” අනුහස් මේ බලන්නකෝ ”
මහීෂා හිටියේ ෆෝන් එකට මූණ ඔබාගෙන. අනිවාර්යෙන්ම ෆේස්බුක් එකේ දැක්ක මොකක් හරි පෙන්නන්න තමයි මහීෂා ලෑස්ති වෙන්නේ කියලා අනුහස් දන්නවා. laptop එක දිහා බලාගෙන office එකේ වැඩක හිටපු අනුහස් ඕනෑවට එපාවට වගේ මහීෂාගේ ෆෝන් එකට එබුනේ අනුන්ගේ දේවල් ගැන හිතන්න එච්චරම වුවමනාවක් නැති නිසා.
” ඔයාට මෙයාව අඳුරන්න පුළුවන්ද ? ”
මහීෂාගේ ඇස් තිබුණේ පුදුමයෙන් මහත් වෙලා. ඇය පෙන්වපු ඡායාරූපය දිහා අනුහස් ටික වෙලාවක් බලාගෙන හිටියා. දැකලා හුරු පුරුදු වුණත් ඒ තරුණිය කවුද කියලා එකපාරටම අඳුර ගන්න අනුහස්ට පුළුවන් වුනේ නැහැ.
” හොඳට දැකලා පුරුදුයි මහී. ඒත් කවුද කියලා ඔලුවට එන්නේ නැහැ ”
” මේ සෙව්වන්දි. අපේ බැච් එකේ හිටියේ.අපේ wedding එකටත් ආවේ “
” මොකක් ? කෝ ආයෙ පෙන්නන්න ෆොටෝ එක ? ”
ඒ සැරේ නම් අනුහස් උනන්දුවෙන්ම ඒ ඡායාරූපය දිහා බැලුවා.
” මෙයා මොඩ්ලිංවත් කරනවද ? සෑහෙන වෙනස් වෙලා නේ ? ”
” ඒක තමයි අනුහස් බලන්නකෝ. එයා හිටියෙ නම් කොහොමද ? අනේ මන්ද මෙච්චර සුදු උනේ කොහොමද කියලා. ෂුවර් එකටම මොකක් හරි ක්‍රීම් එකක් ගානවා ඇති. අපේ වෙඩින් එකට එනකොට එයාගේ පාට මතකනේ. ඊටත් වඩා කළුයි ඉස්කෝලෙ යන කාලේ ”
මහීෂා තාමත් සෙව්වන්දිගේ ඡායාරූප පිරික්සන ගමන් හිටියේ.
” මෙයා අලුතෙන් facebook account එකක් හදලා මට request එකක් දාලා තිබුණේ. මේකෙ ඔක්කොම තියෙන්නේ අලුත් ෆොටෝස්. කොහොම මෙහෙම ලස්සන උනාද දන්නෙ නෑ. බලන්නකෝ අනේ අපි.ඉස්කෝලෙ යන කාලෙට වඩා වැඩි වෙනසක් නෑ ”
මහීෂාගෙත් ඇගේ ළඟම මිතුරියන්ගේත් ඊළඟ සාකච්ඡාව වුණේ සෙව්වන්දිගේ මේ වෙනස ගැන.
” මම කියන්නද වැඩක් ? ”
සමූහ දුරකථන ඇමතුමක් අතරතුරේදී එහෙම ඉශානි
” අපි පොඩිවට gettogether එකක් ලෑස්ති කරමු . එතකොට සෙව්වන්දි එයි නේ ”
” එයා එහෙම වැඩිය එළියට යන කෙනෙකුත් නෙමෙයි නේද ? ”
හැමෝගෙම කතා බහ තිබුණේ සෙව්වන්දිගේ ලස්සන වීමේ රහස ගැන. ඒ වෙනුවෙන්ම මිතුරු හමුවක් ලෑස්ති කර ගන්න කට්ටිය කතාබහ කරගත්තත් ඊට කලින් සෙව්වන්දි ගෙන්ම හැමෝටම ආරාධනාවක් ලැබුණා.
” සෙව්වන්දි ඔච්චර සුදු වෙලා ලෑස්ති වෙලා තියෙන්නේ වෙඩින් එකට අනුහස් ”
මහීෂා අනුහස්ට කිව්වේ රෑ කෑම අතරතුරේදී.
” ආ එහෙමද ? wedding එක ලං උනාම ඉතින් ඔය සැලොන් වලින් අනම් මනං ට්‍රීට්මන්ට් කරනවනේ. ඒ නිසා වෙන්නැති ඔච්චර ලස්සන වෙලා තියෙන්නේ. මතක නැද්ද ඔයත් කීප සැරයක්ම ෆේෂල් කරන්න ගියේ ”
” ඒ උනාට මේ සුදුවිල්ල එහෙම එකක් නෙමෙයි අනෙ. පේන්නේ නැද්ද අත පය වල පාටත් ඔක්කොම වෙනස් වෙලා ”
” හරි ඉතින් එයාට මොකක් උනත් මොකද දැන් ? මෙච්චර මේ ප්‍රශ්න තියෙන රටේ ඔයාටයි ඔයාගේ යාළුවන්ටයි වෙන වැඩක් නැද්ද සෙව්වන්දි ගැන හොයනවට වැඩිය ? ”
” එහෙම නෙමෙයි ඉතිං අපිත් ආසයිනේ ඒ වගේ ලස්සන වෙන්න ”
මහේෂා කිව්වේ ඇහෙන නෑහෙන ගානට.
සති කිහිපයකට පස්සේ සෙව්වන්දිගේ විවාහ මංගල උත්සවය පැවැත්වුණා. හැමෝම ඒකට සහභාගී උනේ හරිම උනන්දුවෙන්.
” ඔයා හරි ලස්සන වෙලා සෙව්වන්දි “
” ඔයා පාට වැටිලා ”
” බලන්නකෝ වැඩිය මේකප් එකක් නැතුවත් ඔයාගේ ලස්සන ”
” ඔයා කොහොමද අනේ ඔච්චර ලස්සනට වෙඩින් එකට ලෑස්ති උනේ ”
මිතුරියන්ගේ කෙළවරක් නැති ප්‍රශ්න වලට උත්තර දෙන්න සෙව්වන්දි පැකිලුනේ නැහැ
” මගේ යාළුවෙක් වයිට්නින් ඉන්ජෙක්ෂන් කරනවා. මං එයාගෙන් ට්‍රීට්මන්ට් කරගත්තා ”
සෙව්වන්දි කිසිම ගානක් නැතුව එහෙම උත්තර දෙනකොට මිතුරියන් හැමෝම එකිනෙකාගේ මූණ බැලුවා
” අම්මෝ ඔයාට බය හිතුනේ නැද්ද ? ”
එහෙම ඇහුවේ උත්පලා
” මොකටද අනේ බය වෙන්නේ ? මම වැඩේ කරගත්තේ මට විශ්වාසවන්තම හොඳම තැනකින්. හැබැයි ඉතින් බර ගානක් ගියා. තව ඉස්සරහට treatment කරන්නත් තියෙනවා ”
සෙව්වන්දි කියන්නේ උජාරුවෙන්. තමන්ගේ විවාහය දවසේ හැමෝම තමන් දිහා උනන්දුවෙන් බලන හැටි දැක්ක නිසා ඇය හිටියේ ඕනෑවටත් වඩා ආඩම්බර වෙලා.
” ඔයාගේ හස්බන්ට සල්ලි තියෙන නිසා හොඳයි ඉතින් ”
මහීෂා එහෙම කිව්වේ ටිකක් එහාට වෙන්න තමන්ගේ මිතුරන් එක්ක කතාවක නිරත වෙලා හිටපු සෙව්වන්දිගේ සැමියා දිහා බලාගෙනයි.
” ඉතිං ඔයාලගේ ප්රශ්නය විසදෙන්න ඇති නේද දැන් ? ”
අනුහස් කිව්වේ සෙව්වන්දිගේ වෙඩින් එකට ගිහින් ගෙදර එන අතරේ
” සල්ලි තියෙනවනං ඉතින් මටත් ඔය වගේ ලස්සන වෙන්න පුළුවන් අනේ ”
” ඔයාට පිස්සුද මහි ? ඕවයෙ තියෙන සයිඩ් ඉෆෙක්ට්ස් ගැන අහල නැද්ද ඔයා ? ”
” ඒ ඉතින් බාල තැන් වලින් කරගත්තමනේ. සෙව්වන්දි කරා වගේ හොඳ තැනකින් කරගත්තනම් මුකුත් අවුලක් වෙන එකක් නැහැ. බලන්නකෝ එයාගේ ලස්සන. ඉටි රූපයක් වගේ. මටත් වඩා කලුවට හිටපු එක්කෙනා ”
” ඕව කරගන්න ගිහින් තියෙන ලස්සනත් නැති කරගන්නේ නැතුව ඉන්න මහි. සල්ලි වලට කරන්න දෙයක් නැති මිනිස්සුන්ට ඕවා හොඳයි ”
අනුහස් එහෙම කිව්වම මහීෂා නිහඬ උනත් ඇයටත් ඕන උනේම සෙව්වන්දි වගේ ලස්සන වෙන්න.
සති ගානක්ම යනකම් සෙව්වන්දිගේ විවාහයේ විවිධ ඡායාරූප ෆේස්බුක් එකේ පළ වෙනකොට මහීෂා ඒවා අනුහස්ට පෙන්වන්න අමතක කළේ නෑ. ඒ අතරෙම ඇගේ ලස්සන ගැන කතා කරන්නත් මහීෂා උනන්දු වුනා.
” ඔයා කැමති නැද්ද ඇත්තටම මම ලස්සනට ඉන්නවට ? ”
ඉඳලා හිටලා මහීෂා අනුහස්ගෙන් එහෙමත් ඇහුවා.
” අනේ ඇත්තට ඔයාට බැරි වුනානේ ඔය පිස්සුව ඔලුවෙන් අයින් කරගන්න ”
එක දවසකදී අනුහස් එහෙම උත්තර දුන්නේ ඇත්තටම තරහෙන්.
මාස කිහිපයකට පස්සේ හවසක සුපිරි වෙළෙඳ සැලකදී මහීෂාට තමන්ගේ මිතුරියක් වුන උත්පලාව මුණගැහුනේ අහම්බෙන්.
” අනේ කොච්චර කාලෙකට පස්සෙද උත්පලා ”
මහීෂා උත්පලාගේ අතින් අල්ලගත්තෙ ගොඩක් සතුටින්.
” මං හිතන්නේ අපි සෙව්වන්දිගේ වෙඩින් එකට පස්සෙ මේ හම්බ උනාමයි. කොහෙද ඉතින් මේ වැඩත් එක්ක යාළුවො ටික සෙට් වෙන්නවත් කතා කරන්නවත් වෙලාවක් නෑ නේ මහි ”
” ඒකනේ. අනූහස්ටත් නිවාඩුවක් නැහැ. මේ පුළුවන් වෙලාවේ තමයි අපි දෙන්න බඩු ගන්න ආවෙ. ඔයාට හම්බුනානේ මෙයාව සෙව්වන්දිගේ වෙඩින් එකේදි ”
” ඔව්. ඔයා දන්නවද සෙව්වන්දිට වෙලා තියෙන වැඩේ ? “
උත්පලා මහීෂා ගෙන් ඇහුවේ කටහඬ ටිකක් පහත් කරලා.මහීෂා අනුහස් දිහා බලලා ආයෙමත් උත්පලා දිහා බැලුවා
“ඇයි මොකද වෙලා තියෙන්නේ ? කාලෙකින් එයාව ෆේස්බුක් එකේ දැක්කෙත් නෑ ”
” එයා අර මොකක්ද ඉන්ජෙක්ෂන් වගයක් ගහලා එකපාරටම ලස්සන වෙලා ආවා නේ .ඔයාට මතකද ? ”
” ඔව් ඉතින් ? ”
” මට සෙව්වන්දිව ළඟදි හම්බුනා hospital එකේදි. මෙයා දිගටම ඒ treatment කරලා තිබුණා. අන්තිමට කරපු එක ලොකු treatment එකකින් පස්සේ මෙයාගෙ ඇඟේ ලොකු ලොකු පැචස් වගයක් එන්න අරගෙන. දැන් ඒවට බෙහෙත් කරනවලු සෑහෙන සල්ලියක් වියදම් කරගෙන. ඩොක්ටර් කියලා තියෙන්නේ ඔය ගහපු ඉන්ජෙක්ෂන් වල සයිඩ් ඉෆෙක්ට්ස් කියල ”
මහීෂාත් අනුහසුත් මූණෙන් මූණ බලා ගත්තා
” ඔය ප්‍රශ්න නිසා සෙව්වන්දි ගෙ හස්බන්ඩ් එයාව අඩුම ගානේ පාටි එකකටවත් එක්කගෙන යන්නේ නැහැලු. ඒ දෙන්න අතරත් ප්‍රශ්නලු සෑහෙන්න ”
ආපහු ගෙදර එන අතරෙදිත් මහීෂා වචනයක්වත් කතා කළේ නෑ. හැබැයි සෙව්වන්දිට වෙලා තියෙන දේ ගැන ඇයට දැනුන ලොකු දුකක්.
” ඔය දේවල් වෙන්න කලින් මම ඔයාට කිව්වනේ මහී. අනිත් අය කරන පලියට දේවල් කරන්න යන්න ඕනෙ නෑ කියලා දැන්වත් තේරෙනවද ? ඔයා සෙව්වන්දිට කෝල් එකක් දීලා ගිහින් ඒ ළමයාව බලල එන්න හෙට අනිද්දට ”
අනුහස් එහෙම කිව්වේ නාන කාමරයට යන අතරේ .