ඕපාදූප

කවින්ද්‍යා ගේ විවාහ උත්සවයට ගංගා ඇඳපු සාරිය ගැන තමයි ඔෆිස් එකේ හැමෝම කතා වෙන්නේ. ගංගාට නම් ඒ සාරියේ මහ විශේෂයක් දැනුනේ නැහැ. ඒත් උදේ ඔෆිස් එකට ආව වෙලාවේ ඉඳගෙනම හැමෝම තමන් දිහා අමුතු උනන්දුවකින් බලන එක නම් විශේෂෙන්ම දැනුනා.

” හොඳ බිස්නස් කාරයෙක්ට සෙට් වෙලා ඇති .. නැත්නම් කොහෙන්ද ඔච්චර ගානක සාරියක්?”

” අනේ අර අහිංසක අමල් පව් …”

“මේ ගංගලා අමල්ලාට නඩත්තු කරන්න පුලුවන් ගෑණු නෙවෙයි බං …. මුන් පොළවේ අඩිය ගහන ජාතියේ නෙවෙයි නේ…දැක්කේ නැද්ද එදා මොණරි වගේ උන්න උජාරුව..”

කෑම කන්න යන්න ලෑස්ති වෙනකොට ඒ කතාව ඇහුනේ ගංගාගේ හොඳම මිතුරිය වුන නිමාශාට. නිමාශා ඒ ගැන ගංගාට නොකියා ඉන්න හිතුවත්, කෑම කාලා අවසන් වෙනකොට කතාව කියවිලා ඉවරයි.

“ඒ අපේ නෑනාගේ හෝම් කමින් සාරි එක … මං වෙඩින් එකට අඳින්න සාරියක් ගන්න හොය හොයා ඉන්නකොට අක්කා ගෙනල්ලා දුන්නේ නිමාශා…. මේ මිනිස්සු ඇයි මෙහෙම ..”

ගංගා ඉකි ගහ ගහ කිව්වා. නිමාශටත් ඒ ගැන කිසිම දෙයක් කියන්න පුලුවන් වුනේ නැහැ. ඒ තරම් කාලයක් තමන්ගේ වැඩ ටික කරගෙන පාඩුවේ හිටපු ගංගාගේ මානසික නිදහස සම්පූර්ණයෙන්ම නැති වෙලා ගියා. හැමෝම තමන් දිහා බලාගෙන එක එක විදියේ මිමිණිලි කරන බව ගංගාට හිතෙන්න ගත්තා.

ගංගාට එහෙම හිතුනේ නිකම්මත් නෙවෙයි. ඔෆිස් එකේ උන්න අනෙක් අයගේ ජීවිත වල තියෙන පොල් කෙස්ඳි හොය හොයා ඉන්න කිහිප දෙනෙක්ම දිනපතා ගංගා ගැන ඕපාදූප මැව්වා.

“ඕං මං කිව්වේ බොරුද? ගංගා ඊයේ පෙරේදා අර සමන්මල් ගෙස්ට් එකේ ඉඳලා එලියට ඇවිල්ලා තියෙනවා… අපේ නංගි දැකලා තිබුණේ …. එයා සමන්මල් එකේනේ වැඩ…. නංගී නම් කිව්වේ මීට කලින් එහෙම ඇවිල්ලා යනවා දැකලා තියෙනවා කියලා… එතන වෙන්නැති පොට් එක… පාරෙනුත් ඇතුලට වෙන්න නේ තියෙන්නේ….”

“ඇත්තටමද අනේ? හිතන්නවත් බෑනේ මේකි ඉන්න හැටියට ..”

“අපේ නංගිට ඉතින් මොකටද බොරු කියන්නේ මට…?”

“ඒකත් ඇත්ත… “
“මේ ගෑනුන්ගේ කෙරුවාවල් නිසා අපේ මිනිස්සුත් අපේ දිහා වපරෙට බලනවා..”

“ඒක නම් ඇත්ත … ඇයි ඉතින් අපි ගංගා ගැන හරි හොඳ කෙනෙක් කියලනේ කියලා තිබුනෙත් ..”

“ඕක තමයි කියන්නේ පිට කවරෙන් මනින්න බෑ කියලා මිනිස්සු ..”

“ගෑනි ගානට සෙල්ලම කරගෙන ආවා.. සාරියෙන් තමයි මේක ලීක් වුනේ ..”

