තව එක කෙල්ලෙක්…

“Young TV Singing Star තරගයේ ජයග්‍රාහකයා වන්නේ ගීතිකා රාජරත්න”

 තමන්ගෙ දිනුම ගැන තමන්ටත් වඩා සතුටු වෙච්ච ප්‍රේක්ශකාගාරයේ උන්න රසිකයො සන්තෝසෙන් උඩ පනිනව දැක්කම ගීතිකාට හිතුනෙ ඇත්තටම වටිනම සම්මානෙ මේ ජනතා සම්මානෙ නේද කියල

 මිනිස්සු තමන්ව දිනවල තියෙන්නෙ, දිනවන්න එස් එම් එස් එවල තියෙන්නෙ ඇත්තටම තමන්ට තමන්ගෙ ටැලන්ට් එකට ආස හන්ද නේද කියල ගීතිකා ආයෙ ආයෙ හිතුවා

 “දැන් මදෑ ඔය එකම වීඩියෝ එක ආයෙ ආයෙ බැලුව” 

කියාගෙන අම්ම එද්දි තමයි තමන් සම්මානෙ භාරගන්න විඩියෝ එක යූ ටියුබ් එකෙන් බල බල උන්න ගීතිකා ෆෝන් එක පැත්තකින් තිව්වෙ. 

 ඒ තිව්වත් ආයෙ ඕක බලනව. 

මිනිස්සුන්ගෙ කමෙන්ට් කියවනව. තමන්ට ලැබිච්ච සම්මානෙනෙ. ඉතින් මොකද වෙන්නෙ බැලුවම

 “කුමාරි ආන්ටි කියනව දැන් ඔයාට නිදහසේ ගෙදර ඉන්න නම් වෙලාවක් එන එකක් නෑලු” 

 අම්මා කියන්නෙ ඇඳේ පැත්තක වාඩිවෙලා හාන්සිවෙලා උන්නු ගීතිකාගෙ කකුලට තට්ටු කරන ගමන්. 

අයියල දෙන්නෙක් මැද්දෙ හැදිච්ච හන්ද ගීතිකා කෙල්ලෙක් කියනවට වඩා හොඳයි කොලු බාගයක් කියන එක. 

අඳින්නෙ පලඳින්නෙ හැසිරෙන්නෙ පවා කොල්ලෙක් වගේ 

 “තහංචි දාලා ලමයි හදන්න බෑ. එහෙම හැදුවත් ලොකුවෙද්දි උන් හැදෙන්නෙ උන්ට ඕන විදියට” කියල රාජරත්න මහත්තය ඉස්සර ඉඳල කියන හන්ද කොලු බාගයක් වගේ උස් මහත් වෙන්න කෙල්ලෙක් වෙච්ච ගීතිකාට නම් ගෙදරින් ප්‍රශ්න ආවෙ නෑ 

 “ඇයි ඒ?”

 “ඔයාට තියෙන ජනප්‍රියත්වය එක්ක එක දිගට ශෝස් ඒවි කියල ආන්ටි කියන්නෙ”

 ඒ කතා බහේ විදියටම ගීතිකාට පලවෙනි ශෝ එක ආවෙම ගමෙන් ඈත තැනක. 

කුරුණෑගල ඉඳල නුවර යන එක මහ දෙයක් නොවුනට ශෝ එකේ සින්දු පුරුදු වෙන වැඩ, ප්‍රැක්ටිස් කරන වැඩ එක්ක උදේම ගිහින් ඒවට මහන්සි වෙන්න ගීතිකාට උනා. 

හැබැයි ඒ හැම දෙයක්ම කලේ හරිම සන්තෝසෙන්. 

 මේ තමන්ගෙ පලවෙනි ශෝ එක. තමන්ට ආදරේ කරන රසිකයන්ව හමුවෙන තැන.

 “මොකද්ද ඇඳගෙන යන්නෙ?” අම්මා එහෙම අහද්දි තමයි ගීතිකාටත් මතක් උනේ ඒක. 

 “අභිලාශි අක්ක නම් සාරි අඳින්නෙ. මං කොහොමද සාරි අඳින්නෙ?”

 “අනේ මේ මෙයා සාරි ඇඳන් ගියොත් බැරිය. ස්ටේජ් එක උඩ සාරිය පැටලිල වැටෙයි. ගවුමක් අන්තිමට ඇන්දෙ කවද්ද කියනවකො?” 

 පොඩි අයිය එහෙම විහිලු කරද්දි ලොකු අයිය නම් කිව්වෙ “පුරුදු කලිසමම ඇඳන් යන්න” කියලමයි.

 කොල පාට කාර්ගො පෑන්ට් එකට කලු ටී ශර්ට් එක යට කරගත්ත ගීතිකා හැමදාම දාන සිල්වර් මාලෙයි, දිගටම විදපු කනට කරාබු සෙට් එකයි දාගත්තා. 

