සීත මාරුතේ -20

දිවා ආහාරයෙන් පසු මා වැඩි පුර මගේ ම හීන ලෝකයක් තුළ හිටියා කීවොත් නිවැරදි ය. දැනෙන නො දැනෙන ගාණට මගේ බඳෙහි තැබුණු මුණිවර ගේ අතේ උණුහුම් ස්පර්ශය කියන තැන මම නතර වී සිටියෙමි. සැබවින් එය වූ කලී ඔහු නො මනා අදහසකින් කළ දෙයක් නොවන බව මම දනිමි. ඔහු එසේ කළේ සිය පිරිමි පෞරුෂයෙහි මහත්මා බව පෙන්වා සිටින්නට පමණකි. ස්ත්‍රීන් කෙරේ සිය ගෞරවය දක්වනු වස් පමණකි. ඒ බව දැන වුව මම ඒ මායාව තුළ සිහිනයක රැඳී සිටියෙමි.

දිවා ආහාරයෙන් පසු ගමන ආරම්භ වූයේ ද නිහඬව ම ය. රිය දොර අගුළු ලා ඇති බව සැක හැර දැන ගත් මම, ඊට මඳක් බර වී ගෙන අලස කම නිසා ජංගම දුරකතනයෙන් යූ ටියුබ් වෙත අවතීර්ණ වීමි. මා කිහිප වරක් නරඹා තිබුණ නිසා දෝ එහි ඉහළින් ම වූයේ ගිටාරයක කළු සුදු ඡායාරූපයක් සහිත ‘මේ ගී කාටදැයි’ වීඩියෝවයි. හඬ ඉතාමත් ම අඩු කොට මම එය ක්‍රියාත්මක කරමින් ඇස් දෙක පියා ගතිමි.

“මේ ගී කාටදැයි..මේ ගී කාටදැයි…ඔබ දන්නවා ඇතී..සිත මගේ පිදු හැටී..සිහි වේ නො නැවතී..මේ ගී..”

මේ මොහොතේ මට එය දැනෙන්නට වූයේ මින් පෙර දැනුණා වූ භාවයෙන් නොවේ. මුණිවර මා ළඟ හිඳ මා වෙනුවෙන් එය ගයනවා සේ ය. ගීතයේ අවසානයේ වන පද කරා විදුලි වේගයෙන් මගේ මතකය දිව ගියේ ය.

“කොතැනක සිටියද මේ ලෝ තලයේ සුරකිමි හැම කලේ…සිහි වේ හැම වෙලේ…”

ක්වීන්ස් හෝටලයට ඇතුළු වෙත්දී ඔහු මගේ බඳෙහි අතක් තබා මා ඉස්සර කරත්දී ඒ සුරක්ෂිත බව මට දැනුණා නොවේ ද?

දුරකතනය අල්ලා ගෙන උන් මගේ අතට යම් කිසි බරක් දැනිණ. ඒ මොහොතේ ම අතැඟිල්ලක ස්පර්ශයක් අත්ලට ද දැනුණේ ය. මා තිගැස්සී නෙතු හරින විට ම මුණිවර මගේ දුරකතන තිරය මත ඇඟිල්ල තබා ගීතය ක්‍රියා විරහිත කොට සිය වමතින් යළි සුක්කානම අල්ලා ගත්තේ ය.

මා බලා සිටියේ තරමක දෙගිඩියාවකින් යුතුව ය. ඔහු ඇස් කොනකින් හෝ මදෙස බැලුවේ නැත. ඒ වත මත සිනහ රේඛාවක් හෝ වූයේ නැත. පැත්තට පෙනෙනා ඒ මුහුණ දෙස මම තවත් ටික වෙලාවක් බලා ගෙන සිටියෙමි. නිහඬ බව අප අතරේ ලොකු බරක් ව පැට වී තිබුණේ ය.

හිත අතිශය දොඩමළු ව තිබිණ. හිතන්නට දේවල් ඕනෑ තරම් විය. මම අත් දෙක බැඳ ගෙන සීතල ට ගුලි වුණෙමි. කෙසේ වෙතත් ගැහැනු හිතක් සලිත කළ හැකි තෘප්තියක් මා තුළ වූයේ ය. ඔහු මගේ අවසරයකින් තොර ව ගීතය නතර කොට දැමු එක, මා අමුතුවෙන් උණුහුම් කරන්නට සමත් ව තිබේ. 

