ප්‍රේමයේ මන්දහාසිනි 22

අප ව්‍යාපෘතිය පිළිබඳව යම් දෑ සාකච්ඡා කලෙමු. මහේල සවස පිටතට ගියේය. ඉන් පසුව යලි සාකච්ඡා වටයක් විය. එනිසාම රැය කෙටි විය. 

පසුදින මහේල මා කැටුව අප මුලින් හමුවූ හෝටලයට ගියේය. පිළිගැනීමේ කවුන්ටරයේ උන් තරුණිය මුල් හමුවට වඩා වැඩි ලෙංගතු සිනහවක් මා වෙත පෑවාය. මම පෙරළා ඇයට සිනාසුනෙමි. ඒ සිනහවන් තුල වන ව්ව්‍යාජ බව ඔබට පෙනෙන්නට ඇත. සැබෑය, තවම මම මගේ සිනහව වග නොවෙමි. 

” හැම එකාටම හිනාව දාන්නේ නැතුව ඉන්නවා.. ඔහොම කරට ගත්තා ම මේවාගේ වගකීමක්  දුන්න දාක කරගන්න බැරි වෙනව …”

මට අගක් මුලක් නොවැටහුණ කතාවක් මහේල මට කීවේ විදුලි සෝපානයේ දොර වැසෙන ඇසිල්ලටය. මම එය නොවැටහුණ නිසා මහේල දෙස නිහඬවම බලා උන්නෙමි.

” මට ඇඟිල්ලෙන් ඇණ ඇණ හැම එකම පැහැදිලි කරන්න බෑ… බෙහෙත් බිව්වද ?…

කියන්නට ආ දෙය ගිලගෙන, මහේල එක් වරම එලෙස විමසද්දී මම හිස සැලුවෙමි. 

අප මහේලගේ කියුබිකල් එක තුළට ඇතුලු වන තෙක් මට යම් තිගැස්මක් තිබුණි. එහි වන අනෙක් කාර්‍යමණ්ඩලය මා  දෙස කිනම් කෝණයකින් බලනවාදැයි මට පැහැදිලි නැත.  එනිසාම ඔවුන් පසු කරගෙන එන විට මට දැනෙන තිගැස්ම ඔබටද වැටහෙනවා ඇතැයි සිතමි.  

” හොර පූසියෙක් වගේ මේක ඇතුලට රිංගගන්න එක නෙවෙයි වැඩේ අසේකා… මෙතන ඉන්නේ ඔයාගේ ස්ටාෆ් එක … ඔයා මූව් වෙන්න ඕනි …”

මට හිඳගන්නට හෝ නොකියා, ඔහුට අයිති අසුනට වැටුණ අරන්දර පොඩි කොලුවා එහෙමද කීවේය. මම එයට කිසිත් පවසන්නට උත්සාහ නොකර උන්නෙමි.  මහේල එයටද කෝප ගත්තේය.

” මගේ ස්ටාෆ් එක මෙහෙ නෙවෙයි ..රෙස්ටෝරන්ට් එකේ.. මට එහෙ යන්නයි ඕනි …. ” 

”  ආයේ ඔයා එහෙ යන්නේ නෑ අසේකා.. ගියත් යන්නේ ඒ උන්න තාලෙන් නෙවෙයි .. ඒ නිසා මේකට ඇජෙස් වෙන්න …”

මහේල අරන්දර මගේ ජීවිතය ගැන තීරණයක් ගෙන අවසන් වග අඟවමින් කීවේය.  

” මට මෙහෙ ඉන්න බැහැ…”

” මේ ප්‍රශ්න් විසඳගත්ත ගමන්  ඔයාට මං කියන දේවල් කරන්නම වෙනවා.. එතකොට මෙහෙ ඉන්න බැහැ කියන එකත් ඔටෝ ඩික්ලයින් වෙනවා…”

මහේල එලෙස පවසා ජංගම දුරකතනය ගෙන කිසිවෙකුට පණිවිඩයක් කීවේය. 

” හවසට ෆැක්ට්‍රි එකට යන්න ඕනි… ඔයාට අසනීප අමාරුවක් නෑනේ ?”

මහේල ඉන් පසුව විමසුවේය.