 කොටම කොටම කොන්ඩෙ පොඩි පෝනියයි, බෙල්ලෙ ඉඳල පිට දිගට ගහපු ටැටූ එකයි එක්ක සුපුරුදු විදියට කණ්ණාඩියට හිනා උනා 

 “ආකාහේ තාරකා පිරී 

දිදුලයි ඔබේ දෙනයන වගේ 

මං ඉතින් පොළොවේ ඉඳන් 

සැනසෙමි මෙසේ පුදමින් සෙනේ 

 තුරු වදුලේ නෙක මල් පිපී

 සුවඳින් පිරේ හරියට ඔබ වගේ 

මං එමී සුළඟක් වෙලා 

ඔබ ළඟ රැඳී පුදමින් සෙනේ” 

 මිනිස්සු පිස්සුවෙන් වගේ අත්පොඩි ගහද්දි අවසාන සින්දුවත් කිව්ව ගීතිකා ස්ටේජ් එකෙන් බැහැල වාහනේට නැගල ගෙදර ආවෙ පුදුම සන්තෝසෙන්.

 මහන්සියටම නින්ද ගියා. 

උදේ ඇහැරුනේ සතුටෙන් උනත් අම්මයි අයියලයි ඉන්නෙ මොකක් හරි හොරයක් හිතේ තියන් වග නොතේරුනා නෙවෙයි 

 හංගගෙන උන්නු හොරේ තේරුනේ ෆෝන් එක අතට ගත්තම.

 තමන් ඊයෙ ගිය ශෝ එකේ පින්තූර ෆේස් බුක් එක පුරා එහෙ මෙහෙ යද්දි ඒ ෆොටෝ වල යට කමෙන්ට් දාහක් තිබ්බත් ඒ හැම කමෙන්ට් එකකම වගේ තිබ්බෙ එකම කතාවක්

 “මෙහෙම උන්ටද බං අපි එස් එම් එස් දැම්මෙ?”

 “කොල්ලෙක් වගේනේ?”

 “නංගි ශුවර්ද කෙල්ලෙක් කියල?”

 “මෙහෙම උන්ට කෙල්ලො කියනවද? ඇඳන් ඉන්න ඒවයි හැටි. තමන්ගෙ ෆෑන්ස්ල ඉස්සරහට එද්දි ඇඳන් එන්න දන්නෙ නැද්ද හොඳට” 

 ඒ හැම කතාවක්ම ගීතිකාගෙ ඇස් අස්සෙ කඳුලක් එක්කහු කරේ නෑ කියන්න බෑ.

 දුක බෙදාගන්න කී දෙනෙක් ආවත් හිතේ කෙලවරක “මිනිස්සුන්ට පේන නිසානෙ මේ ඔක්කොම” කියල අමතක කරන්න ගීතිකාට පුලුවන් උනේ නෑ.

 “මං ආයෙ ස්ටේජ් නගින්නෙ නෑ. සින්දු කියන්නෙත් නෑ” අන්තිමට ගීතිකා එහෙම හිතුවා. 

හිතල විතරක් හිටියෙ නෑ කිව්වා. 

 “පිස්සුනෙ, මෙච්චර අමාරුවෙන් දිනපු එකේ ඔය මිනිස්සු කියන ඒව අහල තමන්ගෙ ගමන නවත්තන එක මෝඩකමක් අනික ඔයා මොනව ඇඳන් ගියත් මිනිස්සුන්ට වැඩක් නෑනෙ නංගි.

 ඔයා සින්දු කියන එකයි එයාලට වැදගත් වෙන්න ඕන. ඔයා සින්දු කියනව අහන්නනෙ එයාලා එන්නෙ. නැතුව ඔයා ඇඳන් ඉන්න එක බලන්න නෙවෙයි

 අනික කවුරුවත් කියන දේවල් අහල තමන් ව වෙනස් කරගන්න හිතන එක නම් මහම මෝඩ කමක් අත්තටු හයිය නම්, පරිස්සමෙන් පියඹල එන්න දන්නවනම් මිනිස්සු කියන කතා වලට බය වෙලා ඒ අත්තටු කපාගන්න හිතන්න එපා.

ඔයාගෙ පර්සනැලිටි එක ඔයාට සැටිස් නම් අනිත් මිනිස්සු ගැන හිතන්නෙ ඇයි නංගි? 

 ඔයා ඔයාගෙ ගමන යන්න. මිනිස්සු කියන කතා හන්ද ඒ ගමන මග නවත්තගන්න එපා” 

 අයියල දෙන්න ගීතිකාව තනිකරල එහෙම ගියේ ගීතිකාට ජීවිතේ ගැන තව ඉගෙන ගන්න හිතන්න දේවල් ගොඩක් ඉතුරු කරල 

 ඉතින්, බාදා ඉස්සරහට ඒවි ඒත් ඒ බාදා වලට තමන්ගෙ අත්තටු කපල දාන්න ඉඩ තියන්න එපා!

More Stories

Don't Miss


Latest Articles