ප්‍රේමය ගැන මට සජීවී අත්දැකීම් නැති බව ඇත්ත ය. නමුත් ඒ ගැන මගේ ම වූ අදහස්, හැඟීම් හා නිර්ණායක ගොන්නක් මා සතු ය. විවිධ වයස් වලදී විවිධ මිතුරියන් ඔවුන් ගේ පෙම්වතුන් තෝරා ගනිත්දී මට වූ අදහස් මේ වෙලාවේත් වෙනස් වී නොමැත. පෙම් කරන්නට නම් පිරිමියෙකු දැනිය යුත්තේ පපුවට ය. ඔහු ට කෙතරම් මිල මුදල් තිබෙනවා ද ඔහු ගේ වෘත්තීය හෝ සමාජ තත්වය කෙබඳු ද හෝ ඔහු ගේ අධ්‍යාපන සහතික මොනවාද වැනි සාධක මත එය තීරණය කළ හැකි නොවේ. මුණිවර මා දැක ඇති මගේ යෙහෙළියන් ගේ පෙම්වතුන්ට වඩා වෙනස් පුරුෂයෙකි. ඔවුන් වෙතින් මා දැක ඇති ප්‍රයෝගකාරී චාටු වදන් මුණිවර ට ආගන්තුක සෙයකි. ඔහු රළු බවක් පෙන්වා ගෙන හිඳිනා මිනිසෙකි. ව්‍යාපාරික කටයුතු සිය ලෝකය කර ගෙන සිටිනා මිනිසෙකි. නමුත් මට ඔහු දැනේ. ඔහු ගේ එක ඇස් බැල්මක් මගේ සිරුරේ ඇට මස් ලේ නහර වලට ම දැනේ. සමහර දේවල් දැනුණා ම ඇති ය. කියන්නට ඕනෑ ම නැත. 

ඔහු සිය හිටපු පෙම්වතිය වෙනුවෙන් ගැයුවා යයි මා විසින් චෝදනා කරන ලද පෙම් ගීතය මේ මොහොතේ ඔහු සිය බලය පාවිච්චි කොට මගේ දුරකතනයේ වාදනය වීම ද නවතා දැමුවේ ය. ඒ පිරිමි පෞරුෂය මා පාෂාණිභූත කොට තිබේ. 

ගැහැනියකට, මා වන් ගැහැනියකට උවමනා එහෙව් පුරුෂ මැදිහත් වීමකි. එය වූ කලී දියාරු බොළඳ වචන කෝටි ගණනක් නොවන්නට පුළුවන. ඒ හැඟීම දනවන්නට මේ මොහොතේ මුණිවර විසින් එක වචනයක් හෝ යොදා නො ගන්නා ලදී. නමුත් මා ගල් කොට තබන්නට ඔහු නිහඬ ව ම සමත් වී තිබේ.

ඉන් පසු මා ටික දුරක් පැමිණියේ අසුනේ ගුලි ගැසීගෙන කල්පනා ලෝකයක ය. ඇතැම් මොහොතක මගේ දෑස් පවා පියැවී තිබෙන්නට ඇත. ඒ කොයි තරම් වෙලාවකට පසු දැයි කියන්නට නො දනිමි. මා ගැස්සී ගෙන වාගේ නෙතු හැරියේ රිය නතර වනු දැනී ය.

“තේකක් බීල යං”

ඔහු අසුන් පටිය ගලවමින් කීවේ ය. 

“තේ…දැන්නෙ කෑවෙ”

“මේ පාරෙ යද්දි මෙතනිං තේ එකක් බීල නොගියොත් වැඩක් නෑ”

ඒ වෙලාවේ මා දුටුවේ අර මහා ආඩම්බරකාර ව්‍යවසායකයා තුළ හැංගී සිට ඇති කොලු ගැටයා ය. රියෙන් බසිමින් මම වඩාත් හොඳින් වට පිට බැලුවෙමි.