” ඇයි ඔයා මට මෙහෙම කරන්නේ ? මං මේ චොකලට් මඟුලක් ගැන මුකුත් දන්නේ නෑ …එහෙව් මාවම ඇයි මේකට ගාවගන්නේ .. ඔයාට ගැලපෙන , මේ වැඩේට ගැලපෙන කෙනෙක් සෙට් කරගන්නකෝ …” 

ඉතින්, ඔබද දනී . අසේකා පණ්ඩිතරත්න ඒ කීවේ සිතට දැනෙන සැබෑ සත්‍ය නොවන වග. සැබැවින්ම මහේල අරන්දර ගේ දෑස් මානයේ අදින් මතු හැම තත්පරක් ම ගෙවෙනවානම් යන ප්‍රාර්ථනාව අසේකා පණ්ඩිතරත්න ගේ හිත තුළ දළු ලමින් පැළ වෙන වග. 

එහෙත්, පැහැදිලි නැති අනාගතයක් වෙනුවෙන් බලාපොරොත්තු ගොඩ නඟා ගැනීමට අසේකා පණ්ඩිතරත්නට සවියක් නැත. 

මහේල අරන්දර සූදානම් වන්නේ කුමකටදැයි අපට වැටහෙන්නේ නැති නිසා ඔහු කියවා ගන්නට කිනම් හෝ උප්පරවැට්ටියක් යෙදුවාට කම් නැති බව ඔබත් සිතනවා නොවේද? 

” මොකද්ද වෙලා තියෙන්නේ අසේකා.. ඔයා දවස් දෙකක් ස්පොයිල් කරා. ආයේ ඇයි ?”

මහේල කෝපයෙන් විමසුවේය.  මම ඒ කෝපයට ගැස්සුණෙමි.  ඒ ගැස්සීම තරමටම වන වේදනාවක් ද මට දැනුණි. මා නිසාවෙන් ඔහුගේ දින දෙකක් නාස්ති වී ඇතිවග ඔබද පවසන්නේද ? 

” මං හින්දා ඔයාගේ දවස් දෙකක් නාස්ති උනාට සමාවෙන්න .. මට යන්න දෙන්න…”

මම එලෙස පවසමින් නැගිට්ටේමි. ඒත් සමඟම  මහේල මා යළි අසුනට වැටෙන තරමේ වේගයකින් නැගිට ම්ම වෙත ආවේය. 

” දවස් දෙක ? දවස් දෙකට සමාව දෙන්නම් … එතකොට අවුරුදු හයකට මොකක්ද කරන්නේ ? තමුන් නිසා මගේ ජීවිතේ නාස්තිවෙලා ගියපු ඒ අවුරුදු හයට මොකක්ද කරන්නේ අසේකා ? කියනවකෝ ඒක … මහ ලොකුවට ගස්සලා දාලා යන්න කලින් ඒක කියනවකෝ …”

ඔහු මා වෙතට එබී උන්නේය. මට හැඬුණි. එහෙත් මහේල ඉන් සැලුණේ නැත.

” මේ ප්‍රොජෙක්ට් එක ඉක්මනට පටන් ගන්න ඕනි …  මම ෆෙස්ටිවල් සීසන් ටාර්ගට් කරන්නේ .. ඒ අදහසින් බැලුවම දවස් දෙකක් පරක්කු උනා කියන එක සෑහෙන ඉශූ එකක් මට …”

මහේල පැවසුවේ නිවෙන්නට උත්සාහ කරන හඬකිනි. එහෙත් ඉන් මගේ කඳුළු නිවුණේ නැත.  මම දෑතින්ම දෑස් පිසලූවෙමි

” අඬන්නෙපා ඕයි .. ඇයි මට මෙහෙම කරන්නේ ?”

මහේල මා අතැර ගොස් අසුනට වැටුණේය. මම ඉකි ගැසීම නවතා ගන්නට  උත්සාහ කලෙමි. 

” ඉන්න බැරිද එහෙනම් … යන්නද ඕනි ?”

මගේ හැඬුම් වෙනුවෙන් තවත් විනාඩි කිහිපයක් ඉවසා බලා උන් මහේල අරන්දර විමසුවේය. මම හිස සැලුවෙමි. මට යන්නට අවැසි නැත. ඒ බව ඔබද , මමද , ඔහුද දන්නෝය එහෙත් අප  සියළු දෙනා හැසිරෙන්නේ එවැන්නක් නොවැටහෙන ලෙසිනි . 

