රෑට කන්නට හැදුවේ රතු බතුත් කිරි හොදිත් ගොටුකොල සම්බෝලෙකුත් හුරුල්ලො මිරිසටත් ය. කිරි හොදි එක්ක රතු බත් කන්න ආස හන්දාම සිසිමාධවී දරු දෙදෙනාට වේලපහින්ම බත් කවා කෝසල එන්න කිට්ටුව කිරි හොද්ද ආය රත්කරේ දවල්ටත් නිවිච්ච බත් කන මනුස්සයට රෑට හෝ උණුවෙන් බත් කටක් කන්න දෙන්නටය.
“අම්මේ සිකුරුයි කියන්නෙ මොකද්ද?” ලොක්කා චානුක කතාකරන්නේ ඉස්කෝලේ පොතේ තියෙන මොකක් හෝ වචනයක් අල්ලාගෙනය. සද්දෙ ඉතින් පුංචි ගේ කෑල්ල දෙවනත් වෙන්නට ප්‍රමාණවත් ය.
“සිකුරුයි කියන්නෙ පුතේ ස්තිරයි කියන එක” කිව්වාට ඊළඟට එන ප්රශ්නය සිසිමාධවී අහන්නටත් කළියෙන් දනී.
“ඉත්තිරයි කියන්නෙ මොකද්ද අම්මේ?” කිරි හොද්ද කැටි නොගැහෙන්න හැඳි ගාමින් හුන් සිසිමාධවී ලිප නිවා, කිරි හොද්ද බා දරණුව මත තබා චනුක දෙසට ගියාය. දෙව්මි උන්නේ බිම වාඩි වී කණප්පුව උඩ තබා ඇති ටිකිරි පත්තරේ පාට කරන්නට ඇති ඉඩේ රූපවල පැස්ටල් කූරෙන් පාට ගාමිනි.
“මොනවද පුතෙ පාට කරන්නෙ?”
“මල්”
“මල්? ඉතින් ඇයි පුතා මල් කොල පාට ගෑවෙ? කොලනෙ පුතේ කොල පාට. මල් පාට පාටනෙ”
සිසිමාධවී එසේ කියන්නෙ දෙව්මිටය. දෙව්මි අම්මා කියන දේ අසමින්ම හීන් හඬින් හිනාවෙමින් තවදුරටත් මල් පෙතිවල කොල පාට ගායි. දෙව්මි කොහොමත් තාත්තා වගේය. නිහඬය නිස්කලංකය. අම්මාගේත් නංගීගේත් කතාව අහන් ඉන්න චනුකටනම් කියන්නත් අහන්නත් දෙයක් ඇත.
“ඉතින් කොළ පාටත් පාටක්නෙ අම්මෙ. කොළ පාට මල් නැද්ද?” කියා චනුක අසන කාරණාවට කියන්න උත්තර සිසිමාධවීට නැත. මේ පුංචි බකපණ්ඩිතයා එක්ක කතාවට ගියොත් කෙලවරක් වෙන්නේ නැති බව සිසිමාධවී දනී.
කෝසල ගෙට ගොඩවෙද්දීත් දරුවන් උන්නේ නින්දට ගොසිනි. හෙට ඉස්කෝලෙට අඳින්න ඕන කරන ඇඳුම් පැළඳුම් ආදිය ඉස්තිරික්ක කර තැබූ සිසිමාධවී දෙව්මිගේ ඉස්කෝලෙ විවිද ප්‍රසංගයට අඳින්නට ඕනෑ ඇඳුම උඩ මල් කිණිත්තක් එම්බ්‍රොයිඩර් කරන්නට පටන් ගත්තේ කම්මැලිකම යවාගන්න ඕන හන්දාය. ඉදිරි දොර බාගෙට හැර දමා එතනට එන විදුලි ලාංපුවේ මන්දාලෝකයෙන් ඉඳිකටුවත් නූලත් හුරුබුහුටියට ගෙනයමින් උන් තමාට දුටුවා නම් අම්මා “ මේ රෑ කවුද ළමයො ඉඳිකටුව අතට ගන්නෙ?” කියා බනින බව නොඅනුමානය.