“මේ අපි යද්දි ගිය පාර නෙවෙයිද…”

“නෑ. මං කිව්වෙ ලස්සන පාරක් කියල…හග්ගලින් බෝඹුරු ඇල්ල උඩුහාවර පාරට දාලයි මේ යන්නෙ. අරක හග්ගලින් මැදවෙල පාරට දාන්න ඕන”

“ලස්සන පාරෙ යනෝ කියල මට කතා කළෙත් නෑ”

මම නෝක්කාඩුවක් පෑවෙමි. ඔහු ට ක්ෂණික ව සිනහ ගියේ ය. අර ලස්සන, වශී කෘත, මායාකාරී පිරිමි සිනහව!

ඒ සිනහව පිපෙන කොට ම ඔහු ඉවතට මුහුණ හරවා ගන්නා එක මොන තරම් අසාධාරණ ද?

“පාරෙ ලස්සන දකින්නෙ කොහොමද නිදි කිර කිර…ඒකයි තේ බොන්න නතර කළේ”

‘දම්රෝ ටී’ යනුවෙන් ලියූ ඉංග්‍රීසි අකුරු පෙළක් කඳු මුහුණතෙහි දිස් වුණි. එය ඉතා හොඳ ඉඩ කඩක් සහිත කදිම අවකාශයකි. චොක්ලට් කේක් හා තේ ඇනවුම් කොට අපි එළිමහන් මේසයක් වෙත පැමිණියෙමු. එතැනට වටපිටාව මැනවින් දිස් වේ. දුර ඈත නිල් කඳු යාය ද හරිත නිම්නය ද දෙස බලා ගෙන උණු හා ප්‍රණීත තේ උගුරක් තොල ගෑමෙහි අමුතු වූ චමත්කාරයක් තිබේ. මේ වගේ සිසිල් කාලගුණයක් තුළ දී සැබවින් ම උණුසුම් පාණයක් කියන්නේ දිව මිහිරකි.

“අම්…”

මම වහා කඳු යායෙන් නෙතු ගෙන විත් මුණිවර ගේ මුහුණ මත තබා විකසිත කළෙමි.

“මං තාම මැරි කරන්නැතුව ඉන්නෙ  පරණ සම්බන්දයක් නිසා කියල අපේ ගෙදර අයයි යාළුවොයි ඔක්කොම හිතන් ඉන්නව”

මම ඇස් පවා ලොකු කොට බැලුවෙමි. මේ සැබෑවක් ද නැත්නම් හීනයක් ද? මා තවමත් මුණිවර ගේ රිය තුළ යන ගමන් නින්දට වැටී සිහිනයක් දකිමින් සිටිනවා ද? මම යන්තමින් අතක් කොනිත්තා බැලුවෙමි. මට රිදුණේ ය. ඒත් ඔහු මා සමගින් ඔහු ගැන ඔය තරම් පෞද්ගලිකත්වයක් ගැන කතා කරාවියි කොහොම නම් විශ්වාස කරන්න ද?

“ඒ සම්බන්දෙ නතර වෙන තැනදි මං එයාවත් ඒ අතීතෙ වළ දාලයි ආවෙ කියල මං ඔය කාටවත් කියන්න ගිහිං නෑ. ඒත් ඒ සිද්දියෙන් පස්සෙ ගෑනු ළමයෙක් ගැන විශ්වාසයක් ඇති කරගන්න මට පුළුවන් වුණෙත් නෑ ඕන වුණෙත් නෑ…ඒකයි මට මැරි කරන්න ඕන කමක් දැනුණෙත් නැත්තෙ. එහෙම මිසක්…අතීතෙ හිටිය කෙනෙක්ගෙ මතකත් එක්ක මං මේ වර්තමානෙ ජීවත් වෙන්නෙ නෑ”

තේ කෝප්පය අතැති ව නැගිට ගත් මුණිවර එහි මායිමේ වූ යකඩ වැට ළඟට ගොස් ඈත බලා ගෙන තේ එක තොල ගාන්නට වූයේ ය. ඔහු පිටුපසින් ගොස් දෑත් බඳ වටා යවා ඔහු ව වැළඳ ගෙන ඒ පිට මත මුහුණ හොවා ගන්නට මට සිතුණේ ය. නමුත් පුටුවෙන් නැගිට ගන්නට හෝ බැරි ලෙස මගේ දෙපා වෙව්ලමින් ද සීතල වෙමින් ද තිබිණ. මම හැකි ඉක්මනින්, නිවෙන්නට පෙර තේ එක බී ගෙන බී ගෙන ගියෙමි. චොක්ලට් කේක් කැබලි දෙක ම අඩක් හෝ නිම නොවී පීරිසි මත වූයේ ය. 

ඉක්මනින් යථාවත් විය යුතු බව මගේ ගැහැනු ඉව විසින් මට දන්වා සිටින ලදී. ජංගම දුරකතනයේ කැමරාව විවර කර ගෙන මා සෙල්ෆි කිහිපයක් ගත්තේ හිතේ වූ ගැස්ම යටපත් කර ගන්නට ම ය.

මුණිවර ඔය ටික මට දැනුම් දෙන්න තීරණය කරන්නට ඇත්තේ ‘මේ ගී කාටදැයි’ ගීතය ක්‍රියා විරහිත කිරීමෙන් පසු අප අපගේ කල්පනා ලෝක වල තනි ව දුරක් එත්දී ය. ආයේ කිසි දා ක ඒ සිද්ධියෙහි එල්ලී නො යන්නෙමැයි මම තීරණයක් ගත්තෙමි. නමුත් ඊට පෙර ඔහු සිටිනා තැනට ගොස් ඇහෙන නෑහෙන ගානට “සොරි මිස්ට මුණිවර” කියා කීවෙමි. ඔහු ප්‍රතිචාර දැක්වූයේ නැත. ඒ නිසා මට ද එය එතෙකින් අවසන් කළ හැකි විය. 

අප යළි ගමනාරම්භ කළ විට නිදිමතක් හෝ කිසිදු ආකාරයක බරක් හිතේ වූයේ නැත. මම උනන්දුවෙන් පාර දෙපස සිරි නැරඹුවෙමි. පාරේ එක් පැත්තක් කන්ද ය. අනිත් පස වගා භූමි ය. හවස් වී ගෙන එන නිසා සීතල මඳක් දැනෙමින් තිබේ. මුණිවර රිය පැදවූයේ වේගයෙනි.

“මේ පාරෙ හදිස්සියෙ යන්න බෑ කියලනෙ උදේ කිව්වෙ”

මගේ චෝදනාවේ අරුත සැනෙන් වටහා ගත් නයින් ඔහු අඩ සිනහවක් පෑවේ ය. 

“මීදුම වැඩි වෙන්න කලින් බෝඹුරු ඇල්ල පේන හරියට යන්නයි ස්පීඩ් ඩ්‍රයිව් කළේ. නැත්තං මේ පාරෙං ආපු එකෙං වැඩක් නැති වෙනව”

කඳුකරයට මොහොතක් ගානේ මිහිදුම කාන්දු වෙනවා සේ ආදරය මගේ හිතට උනා එන්නේ ඇයි කියා මා දන්නේ නැත. ඒ ගැනත් විහිළුවට හෝ සිතිය යුතු නැතැයි තේ බොත්දී මම සිතුවෙමි. ලෝකය පවතින අයුරින් පැවතිය යුතු ය. අප රිසි පරිදි වෙනස්කම් කරන්නට යාමේ දී එහි සැබෑ සුන්දරත්වය වියැකී යයි. 

ඒ පාරේ තැන් කිහිපයකට ම බෝඹුරු ඇල්ල ටිකක් ඈතින් පෙනේ. එයට සමීප වන්නට කිලෝ මීටර දෙකක පමණ දුරක් පා ගමනෙන් ඉහළට නැගිය යුතු යයි මුණිවර කීවේ ය. ඒ ලංකාවේ ලස්සන ම හා පළල් ම දිය ඇල්ලක් බවක්, කොටස් හතරක් ලෙසත් තට්ටු කිහිපයක් වශයෙනුත් පහළට ගලා හැලෙන බවත් ඔහු කියා දුන්නේ ය.