“නැතුව.. අපි වුනත් ඔහොම දෙයක් හිතන්නේවත් නෑනේ …”

ඒ කතාව ත් ඉස්සෙල්ලම ආරංචි වුනේ නිමාශාට. නිමාශා ඒ ආරංචිය ගංගාගේ කනට නොඑන විදියට නිතරම ගංගාගේ පස්සෙන්ම හිටියා.

එදා හවස ගංගාගේ හිත තව කලබල වෙන සිදුවීමක් එක්ක ඒ කතාවත් එලියට ආවේ නිමාශටහවත් පාලනය කරගන්න බැරි විදියට. ගිණුම් අංශයට ගංගා විසින් යොමු කරපු වවුචරයක මුදල් ප්‍රමාණය ඉලක්කමින් සහ අකුරින් ලිව්ව තැන් වල වෙනසක් තිබුණා. ඉලක්කමෙන් ලියලා තිබුණේ ලෂ තුනක් වුනාට අකුරෙන් ලියලා තිබුනේ තිස්දාහක්.

කොහොමටත් ගංග එක්ක කෝපයෙන් හිටපු ගිණුම් අංශයේ ඒ විෂය භාර නිළධාරිනිය ගංගාට කෑ ගහගෙන සංවර්ධන අංශයට ආවේ.

“මොකද්ද ගංගා මිස්.. වවුචරයක් දානකොට සිහි කල්පනාවෙන් දාන්නකෝ අනේ… මේ ගනන් වෙනස් නේ…. මෙව්වා ආයේ චෙක් කරන්න වුනාම අපිට වෙන වැඩක් කරන්න වෙලා නෑනේ…. ඊළඟට අපේ රස්සාව තමා නැති වෙන්නේ… ගංගා මිස්ලාට රස්සාවෙ න් පිට ආදායම් මාර්ග තිබුනට අපිට එහෙම නෑ… අපිට ඔය කාමර අස්සේ රිංගගෙන කරන රස්සා පුරුදුත් නෑ..”

ගංගාට දැනුනේ මුලු ලොකේම තමන්ට හිනාවෙනවා වගේ. ගංගා අපහසුවෙන් වවුචරය සකස් කරන්න උත්සාහ කලා. නිමාශා ඉක්මනින් ඉදිරිපත් වෙලා ඒ අඩුපාඩු හදලා වවුචරය බාර දීලාම ආවා.

“මොක..ද් ..ද ඒ කිව්වේ?”

ගංගා ඇහුවේ පහත් හඬින්. නිමාශාට දැනුනා ගංගාගේ හඬ කොයි තරම් නම් වෙවුලනවාද කියලා.

“උන්ට පිස්සු ..උඹ ඔව්වා හිතන්න එපා..”

“මට කියන්න නිමාශා ..ප්ලීස් ..”

දිගින් දිගටම විමසනකොට නිමාශා යන්තමින් සිද්දිය කියලා දැම්මා. ගංගා මේසේ උඩ තිබුන වතුර බෝතලේම එක උගුරට හිස් කලා.

” සමන්මල් එකේ නේ අමල් වැඩ කරන්නේ දැන් .. එයා එහෙ අකවුන්ටන් නේ ..”

ගංගා වෙවුලන හඬින් කිව්වට පස්සේ තමයි නිමාශාටත් ඒ බව වැටහුනේ.

“ඉතින් ඒකනේ ..ඔය මලීශාගේ නංගී ඒ බවක් දන්නේ නැතුව ඇති … මං කියන්නද ඔයා අමල්ට ඕක කියන්න .. එයා එතකොට අර කෙල්ලට හොඳ පාඩමක් උගන්නාවී..”

නිමාශා එහෙම කියලා හිත හදන්න උත්සාහ කලත්, ගංගගේ හිතේ සැනසීම ලැබුනේ නැහැ. තමන් ගැන ඉතාම නරක විනිශ්චයක් පැතිරෙන වෙලාවක ඒකට මුහුන දෙන්න ඕනි විදිය ගැන ගංගාට කිසිම අදහසක් තිබුනෙත් නැහැ.

එදා නිමාශා ගංගාට සමුදුන්නේ උපදෙස් අඩු නැතුව දීලා.

“රටේ ලෝකේ මිනිස්සුන්ගේ කටවල් අපිට වහන්න බෑ ගංගා.. උන් උන්ට ඕනි දේ කියනවා.. ඒක තමා ඇත්ත… අපි අපිට සැහැල්ලු, අපිට පහසු විදියට ජීවත් වුනාම හැමදේම පහසු වෙනවා… ඒ කිසිම කතාවක් අපි දණෙන් උඩට නොගෙන ඉන්නයි ඕනි ..”

ගංගා ගෙදර ඇවිල්ලා ඇඟ සෝදගත්තා. අමල්ට රෑ කෑම හැදුවා. හිතේ තෝන්තු ගතිය දිගින් දිගටම වැඩි වෙන බව තේරෙනකොට කොලයකුයි පෑනකුයි අරගෙන වාඩි වුණා.

“ආදරණීය අමල්,

මම නිසා ඔයාට වුන හැම අපහාසයකම මට සමාවෙන්න. ඒත් මම ඔයාට වරදක් කරලා නෑ.. මම ඔයාට විතරයි ආදරේ.. කට්ටිය කියන්නේ මම සල්ලි පස්සේ දුවනවලු .. ඒක එහෙම නෙවෙයි කියලා ඔයා දන්නවා.. ඒත් මට බයයි, මිනිස්සු කියන කතා අහලා ඔයා වෙනස් වේවි කියලා.. ඒ නිසා ඊට කලින් මම යන්නම යනවා.. ,මට සමාවෙන්න..

ඔයාගේ ගංගා….”

නිමාශාගේ ඇමතුමට පස්සේ කෙටි නිවාඩුවක් දාලා අමල් ඉක්මනින් ගෙදර එන්න පිටත් වුනා. ගංගා ජීවිතේ අත් අහරින තීරණේ ලියලා තියලා ඒක ක්‍රියාත්මක කරන්න හදනකොටම අමල් ගේ ඇතුලේ. අමල් කෑ ගහගෙන ගංගාව බඳා ගත්තා.

ගංගා මහ හයියෙන් කෑ ගහලා ඇඬුවා.

“දෙයියනේ ඔයා ඇයි මෙච්චර කලබල…”

අමල් එහෙම අහනකොටත් ගංගා කලේ අඬපු එකම විතරයි.

අමල් ඊළඟ දවසේ ගංගාගේ ඔෆිස් එකට ගියේ ගංගාගේ ඉල්ලා ස්වීම වගේම, ගංගාව මානසිකව පීඩාවට පත් කරපු අයට විරුද්ධව පැමිණිල්ලත් අරගෙන.

ගංගා සිය දිවි නසා ගැනීමට උත්සාහ කලේ ඔෆිස් එක තුල ඇයව බරපතල මානසික පීඩාවකට ලක් කල නිසා බව කියවුන ලියුමක් ඔහු ආයතන ප්‍රධානියාට යොමු කලා.

ගංගාට පද හදලා කිව්ව හැමෝම තම තමන්ගේ අනාගතය ගැන අවිනිශ්චිත වෙලා අමල් දිහා බලාගෙන හිටියත්, අමල් ඒ කිසිම කෙනෙක්ට සවන් නොදී ආපහු හැරුණා.

“ස්තූතියි නිමාශා…. ඔයා නොහිටින්න ගංගා මේ වෙනකොට අපිට නැහැ…”

අමල් නිමාශාට විතරක් කතා කලා.

ඊට පස්සේ ගංගාගේ මානසික මට්ටම ආයෙම යථා තත්වයට ගන්න පවුලේ හැමෝම අමල් එක්ක එකතු වුනා. ටික කාලයක් වෛද්‍ය ප්‍රතිකාර පවා ලබා ගත්තා. දැන් ගංගා අලුත් රැකියාවකට යන ගමන්.

“වචන වල බර දැනගෙන වචන පිට කරන්න ඕනි ..”

ගංගාගේ පරණ ඔෆිස් එකේ ප්‍රධානියා එහෙම කිව්වේ කාර්‍ය මණ්ඩල රැස්වීමක අමල්ගේ ලියුම කියවලා, ඒ අනුව චෝදනාවට ලක් වුන කිහිප දෙනාට නිදහසට කරුණු කියන්න වෙලාව පසුව දැනුම් දෙන්නම් කියන අතරේ.

නිමාශා විතරක් සැනසීමෙන් හිනා වුනා.

-අපේක්ශා ගුණරත්න-

More Stories

Don't Miss


Latest Articles