අම්මා මතක්වෙද්දී හිතට එන වේදනාව දැන් ඉස්සරට වඩා වැඩියෙන් දැනෙන්නේ තමන්ද අම්මා කෙනෙක් වීම හන්දා විය යුතුය. අම්මලාගෙ දුක් දන්නේ අම්මලාම මිස වෙන කවුරුන්ද?
“කාත් එක්කද හවස මල්වත්ත පාක් එකේ හිටියෙ?” සියලුම දේ හෙලිවුණේ බැංකුවේ වැඩ කරන අයියා දවසක් හැන්දෑවේ වැඩ ඇවී රාස්ස වේශයෙන් ගෙට පැන්න වෙලේ සිට බව සිසිමාධවී අදටත් මතක් කරන්නේ කම්පාවෙනි.
එදා දහවල් අතිරේක පංති නොයා මල්වත්ත පාක් එකට ගියේ කෝසල සමගිනි. ඒද ඔහු බොහෝ වරක් පෙරැත්ත කිරීමෙන් පසුවය.
අයියා සමුද්‍ර රත්නායක උන්නේ දුම්මල වරම අතට ගෙන උවත් ඒ වෙනදා මෙන් බයේ තිගැස්සි අම්මා පස්සේ හැංගෙන්නට උවමනා නොවූ ලෙසින් සිසිමාධවී ආදරය පළිහක් කරගෙන උන් කාලවකවානුවකි.
“මොකද්ද ළමයො මේ අයියා කියන්නෙ?” අම්මා ඇස් හීනි කරගෙන අසන අයුරුත් අයියා රතු කරගත් ඇස් ගෙඩි දෙකෙන් ඔරවමින් බලා උන් අයුරුත් සිසිමාධවීට අද මෙන් මතකය. අම්මා එසේ ඇසුවද දිය යුතු උත්තරය කුමක්ද කියා අදහසක් තමාට තිබුණේ නැත.
“අහ්හ් මොකද සද්දෙ නැතුව ඉන්නෙ? මොකද්ද මේ අයිය කියන කතාවෙ තේරුම? කාත් එක්කද අද ක්ලාස් කට් කරල පාක් එකට ගියේ?”
අම්මා කීව වංගියක් එසේ ඇසුවද කට ඇරියේ තමා නොවේ. අනික් අතට කෝසල ගැන කුමක් කියා කියන්නද?
“මේකි ඕක ගැන කටක් අරියි කියල අම්ම හිතනවද? අම්මගෙත් වැරැද්ද මේකිව විශ්වාස කරල තනියෙන් ක්ලාස් යවන්න පටන් ගත්ත එක. ඇටෙන් පොත්තෙන් එලියට එන්න කලින් මුන් කරන්නෙ අපෙ කනෙන් රිංගන්න හදන එක”
“කියන දෙයක් තේරෙන්න කියන්න පුතා. කාත් එක්කද ගිහින් තියෙන්නෙ? ක්ලාස් එකේ බෝයි කෙනෙක් එක්කද?”
“ක්ලාස් එකේ කොල්ලෙක් නම් තව හා කියන්න තිබුණා.ක්ලාස් එක ලඟ පතිරණ ඔටෝ සේල්ස් එකේ පේන්ටර් කෙනෙක් එක්ක. තමුසෙට ලැජ්ජ නැද්ද ඕයි ගැරජ් බාස්ලා එක්ක රස්තියාදු ගහන්නෙ? පාක් අස්සෙ රිංගන්නෙ? ඕකුන් මොක්කුද කියල දන්නවද තමුසෙ?”
“ඇත්තද පුතා මේ කියන්නෙ? මොනවද ළමයො මේ කරන්නෙ? තාත්තා කොච්චර ආදරේද ඔයාට? ඒ මනුස්සය අර රටකට වෙලා දුක් විඳිද්දි ඔයා මෙහෙම දෙයක් කරගත්ත කියල දැනගත්තම කොච්චර හිත රිදෙයිද?”