“ලවර්ස් ලීප් අහල තියනව නේද…පිදුරුතලාගලින් පටන් අරං ලවර්ස් ලීප් වෝටර් ෆෝල් එක හදල ඒ දිය පාර හාවා එළිය හරහා ඇවිත් සඳතැන්නෙන් බොරලන්ද ජලාශය හදනව. එතනිං ගලං එන වතුර පාර තමයි මේ බෝඹුරු ඇල්ල විදිහට කඩං වැටෙන්නෙ. ඊට පස්සෙ ආයෙත් ගලං ගිහිං උමා ඔය හදනව…”

මා ඒ මුව දෙස ම බලා උන්නේ එක වචනයක් හෝ අපතේ නො යවා මනසින් උරා ගනු වස් ය. හරියට ඒ දිය දහර එක දිය පොදක් හෝ අපතේ නො යවා තැන් තැන් වල දිය ඇලි, ජලාශ හා ගංගා නිර්මාණය කරන්නට දායක වන්නා මෙනි. බෝඹුරු ඇල්ලේ දර්ශනීයත්වය ගැන මුණිවර තව බොහෝ තොරතුරු කීවේ ය.

“යන්නෝනෙ දවසක උඩට. නංගියි කසුනිලයි එක්ක”

“ඒක ටිකක් දුෂ්කර ගමනක්. මග ලිස්සන තැන් තියනව. පරිස්සමෙන් යන්න ඕන”

“ආව්…ශෝක් ඇති”

“දවසක එක්කං යන්නං මේ වැඩ ටික ඉවර වුණහම”

ඔහු රියට පිට දී අත් දෙක බැඳ ගත්තේ බෝඹුරු ඇල්ල දෙස බලා ගෙන ය. මම ඒ මුහුණ දෙස බැලුවෙමි. ඔහු ඒ අවධාරණය කොට කීවේ ඔහු සමග මිස අප තනිව එහි නොයා යුතු බව ද? 

තවත් ටික දුරක් ඉදිරියට විත් මුණිවර රිය නතර කළේ සංගිලි පාලමක් ළඟ ය. හල් ඔය හරහා ඉදි කොට තිබි දරගල එල්ලෙන පාලම ලෙස හැඳින්වෙන ඒ වැල් පාලමේ ඔහු පසු පසින් ගිය ද, අප ට ඉදිරියෙන් යමින් සිටි කොල්ලන් දෙදෙනෙකු හිතා මතාම ද මන්දා පාලම සෙලවූහ. මා කෙතෙක් බිය වූයේ ද යත්,

“අනේ මට බයයි. යංකො මිස්ට මුණිවර”

කියමින් හැඬුම් ස්වරයකින් කෑ ගැසුවෙමි. ඔහු සිනහ වෙවී මගේ අතක් තද කොට අල්ලා ගත්තේ ය.

“බය වෙන්න එපා. මුකුත් වෙන්නෑ ළමයො”

දැන් ඉතින් පාලම කඩා ගෙන ඔයට වැටුණත් කම් නැතැයි ඒ අව් අස්සේ ම මට සිතුණේ මුවට සිනහවක් ද කැඳවමිනි. කෙසේ වෙතත් ඔහු මගේ අත අත්හැරියේ පාලමේ චලනය මඳක් සන්සුන් වූ ඉක්බිතියි.

“මාර චණ්ඩියා වගේ කතාවනං…”

රියට ගොඩ වෙමින් මුණිවර එසේ කීවේ ය. හදවතෙහි ඉතිරි ව තිබුණේ ඒ බිය ගෙන දුන් මොහොතේ ඔහු මගේ අතක් තද කොට අල්ලා ගෙන සුරක්ෂිත හැඟීමක් දැනවූ චමත්කාරය පමණි. මම වීදුරු කවුළුවෙන් පිටත බලා දෙතොල් තද කොට ගෙන සිනහ වීමි. පාලම මැද සිට අවට සුන්දරත්වය දැක ගත නො හැකි වූයේ ය. ආයේ දවසක ඔහු ත් එක්ක එහි යන්නට ඇත්නම් යන රහසිගත මායාවී සිතිවිල්ල මා තුළට රිංගා ගන්නා ලදී. 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles