ඉන්න සිද්ධ වුණා.

ගෑණු කෙනා එක දිගටම තද නින්දක වගේ  හිටියා. රත්නාලෝක හරියටම බඩට කෙලින් අඩි රූලක් වගේ හිටගත්තා.

ඊට පස්සේ සිද්ධ වුණේ මම හීනෙකින්වත් හිතපු දෙයක් නෙමෙයි.රත්නා ලෝක ධ්‍යානයකට සම වැදුණු මනුස්සයෙක් වගේ ඒ ගෑණු කෙනාගේ බඩ දිහා එකම ඉරියව්වකින් බලාගෙන හිටියා.රත්නා ලෝකගේ ඇස් වලින් යම්කිසි ආලෝකයක් බඩ පැත්තට ගමන් කරනවා කියලා මට පෙනුනා. රාජරත්නම් දිලිසෙන ඇස් වලින් ඒ දිහා බලාගෙන ඉන්නවා කියන එක මම දැක්කා.තත්පර දහයක වගේ සීමාවකදී සම්පූර්ණයෙන්ම රාජරත්නම්ගේ මනුස්ස ස්වරූපය අතුරුදහන් වෙලා එතන දර්ශනය වුනේ අමුතුම රූපයක්.කොයි වගේ දෙයක්ද කියන්න මට වචන මතක නැහැ. සමහර වෙලාවට “වෙනම්” චිත්‍රපටියේ හිටපු අඟහරු ජීවියා වගේත් පෙනුනා. “ආටානාටිය “
යන වෙලාවට එලියෙ ඉන්නවා කියලා කියන කුම්බාන්ඩයන්ගෙ හැඩයත් පෙනුනා .
කුම්භාණ්ඩයන්ව පේනවා කියලා අපෙන් බෙහෙත් ගන්න එන හුඟක් අයගෙන් මං ඇහුවේ  ඒ කුම්භාණ්ඩයෙක්ම කියලා කියන්නේ කොහොමද කියලයි… තමන් පොත්පත්වලින් කියවල තියෙන විදිහට එහෙමත් නැත්නම් තමාගේ කන් වලට ඇහිලා තියෙන විදිහට තමයි  හුඟක් වෙලාවට මිනිස්සු චිත්ත රූප මවාගන්නෙ. මගේ ළඟට එන ලෙඩ්ඩුත් ඔය විදිහේ විකාර කතා කියනකොට මම ඒගොල්ලන්ට පැහැදිලි කරලා දෙන එකම දේ තමයි ඒ වගේ අය අපිට පේන්නෙ අපි අහල තියන දේවල් වලින් මිසක් දැකලා තියෙන දේවල් වලින් නෙමෙයි කියලයි.

ඒත් දැන් මට හිතෙනවා වෛද්‍ය විද්‍යාව බොරුවක් කියලා.වෛද්‍ය විද්‍යාවට අහුවෙන්නේ නැති කොටස් ඕන තරම් මේ ලෝකයේ තියෙනවා කියන එක මගේ ජීවිතයේ අන්තිම තත්පරේදී හරි මම තේරුම් ගත්තයි කියලා දැං මට හිතෙනවා.සමහරවිට මේ දේවල් ලෝකයට දැනුම් දෙන්න මමවත්  රාජරත්නම්වත් ප්‍රහාණවත් ඉතුරු වෙන එකක් නැහැ.සදාකාලික මේ දැකපු දේවල් ආපහු රහසක් හැටියට මුලටම යයි.

ඒත් දැන් මට ඇස් අදහගන්න බැරුව ගියා .මේ දැකපු දේවල් වල හැටියට  මාව පිස්සෙක් හැටියට මටම හිතුනා.
සමහර විට මේ විදිහටම අපෙන් බෙහෙත් ගන්න එන ලෙඩ්ඩුන්ට කිසිම අසනීපයක් නැතුව ඇති.ඇත්තටම සමහර විට ඒ මිනිස්සුන්ට මේ වගේ පණපිටින් ඉන්න කුම්භාණ්ඩ පිරිස් හරියටම අඳුනගන්න පුළුවන් ඇති.ඒත් අවාසනාවකට අපි ඒ මිනිස්සුන්ව අවිශ්වාස කරලා බෙහෙත් දෙනවා.ඇත්ත ඇති සැටියෙන්  තේරෙනකොට අපි පහුවෙලා ඉවරයි.
එදා අපි නමක් ගමක් නොදන්න අයිරංගනී කියලා නම තියපු ගෑනු කෙනත් ගහකියලා  කියනකොට  තමන්ගේ ළමයා දුංකලයක් කලා කියලා ..අපි කවුරුවත් ඒක පිළිගත්තේ නෑ…

දැන් මටත් හිතෙනවා මමත් ලෙඩෙක් කියලා .  එහෙම බැලුවොත්  මම  ඇත්තටම ඇත්තක් දකිනවද… ඇත්තටම බොරුවක් දකිනවාද… කියන දේ හිතාගන්න බැරුවයි.

රත්නාලෝක අඩි රූලක් විදිහට හිටගෙන පැයක් විතර එකම ඉරියව්වෙන් හිටියා.ඒ පැය පුරාවටම නොකඩවා ඇස්වලින් ගිය ආලෝක ධාරාව එකම විදිහට පැවතුණා.

මේ හැම දෙයක්ම කොච්චර වෙලාවක් තිබුණද කියන්නේ මට දැනුමක් තිබුණේ නැහැ.කාල වළල්ලකින් ඇතුළු වෙලා වගේ මමයි රාජරත්නමුයි දෙන්නම හිටියේ මේ සිද්ධියෙන් අන්ධභූත වෙලා.  රාජරත්නම්ට කියන්න දේවල් ගොඩක් මගේ හිතේ තිබුණත් ඒ දේවල් හිර කරගෙන ඉන්න සිද්ධ වුණේ අපි හිටියේ කබඩ් එක ඇතුලේ  හින්දයි.

පැයකට විතර පස්සේ
රත්නාලෝක එකපාරටම බිමට ඇදගෙන වැටුණා.ඒ විදිහට පැය බාගයක් විතර ඉන්න ඇති.ඇත්තටම මට ඒ කාල වේලාවන් ගැන නිශ්චිතව හිතා ගන්න බැරිව ගියේ ඇයිද කියන එක හිතාගන්න බැහැ.

ටිකකින් රත්නාලෝක නැගිට්ටා.බොහොම ජව සම්පන්න විදිහට . තත්පරයෙන් දහයෙන් පංගුවක වේගයකින්
රත්නාලෝකගේ මූණ  දිළිසෙන අමුතු සතෙකුගේ මූණකට පරිවර්තනය වෙලා  ආපහු සැනින් නැතිවෙලා ගියා.
ඒත් එක්කම වගේ අර ගෑනු කෙනාට ඇහැරුණා. ඒ ගෑණු කෙනා ඇස් ඇරලා තමන් ඉන්නේ කොහෙද කියලා බලන්න පටන් අරගත්තා.එකපාරටම තමන්ගේ උඩට උස්සලා තිබිච්ච ගවුම අතින් පල්ලෙහාට දාගෙන දනිපණි ගහලා ඇඳෙන් ඉක්මනට නැගිට්ටා .

” කෙල්ලේ.. මෙන්න මේ සල්ලි මිටියත් අරගෙන හොඳ කෙල්ල වගේ දැන් කෑගහන්නෙ නැතුව මෙතනින් යන්න.කියපු විදිහට ම ගේට්ටුව ගාව ත්‍රිවිල් එක ඇති. ඒකේ නැගලා යන්න..”

රත්නලෝක බොහොම නිවුණු හඩකින් අර ගෑනු මනුස්සයාට කිව්වා. ගෑනු කෙනා  සල්ලි මිටිය අතට අරගෙන තමන් අරගෙන ආපු ඉටි බෑග් එක ඇතුලට ඒක දාගත්තා.ඊට පස්සේ ආපහු සැරයක් අර රෙද්දෙන් ඔලුව ඉඳන් වැහෙන්න පොරව ගත්තා. ගෑනු කෙනාට කාමරෙන් එළියට යන දොර ඇරලා දුන්නෙත්
රත්නාලෝකම තමයි. සමහරවිට ගේට්ටු ගාවට ගියාම සිරිසහන කියන ආරි අක්කගෙ ගෙදර ට ඒ ගෑණු කෙනාව ගෙනියනවා ඇති.ඊට පස්සේ ඉතින් පරණ සිද්ධියම තමයි.මට මේ කිසි දෙයක් හිතා ගන්න බැරුව  ගියා.ඒ කියන්නේ ඇත්තටම රත්නාලෝක කියන මනුස්සයා… මැරිලා හුඟක් කල්..දැන් එයාගේ ඇඟ ඇතුළෙ ජීවත් වෙන්නේ වෙනමම කෙනෙක් ..මෙච්චර වයසට ගිහිල්ලත් ..මේ තරං ජව  සම්පන්නව මේ තරම් ලස්සනට මේ පාලකයෝ තාමත් ඉන්නේ ඒකයි.. කිසිම හිතක් පපුවක් නැතිව තමන්ගෙ බලය ගැන විතරක් හිතලා අදූරදර්ශී තීරණ අරගෙන මිනිස්සු පාලනය කරන්නේ ඒකයි . හැබෑ මනුස්සයා මැරිලා හුගක් කල් …
අපි හොයාගත්තේ රත්නාලෝක ගැන විතරයි..තව කීදෙනෙක් මේ විදිහට ඇත්ද..ඒ අයත් මේ විදිහටම ද  කොච්චර වයසට ගියත් තරුණ වෙලා ලස්සන වෙලා ජව සම්පන්න වෙලා ඉන්නේ.. නැත්නම් මීට වඩා වෙනස් ක්‍රමයක් අනුගමනය කරනවාද…
දේශපාලන  බලය තියෙන අයට විතරද මේ රෙප්ටීලියන් එවුන් රිංගන්නේ.. එහෙම නැත්නම් සමාජයේ සාමාන්‍ය පන්තියෙන් අඩි කීපයක් උඩින් ඉන්න දල කාරයින්ගේ ඇගවල් වලටත් රිංගනවා ද…
ආගම දහමේදී අපි ඉගෙන ගන්න කුම්භාණ්ඩයෝ වර්ගයක්ද මේ..
ඇහැට දැකලත් මේ දේ මම විශ්වාස නොකරනවා වගේම මෙතනින් මට එලියට යන්න හම්බවෙලා මේ වීඩියෝ එක පෙන්නලා මම අනික් අයට කිව්වත් ඒ අය මාව විශ්වාස කරයිද..

දෙයියනේ …මම මේ දකින්නේ හීනයක්ද… නැත්නම් ඇත්තටම මම මොකක් හරි මනෝ ලෝකයක හිර වෙලාද…

ආ.හ්.. ආයිත් කවුද  දොරට තට්ටු කරනවා නේද…කවුද ඒ…

රත්නාලෝක බොහොම ශාන්ත දාන්ත විදිහට ගිහිල්ලා කාමරේ දොර ඇරියා.දැන් වෙලාව පාන්දර දෙකත් පහුවෙලා.කාමරයේ තිබිච්ච අඩ ආලෝකයෙන් මම දැක්කා ඒ ආවේ කවුද කියලා?

දෙයියනේ … ත….ලා….

රාජරත්නම් බොහොම හෙමින් මං දිහා බැලුවා… මේ මොනවද මේ වෙන්නේ කියන එක මට හිතාගන්න බැරි වුණා…

“ඩොක්ටර් තලා… හැමදේම හරියට උනා…”

රත්නාලෝක තලාට කිව්වම තලා බොහොම බක්තිමත් විදිහට හිනා උනා..

ඒ.. කියන්නේ … ඒ…කියන්නේ … තලා… තලා…. රත්නාලෝකගේ කෙනෙක්… එහෙනම් මිනිහා ප්‍රතිඥාවට අත්සන් කරලා රත්නාලෝකගේ  පැත්තට ගිහිල්ලා…

“සේරම වැඩේ හරි නේද සර්”

“හරි ඩොක්ටර් … සේරම හරි .. “

“සර් මට අද සර්ට බොහොම විශේෂ දෙයක් පෙන්නන්න තියෙනවා.”

තලා එහෙම කියන කොට නිකමට වගේ මගේ පිට කොන්ද සීතල වෙලා ගියා…ඒ මොන
කෙන්ගෙඩියක් ගැනද ඒ කිව්වේ..