” මගේ ඔලුව  රිදෙනවා අසේකා… හරිම පැටලැවීමයි … ඔයාට නොතේරෙන කාරණා කප්පරක් මගේ ඔලුවේ වැඩ කරනවා … ඔයාට මාව නිවෙන්න කාරණා හදන්න බැරි නම්, නියුට්‍රල් වෙලාවත් ඉන්නකෝ.. ඔයා අඬලා,නෙගටිව් වෙලා විකාර කරනකොට මට පිස්ස් වගේ …”

මට යළි හැඬුණි. අප දෙදෙනාම දුක් විඳිනවා නොවේද ? 

මම අසුනින් නැගිට ගත්තෙමි. මහේල ගේ මේසය වටෙන් ඔහුගේ අසුන වෙත ඇවිද ගියෙමි.  මහේල මගේ ඉණ වටා අත යවා කුසට හිස තද කරගත්තේය. 

මෙහෙම ගෙවා දැමූහවස් වරු නම් කෙතරම් වීදැයි ඔබ තවම දන්නේ නැත. කුසට හිස තියාගන්නට ඉඩක් ලැබෙන හැම මොහොතකම මහේල එහෙම ගුලි වෙන්නට ලෝබ කලේය. මා කොහේ හෝ වැතිරී ඉන්නවා නම් ඔහුට ළමැදේ ඉඩ අනිවාර්යයෙන් අවැසි විය. ඒවා මෙතරම් සුන්දර මතක ලෙසින් පච්ච කෙටී අනාගතයට එන වගක් අප එදවස දැන උන්නේ නැත. 

මහේල ගේ දෙතොල් සෙලවෙනු දැනිණි. සමනල්ලු රංචු පිටිම් සක්‍රීයව නැඟෙනුද දැනුණි.

” අවුරුදු හයක් අපි දෙන්නා තනි තනියෙන් මේ රේස් එක දිව්වා අසේකා… මං ඔයාව දාලා ගියේ ඇයි කියන්න මට හේතු තියෙනවා … මං එච්චර කල් නෑවිත් හිටියේ ඇයි කියන්නත් මට හේතු තියෙනවා .. ඒත් ඒ කිසිම හේතුවක්  සාධාරණ නෑ කියන්නත් මම දන්නවා… 

දැන් මම ඇවිල්ලා ඉන්නේ අසේකා.. මේ ඇවිල්ලා  ඉන්නේ     ඔයා වෙනුවෙන් මුලු ලෝකයක් එක්ක වුනත් හැප්පෙන්න බලාගෙන …. දැන් මං තනි, හයිය මිනිහෙක් අසේකා ..  

මට ඕනි මාව ප්‍රශ්න නොකර ඔයා  මාත් එක්ක ඉන්න … මං කරන දේ මොක වුනත්, මං හරි කියලා විශ්වාස කරන් ඉන්න … මොකද මං දැන් කරන හැමදේම කරන්නේ ඔයාව මගේ කරගන්න.. එකට විතරයි …”

අරන්දර පොඩි කොල්ලාගේ කොණ්ඩය නොසෑහෙන්න වෙනස් වී තිබුණි.  එහෙත් ඒ රැළි ගැසුණු කෙහෙ රැල් අස්සේ වූ සැහැල්ලුව පමණක් නොවෙනස්ව තිබුණි.  මම ඒ සැහැල්ලුව අස්සේ අතැඟිලි අතරමං කරෙමි. සිත   මහේල අරන්දර ගේ වචන වල අතරමං කලෙමි. දැන් ගතින්ද, සිතින්ද මම මහේල අරන්දර තුළ අතරමංවය. 

” සොඳුරුතම කවිය මගේ ලඟින් තියා

සංසාරයම ඔබ අරන් ගියා…”

ෆේස්බුක් කවියෙකු වන ඉලක්ශ ජයවර්ධන ගේ කවියක් මහේලගේ මේසය මත වන වීදුරුව ට යටින් දුටුවේ ඉන් පසුවය.   ඉනික්බිති අසේකා පණ්ඩිතරත්න මහේල අරන්දර ගේ ආත්මය තුළටද වැදී අතරමං වූවාය.

| අපේක්ෂා ගුණරත්න |

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles