ඔබේ සමේ ස්වාභාවය රැකගන්නේ මෙහෙමයි….

ඔබේ සමේ ස්වාභාවය, එහෙමත් නැත්නම් Skin Texture එක ඔබේ පෙනුම සඳහා සෘජුවම බලපානවා. ඔබේ සම රළු , තෙල් සහිත , පැල්ලම් සහිත , රැලි සහිත හෝ වෙනත් ගැටලු සහිත එකක් වුණත් මේ තත්ත්වයන් මගහරවා ගෙන ඔබට ඔබේ සමේ තත්වය ස්වභාවිකවම වැඩි දියුණු කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ කොහොමද ?

Skin texture එක කියන්නේ මොකද්ද ?

Skin texture එක කියන්නේ ඔබේ සම මතුපිට පෙනුමයි. ඔබ ඔබේ සම ස්පර්ශ කරන විට ඔබට දැනෙන ආකාරයයි.පරිපූර්ණ සමක මතුපිට පෙනුම සිනිදු, නම්‍යශීලී සහ මෘදු විය යුතු වෙනවා. නමුත් බොහෝ දෙනකුට සම මතුපිට පැල්ලම් , වියළි බව , මැරුණු සෛල , කුරුලෑ සහ වෙනත් බොහෝ ගැටලු පවතිනවා. එවැනි ව්‍යුහාත්මක ගැටලු පැවතීම නිසා ඔබේ සම අඳුරු සහ වියපත් පෙනුමැති එකක් වෙන්නට පුළුවන්න. මුත් මේ තත්ත්වය ඔබට වෙනස් කරගන්නට හැකියාව තිබෙන අතර එය ඉතා සුළු පියවරයන් කිහිපයක් මගින් කර ගැනීමේ හැකියාවත් තිබෙනවා.

Skin texture එක වෙනස් වීමට හැකි හේතු මොනවාද ?

වයස

වයසට යාම ඔබේ සමේ ස්වභාවයට බලපාන විශාල සාධකයක් ලෙස සැලකෙනවා. වයස සමඟ, සම සිහින් සහ ලිහිල් වන අතර හිරු එළිය සහ පරිසරය වැනි බාහිර සාධක මගින් සිදුවන හානිවලට ගොදුරු වීම පහසුවෙන් සිදුවනවා. ඊට අමතරව වියළි බව , රැළි සහ සිහින් රේඛා ඇති වීමත් සිදුවන නිසා මේ සියලු සාධක මගින් සමේ ස්වභාවය වෙනස් කරනවා.

ජානමය හේතු

ඔබේ ජාන ඔබේ සමේ ස්වභාවයට ප්‍රධාන වශයෙන් බලපාන අතර ඔබේ සම යම් යම් තත්ත්වයන් වලට හා සාධක වලට ප්‍රතික්‍රියා කරන්නේ කෙසේද යන්න තීරණය කරනවා. සරලවම කිවහොත් ඔබේ සම වයසට යන ආකාරය , ඔබේ සමේ කුරුලෑ පවතින ආකාරය , ඔබේ සම එල්ලා වැටීම ආදී සියලු තත්ත්වයන් නියාමනය කරන්නේ ඔබේ සමේ ජානමය සැකැස්මයි.

මැරුණු සෛල

සෑම දින 27කටම වරක් සම අලුත් වීම සිදුවනවා. කෙසේ වෙතත් ඔබේ වයස සමඟ ඔබේ සමට මෙසේ අලුත් වීමේ හැකියාව අඩුවෙනවා. මෙය සිදුවන්නේ කොලජන් නිෂ්පාදනය මන්දගාමී වීම නිසායි. මෙහිදී මියගිය සමේ සෛල සම මත එකතු වීමට පටන් ගන්නා අතර ඒවා නිසි කාලයේදී ඉවත් නොකළහොත් සම මත වියළි බව සහ වෙනත් තත්ත්වයන් ඇති වී සමේ ස්වභාවය වෙනස් වෙනවා.

හිරු කිරණින් වන හානි

හිරු එළිය ඔබේ සමට සහ එහි තත්ත්වයට දැඩි ලෙස බලපෑම් එල්ල කරනවා. සම පිලිස්සීම, ලප ඇතිවීම, කැලැල් මතුවීම සහ සිහින් රේඛා ඇති වීම බොහෝ තත්ත්වයන් ඇති විය හැකි නිසා හිරු එළියෙන් සම ආරක්ෂා කර ගැනීම අතිශයින්ම වැදගත්.

දුම් පානය

ඔබේ සම සහ එහි ස්වභාවයට බලපෑම් එල්ල කළ හැකි තවත් සාධකයක් ලෙස දුම් පානය හඳුන්වන්නට පුළුවන්. නොමේරූ සම ඉක්මනින්ම වයස්ගත වීම , කොලජන් නිෂ්පාදනයට බාධා එල්ල වීම, සම අලුත් කිරීමේ ක්‍රියාවලියට බාධා එල්ල වීම සහ සමේ නම්‍යශීලී බව අවම කිරීම වැනි තත්ත්වයන් දුම් පානය නිසා ඇතිවිය හැකියි.

විජලනය

ඔබ ප්‍රමාණවත් තරම් ජලය පානය නොකරන විට ඔබේ ශරීරය විජලනය වීම. ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම ඔබේ ශරීරයට වගේම සමටත් වැදගත් වනවා. විජලනය හේතුවෙන් ශරීරය සම හරහා විෂ ඉවත් කිරීමට අසමත් වීම නිසා සම වියලීමට ලක්වීම, දුර්වර්ණ වීම, අකලට රැළි වැටීම සහ විවිධ සමේ රෝගවලට ලක් වීම සිදු වෙනවා.

ආතතිය

ඔබේ සම ඔබේ මානසික ආතතිය හොඳින් හඳුනාගන්නෙකු ලෙස සැලකෙනවා. ඔබ මානසික ආතතියට ලක්ව සිටින විට සමේ ඇති සංවේදී තන්තු මගින් මොළයට සිදුවන වෙනස්කම් ප්‍රකාශ කරනවා. එය සංඥා වලට ප්‍රතිචාර දක්වනවා. මෙමගින් කුරුලෑ සහ සමේ පවතින වෙනත් රෝග උග්‍ර අතට හැරීම සිදුවෙනවා.

Skin care routine

ඔබ නිසි ලෙස skin care routine එකක් පවත්වාගෙන නොයාමත් සමේ ස්වභාවයට බලපෑම් එල්ල කරනවා. සම නිසි ලෙස පිරිසිදු නොකිරීම, සමට අවශ්‍ය පෝෂණය සහ තෙතමනය ලබා නොදීම නිසා ඔබේ සම රළු, වියළි ස්වභාවයක් ගන්නා අතර සමේ දීප්තිය නැතිවී අඳුරු ස්වභාවයක් ගැනීම සහ විවිධ ආසාත්මිකතා පහසුවෙන් ඇතිවීම සිදු වෙනවා.

Skin texture එක ස්වාභාවිකවම වැඩි දියුණු කරගන්නේ කොහොමද ?

සජලනය වී සිටින්න

ඔබේ මුහුණේ සහ සමේ ස්වභාවය වැඩි දියුණු කර ගැනීම සඳහා ඔබට ගත හැකි පහසුම පියවර වන්නේ ඉතා හොඳින් ජලය පානය කර සජලනය වී සිටීමයි. මෙමගින් සමේ වියළි බව නැතිවී යාම, සම පෝෂණය කිරීම සහ තෙතමනය රඳා පවත්වා ගැනීම සිදු වන නිසා සමේ ස්වභාවය ඉතා ඉක්මනින් යථා තත්ත්වයට පත් වෙනවා.

නිවැරදිව exfoliate කරන්න

සම සුමටව පවත්වාගෙන යාමට සහ සමේ සෛල වැඩි දියුණු කර ගැනීමට නම් සමේ මැරුණු සෛල ඉවත් කර ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. නමුත් මෙය සතියකට වරක් පමණ සිදු කිරීම ප්‍රමාණවත් වන අතර නිතර නිතර exfoliate කිරීම මගින් ඔබේ සම රළු වීම සහ ඉතා ඉක්මනින් වියලීම සිදුවිය හැකියි.

තෙතමනය පවත්වා ගන්න

සම අභ්‍යන්තරයෙන් වගේම බාහිරින්ද තෙතමනය පවත්වා ගැනීම අතිශයින්ම වැදගත්. මේ සඳහා දිනපතාම සම පිරිසිදු කිරීමෙන් පසුව moisturiser එකක් භාවිතා කිරීම අනිවාර්යයෙන්ම කළ යුතුයි. මෙමගින් සම සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීම වගේම සම අභ්‍යන්තරයෙන්ම පෝෂණය කිරීමක් සිදුවෙනවා.

විටමින් සී භාවිතා කරන්න

විටමින් C යනු ස්වාභාවික ප්‍රතිඔක්සිකාරකයක් වන අතර එය කොලජන් නිෂ්පාදනය වැඩි කිරීම සඳහා ද සහාය වනවා. කොලජන් නිෂ්පාදනය වැඩි දියුණු කර ගැනීම මගින් සමේ ස්වභාවය ඉතාම හොඳ අතට හැරෙන අතර සමේ පැහැයද ක්‍රමයෙන් වර්ධනය වනවා. විටමින් සී වයස්ගත වීම වැළැක්වීමේ කාරකයක් ලෙස ක්‍රියා කරන අතර එමඟින් රැලි, සියුම් රේඛා, ලප, අඳුරු පැල්ලම් සහ හයිපර්පිග්මන්ටේෂන් ඇතුලු සමේ බොහෝ තත්ත්වයන් සමනය කර ගැනීම සඳහා උපකාරී වෙනවා.

ඔබේ ආහාර වේලට අවධානය යොමු කරන්න

ඔබ පරිභෝජනය කරන ආහාර ඔබේ සමේ ස්වභාවය කෙරෙහි සෘජුවම බලපානවා. ඔබ අධික තෙල් සහිත, පිටි සහ සීනි අධික ආහාර නිතර පරිභෝජනය කරන කෙනෙක් නම් ඔබේ සම මත පහසුවෙන් කුරුලෑ ඇතිවීම දක්නට ලැබෙනවා. ඔබේ ශරීරය සහ සම නිරෝගීව තබා ගැනීමට නම් නැවුම් එළවළු පලතුරු , කොළ වර්ග සහ වෙනත් සෞඛ්‍ය සම්පන්න ආහාර නිතර පරිභෝජනය කිරීම සිදුකළ යුතුයි.

Sunscreen භාවිතා කරන්න

ඔබ දිවා කාලයේ පිටතට යන කෙනෙක් නම් අනිවාර්යෙන්ම ඔබේ සම හිරු එළියෙන් ආරක්ෂා කර ගැනීම කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. ඒ සඳහා හොඳ ගුණාත්මක භාවයකින් යුතු හිරු ආවරණ නිෂ්පාදනයක් භාවිතා කිරීම කෙරෙහි උනන්දු වන්න.

දුම්පානයෙන් වළකින්න

දුම්පානය අත්හැරීමෙන් සම ක්‍රම ක්‍රමයෙන් හානියට පත් වීම අවම කර ගැනීමටත්, වයසට යෑමේ ලක්ෂණ ඇති වීම මන්දගාමී කර ගැනීමටත්, සමේ සිනිඳු බව පවත්වා ගැනීමටත් උපකාරී වෙනවා.

මෙවැනි පියවර අනුගමනය කිරීම මගින් ඔබට ඔබේ සමේ තත්ත්වය දිනෙන් දින වර්ධනය වන ආකාරය දැක ගත හැකි වනවා. ඒ වගේම මෙම පුරුදු ඔබේ දෛනික දින චර්යාවට එකතු කර ගැනීම සහ ඒවා පවත්වාගෙන යාමත් වැදගත්.

Related Articles

Don't Miss


Latest Articles