“ඊට ඉස්සෙල්ලා කියන්න ඕනේ සර්…  හෙට ඉඳලා අපි අපේ ඡන්දෙට වෙහෙසෙන්න වෙනවා.ජනාධිපති ධූරයේ ඉන්න අවස්ථා දෙකම සර් ගෙ දැන්  ඉවර වුණත් තුන්වෙනි අවස්ථාවත් කොහොම හරි ගන්න පුළුවන්ද කියන එක සෙත්ශ්‍රී ට බලන්න කියලා මං කිව්වා . ජනතාවගේ කැමැත්තෙන් ඔබතුමාට තුන්වෙනි පාරත් රට බාරගන්න කියලා කියනවා නම් …. නෑ මං කියන්නෙ ඒ තැනට අපි මිනිස්සුන්ව මෙහෙයවන්න ඕන… ඒක ලොකු කැම්පේන් එකක් … “

“ඩොක්ටර් … වෙල්ඩන්… ඒ කැම්පේන් එක සාර්ථක කරගන්න පුළුවන් වුණොත් අපිට තවත් අවුරුදු කීපයක් මේ විදිහටම මේ සෙල්ලම ගෙනියන්න පුළුවන්…
ඩොක්ටර් ..  මේ පාර  ඉලෙක්ෂන් එකේදි අපි ගොඩ ගියොත් මම ඩොක්ටර්ට වෙලද  ඇමතිකම දෙනවා. ටෙන්ඩර් වලින් ඩොක්ටර් ට ආත්ම හතකට ගොඩ යන්න පුළුවන්. එනිවේ ඩොක්ටර් .. මොකද කරගත්තේ .. අර කොලුපැටියාගෙන් වැඩේ කරගත්තද… “

රත්නාලෝක තලාගෙන් එහෙම ඇහුවම තලා හයියෙන් හිනාඋනා .
ඒ වගේ අසික්කිත හිනාවල් මම දැකලා තිබුනේ.. චිත්‍රපටිවල දුෂ්ඨයා හිනාවෙනකොට  විතරයි.

” ඒවා සේරම හරි… ඔය වගේ හිගන පැටව් පාරවල් වල කොච්චර ඉන්නවද.. අපේ වගේ රටවල් වල ඕවා පහසු ඒක තමයි… අපි කවදාවත් ඔය පාරවල් වල ඉන්න හිඟන්නන්ව නැති කරන්න වැඩපිළිවෙලක් ඇති කරන්නේ නැතුව ඉන්න එක තමයි හොඳ… නැත්නම් අපි කොහොමද ජීවත් වෙන්නේ..”

මේ කතා කරන්නේ තලම්මැහැර මද….මගේ විශ්ව විද්‍යාල අති ජාතමිත්‍රයාමද…හැම කෙනෙක්ගෙම සැප විතරක් හිතපු මනුස්සයද..රත්නාලෝක කියන අමනුෂ්‍යයා අල්ලන්න මුල ඉඳලම බොක්කෙන් උදව් කරපු මනුස්සයාද.. තලංමැහැර වෙනස් උනේ කොතන ඉඳන්ද…අවසානයේ මහා පාවා දෙන්නෙක් වුණා…අහිංසක ප්‍රහාන් …උඹ කොහෙද…

තලම්මැහැර ගේ කතාව අහගෙන හිටපු මගේ ඇඟ සීතල වෙලා ගියා.ඒ කියන්නේ මු..
ශක්තිය උරාගන්නේ වෙන ක්‍රමයකට… දෙයි හාමුදුරුවනේ…
පොඩි ලමයින්ගෙන්… රත්නාලෝකයා කලල වලින්…
මූ… පණ තියෙන ළමයින්ගෙන්…

“ඒක නෙමෙයි සර්… බඩුවක් පෙන්නන්නද….”

එහෙම අහපු තලා රොබෝ කෙනෙක් වගේ අපේ කබඩ්එක පැත්තට ආවා….

රාජරත්නම් මගේ මූණ දිහා බැලුවා.
ඇසිල්ලකින් රාජරත්නම් එයාගේ තුවක්කුව එලියට ගත්තා.

තලම්මැහැර පටාස් ගාලා කබඩ් එක ඇරියා..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here