“ගෙදර උන් ගැන ගාණක් තියෙනම් මේකි මෙහෙම කරාවිද?” කියා එදා අයියා ඇසූ හැටිත් අම්මා හඬා වැටුණ හැටිත් සිසිමාධවීට අමතක නැත. පසු දිනෙක අම්මා සහ තාත්තා මේ ගැන කතා බස් කරන අයුරුත්, “අපිට ගැලපෙන තැනක බෝයි කෙනෙක්ද?” කියා තාත්තා වඩා නිවුණ හඬකින් අසනුත් “පිස්සුද සෙනරත්, ගැරජ් එකක කාර් පේන්ට් කරන කොල්ලෙක්ව අපිට පෑහෙනවද?” කියා අම්මා කියන හඬත් ඇසුණ තැන කිසිසේත්ම කෝසලව අත් නොහරින්නට තමා තීරණය කල බව සිසිමාධවීට මතකය.
එහෙත් අම්මා ගුටියක් ගැහුවේවත් බැන්නේවත් නැත. ඒ කලා නම් අද මෙච්චර දුකක් නොදෙන බව ස්තිරය. අම්මා කරේ වඩා නිවුණ වවකින්, සංවේදනයකින් තමාට ඇත්ත තේරුම් කරන්න උත්සහ කල එකය.
“පුතේ, ඔයා කොච්චර ලස්සන දරුවෙක්ද පුතේ? එහෙම එකේ ඔහොම දෙයක් කරගන්න හිතන්නෙ ඇයි? ඒ ළමය අපිට තියා ඔයාටවත් ගැලපෙන තැනක ළමයෙක් ද කියල හිතල බලන්නකො. තාත්තා කොච්චර සැප දීලද ඔයාව හදන්නෙ? ඔයා හිතනවද ඒ වගේ තැනකින් කටයුත්තක් කරගත්තොත් ඔයාට දුක් විඳින්න වෙන්නෙ නෑ කියල සල්ලි නැතුව?”
“සල්ලි නෙවෙයිනෙ අම්මෙ ජීවිතේ කියන්නෙ.ජීවිතේට ඕන ආදරේ. සල්ලි හම්බුකරන්න පුලුවන්. ආදරේ එහෙම හම්බුකරන්න පුලුවන්ද?” කියා ඇසූ සැටිත් මතකය.
ඒ අතීතය මතක් කරන වාරයක් පාසා හිත අලුතෙන් රිදවන්නක් වුවද ඒ අතීතය නොහිතා ඉන්නට හැකියාවක් තිබූ එකම එක දවසක්වත් තමන්ගේ ජීවිතයේ නොවූණා නොවේද?
“මදූ” කියා කෝසල ගෙට එද්දීත් සිසිමාධවී උන්නේ ඒ අතීත කල්පනාවේ ගිලීය.
“මං හිතුව තව පරක්කු වෙයි කියල” ඉඳගෙන උන් පුටුවෙන් නැගිටිමින් මහ මහ උන් රෙදි කැබැල්ලත් ඉඳිකටුව ඇමිණූ නූල් පන්දුවත් පැත්තක තැබූ සිසිමාධවී කෝසල අතේ තිබූ එලවලු මල්ල අතට ගත්තාය.
“අද හන්දියෙ කඩේ එලවලු සේල් එකක් දාලා තිබ්බ. පලාත් සභාවට ඉල්ලනවනෙ ඒ මනුස්සය මේ පාර. මං ඉතින් නැවතුනා”
“ගෙනා එක හොඳයි. මං ඒත් හෙට යන්න කියල හිටියෙ. ඇඟ හෝදන් එන්න. මං කෑම බෙදන්නම්” කියා කෝසල ලිඳට යද්දී සිසිමාධවී කෝසලගේත් තමන්ගෙත් පිඟන්වලට බත් බෙදන්නට වූවාය. කෝසල එනතුරු කොච්චර බඩගිනි උනත් නොකන පුරුද්ද ඇති කරගත්තේ පැන ආ මුල් කාලයේ කෝසලගේ මහ ගෙදර කාමරයක හිර වී ඉද්දී, අම්මාගේත් අක්කාගේත් දෝශාරෝපණ වලට ලක්වෙන්නට වේය යන බියෙනි. ඒ නිසා හැමදාම සිසිමාධවී කෑවේ කෝසල ආ පසුවය. පසුව එය පුරුද්දක් විය.
ඇඟ පත හෝදගෙන ගෙට ගොඩවෙන අතරම කෝසල හයියෙන් කහී. ඔය කැස්ස දැන් මාස එකහමාරක් විතර තිස්සේ තියෙන කැස්සකි. නිතර දෙවෙලේ කොච්චර කිව්වත් අද අඩුවෙයි හෙට අඩුවෙයි කියනවා විනා බෙහෙත් ගැනීමක් ගැන වගක් කෝසලට නැත.
“තාම ඔය කැස්ස හොඳ නෑනෙ කෝසල. කොච්චර කිව්වත් ඔයා බෙහෙතක් ගන්නවත් යන්නෙ නෑනෙ”
“මේක මේ එහෙම ලොකු කැස්සක් නෙවෙයි මදූ. ඉඳල හිටලනෙ එන්නෙ. මොකටද නිකන් වෙද්දුන්ට සල්ලි පුදන්නෙ?”
“ලෙඩක් වැඩිවෙනවට වඩා හොඳ නැද්ද අනේ බෙහෙතක් ගන්න එක”
“මොකෝ ඔයාට බයද මම මැරෙයි කියල කැස්ස වැඩිවෙලා?” කෝසල සිනාසෙමින් අසන්නේ රතු බත් උඩට කිරි හොඳි හැඳි තුන හතරක් ඉහිරුවාගනිමිනි.
කෝසලගේ බත් පතට හුරුල්ලන් කරිය බෙදමින් සිසිමාධවී මුහුණ ඇඹුල් කරගන්නේ “ඔය මූසල කතාව කියන්න එපා කියල කොච්චර කිව්වත් ඔයා අහන්නෙ නෑනෙ” කියමිනි.
“ඒකනෙවෙයි අම්මා ඇහුව අක්ක බලන්න මනමාලයෙක් එනව කියල ඉරිද දිහාට ඉස්සරහ බිත්තියෙ තින්ත ඩිංගක් ගාලා දෙන්න ඇහැකිද කියල මකුලු දැල් හෙම කඩලා දාලා”
“අවුරුද්දකට පාරක් ඉතින් ඕක කරනව. හැබැයි සෙට් වෙච්ච මගුලක් නම් නෑ” කියා කෝසල හිනාවෙයි.
“පව් අනේ, එහෙම කියන්න එපා. අම්මගෙ හිතටත් කරදර ඇතිනෙ අයියෙ අක්ක ගැන හිතද්දි. ඔයාට පුලුවන්ද කරල දෙන්න? නිවාඩුවක් දාන්න වෙයි නේද?”
“බලමුකො මං වැඩපලෙන් අහල කියන්නම්”
“හෙට මම ටවුමට ඩිංගක් යනවා. මනමාලයයි පවුලෙ අයට දවල් කෑමලුනෙ දෙන්නෙ”
“ආයෙ මෝජුවක්ද?”
“හ්ම්ම්”
“එහෙනං මේ පාරත් බඩු දෙන්නං කියන්න ඇති නේද?” කියා සරදමට සිනාසෙමින් කෝසල බත් පතේ ඉතුරු වූ අන්තිම කට අනා සිසිමාධවීට කැව්වේය.
ඒ ඉතින් එදා හිටන් එන පුරුද්දය. ආදරයය.
ඔක්කොටම හපන් වෙන්නේ රෑට නිදාගන්න එකය. දරුවන් දෙදෙනා පුංචි කාලයේ නම් ලාබෙට පමුණුව පොලෙන් ගන්නට පුලුවන් වූ මදුරු දැල යට ගුලි වී නිදියන්න සිසිමාධවී සහ කෝසලට හැකි උනත් දරුවන් එන්න එන්න ලොකු වෙද්දි මුලින්ම ඇඳෙනුත් මදුරු දැලෙනුත් එලියට විසි වුණේ කෝසලය.
“ඔයා ඇඳේ නිදාගන්න මධූ, මේ පොලොවෙ පැදුරක් දාන්, මදුරුවො කකා බුදියල පුරුද්දක් නෑනෙ ඔයාට” කියා කෝසල කියද්දී සිසිමාධවීද ඇඳට ආවේ දුකක් විඳිනවානම් එකට විඳිය යුතුය යන ආදරයේ ධර්මතාවය ගැන කියවමිනි. දරුවන් ඉපදිච්ච අලුත මිල දී විදුලි පංකාව මේ වනවිටත් ඇත්තෙ අඩමානයටය. ඉස්සර හතරවටේටම කැරකි කැරකි තිබිච්ච පංකාව දැන් පරණ හන්දාම කැරකෙන්නේ අඬන්නට මෙනි. එයත් නැති උනොත් මුකුත් නැති හන්දා සිසිමාධවී රෑට විතරක් දමන පංකාව දරුවො දෙන්නා ඉන්න පැත්තට හරවා තබා විත් කෝසල අසලින්ම පැදුරේ හාන්සි වුණාය.
“රස්නෙයි නේද?” කෝසල අසන්නෙ හිමින් සැරේ සිසිමාධවීගේ කර වටා අත දගෙනය. කෝසලට උඩු කයට ඇඳුමක් නැතුවත් මෙච්චර රස්නෙ නම් තමන්ට කොච්චර රස්නෙ දැනෙනවාද කියා සිසිමාධවී සිතුවාය.
“නයිටියකුත් ගන්නෝන කෝසල, මේක දැන් එලලලම තව එලලන්න තැනකුත් නැති තරම්”
“මං කොහොමහරි ඔයාට ඇඳුමක් කැඬුමක් අරන් දෙන්න කියල හිතුවෙ, අවුරුද්දටවත් මුකුත් අරන් දෙන්න උනේ නෑනෙ පොඩි දෙන්නට පොත් බෑග් ගන්න වෙච්ච හන්දා”
“ඒකට කමක් නෑ, මං නිකමට කිව්වෙ, එහෙම නැතුව අර කරදරයක් කරන්න හිතන් නෙවෙයි.මං ඔයාට කියන්න හිටියෙ, පොඩි දෙන්න උදේ වරුවෙ ගෙදර නැති හන්ද මං පොඩි හරි වැඩකට යන්නද? ඔයාට විතරක් තනියෙන් මේ ඔක්කොම කරන්න බෑනෙ”
“අනේ මධූ මං හොරකං කරල හරි කන්න දෙන්නම්, මං මේ ඔයාව එක්කරගෙන ඇවිල්ල අවුරුදු ගාණක් තිස්සෙ දෙන දුක මදි ද? එහෙම එකේ මංකොහොමද ඔයාව කොහෙවත් වැඩකටවත් යවන්නෙ?”
“අර පීරිස්ලගෙ ගෙවල් ලඟ මොන්ටිසෝරිය උදේට ඇවිත් අතුපාතු ගාලා දාල යන්න ගෑණු කෙනෙක්ව හොයනව කියල කුමුදු අක්කා කිව්ව. ඔයාගෙ අකමැත්තක් නැත්තම් මං ගිහින් එන්නම්. නිකන් ඉන්න එකේ කීයක් හරි හොයාගන්න පුලුවන් වෙනවනෙ”
“කලබල නොවී ඉන්නකො, අපි බලමු වෙන මොනවද කරන්න පුලුවන් කියල. එරංග කිව්වා දැන් ඔය ඩුබායි වගේ රටවල්වලට අපි වගේ ස්ප්‍රේ පේන්ටර්ස්ල එහෙම ගන්නවලු. මං කල්පනා කලේ…”
“අනේ කෝසල, ලුණුයි බතුයි හරි කමක් නෑ තියෙන දෙයක් කාලා ඉමු ඔය රට යන ඒව නම් දාගන්න යන්න එපා. ඔයා එහෙ මෙහෙ නොදන්න රටක කාලාද බීලද කියලවත් දන්නෙ නැතුව මංකොහොමද මෙහෙ දරුවො දෙන්න එක්කල කොහොමද හිත නිවිහැනහිල්ලෙ තියාගෙන ඉන්නෙ?”
ඒ කතාව ඉතින් ඉවර වුනේ එහෙමය. ඔය කතාව තව දුරට දිග්ගස්සාගෙන ගියා නම් අවසන් වෙන්නෙ සිසිමාධවී හඬා බව දන්නා නිසාම ඒ පැත්තට හැරුන කෝසල රස්නෙ බව අමතක කර දමා සිසිමාධවීව වඩා තදින් තුරුල් කර සිපගත්තේය.