“අර ළමයලහින් කියල එවල තියෙනව කැමතියි කියල”
නැන්දම්මා උදේම ඒ පණිවිඩය ඇවිත් කිව්වේ මූනේ හිනාකටක් පුරෝගෙනය. සිසිමාධවී එය භාරගත්තේ පාරම්බාන්න ආ ගමනක් ලෙසින් නොව කසාදයක් කරගන්න වයස පහුවුන දුවෙක් උන් අම්මා කෙනෙක් ඒ වේදනාවෙන් මිදුණ සතුට ලෙසය. අම්මා කෙනෙකු ලෙස තමන්ට මොන මොන දේට අනාගතයේ මුහුන දෙන්න වේද? මොන වේදනාවන් උහුලන්නට වේද කියා දන්නේ කවුරුන්ද?”
“දැන් ඉතින් ඒ කටයුතුවලටත් කෝසලට උදව් පදව් වෙන්න කියන්න ඕන ඔන්න”
“කෝසල ඉතින් පුලුවන් විදියට උදව්වක් දෙයි අම්මෙ”
“මොන දේ උනත් තමන්ගෙ එකම අක්කනෙ. ඔය රත්තරන් බඩු හෙම ගනිද්දි ඉතින් එක්කහු වෙලා තමයි කරගන්න ඕන, ඒකනෙ පවුලක් කියන්නෙ”
“අනේ අම්මෙ එහෙමකට කියල ඉතුරුකරගත්ත සල්ලියක් නම් නෑ අම්මෙ එයාගාව. මේ දරුවො දෙන්නට කන්න බොන්න දීල, ඉස්කෝලෙට ඕන කරන වියදම් පියෙව්වම මාසෙට ලැබෙන ගාන එහෙම්ම දියවෙල යනවා”
“එහෙම කියල පුලුවන්ද ළමයො. ඔය කිව්වට කෝසල කර අරින එකක් නෑ. ඔයා කියල බලන්නකො” කියමින් පිටව යන නැන්දම්මා දෙස නොබලාම සිසිමාධවී වඩා හයියෙන් රෙදි ටික ඇතිල්ලුවාය.
කෝසල ඇත්තටම එදා උන්නේ පුදුමාකාර අමාරුවකිනි. මෙච්චර ඩවසක් උගුරත් පපුවත් රිදෙමින් තිබුණා පමණකි. අද හුස්ම ගන්න අපහසු බවක් වගේම ඇඟට පණ නැති බවක් ද දැනේ. එහෙත් භාරගත්ත වැඩ එමටය. ඒවා අතරමග නතර කර දමා යන්නටද නොහැකිය. එය මාසෙ අන්තිමට අතට ලැබෙන ගාණට තට්ටු වීමටත් වඩා භාරගත්ත වැඩක් කලට වෙලාවට දිය යුතුය කියන කෝසලගේ ප්‍රතිපත්තියට පහරකි.
“උඹට අසනීපයක්ද බං?” අනෙක් වාහනය පේන්ට් කරන ගමන් එරංග අහන්නේ, කිසිදිනක බාගෙට වැඩක් නතර කර යන්නෙ නැති කෝසල මෙදා වැඩේ පටන් අරගෙන විනාඩි ගාණකින්ම ස්ප්‍රේ එක පැත්තක තබා බිම දා තිබූ ටයරයක් උඩ වාඩි වූ නිසාවෙන් ය.
“පපුවෙ පොඩ්ඩක් රිදෙන්න ඇල්ලුව”
“අර මොකෝ ගැස්ට්‍රික්ද? කාල නෙවෙයිද බං ආවෙ උදේ?”
“කාලා ආවෙ, පහුගිය ටිකේ කැස්ස තිබුණනෙ. ඒකටද මන්ද? ඇඟටත් ඩිංගක් පණ නෑ වගේ”
“එහෙමත් එකක්ද? උඹ ඉඳපන්කො, මං එහා පැත්තෙන් ග්ලූකෝස් හරි ජීවනී ටිකක් හරි ඉල්ලගෙන එන්නම්, ඇඟ පණ නැතුව උබට වැඩක්වත් හරියට කරගන්න බෑනෙ” කියා එරංග කෝසල ඕන නෑ කියද්දිම පිටව ගියේ එහා පැත්තේ තැපැල් කාර්‍යාලයේ අක්කා ලඟ ඕනම ලෙඩකට ඕන කරන ජීවනී, පැනඩෝල් ආදිය තියෙන බව දන්න හන්දාය.
එරංග ගෙනා ජීවනී එක බිව්වයින් පසු ඇඟට මදක් පණ ආවද හුස්ම ගන්න ටිකක් අමාරු බව කෝසලට තේරුණි. බාගදා එයට හේතුව එරංග කිව්වාක් මෙන් ගැස්ට්‍රික් වෙන්නටත් ඇති බවත් එයට හේතුව උදේට පාන් කැම බවත් කෝසල තමන්ටම කියාගත්තේය.
එහෙත් එදා වැඩ කරගන්න අපහසු නිසාවෙන්ම කෝසල වෙනදාට කලින් ගෙදර ගියේය.
“මොකෝ අද කලීන්?” කියාගෙන සිසිමාධවී සිනාසීගෙන ඉදිරියට ආවද කෝසල උන්නේ ඒ හිනාවට සුපුරුදු විසිරුණු හිනාවෙන් උත්තර දෙන්න පුලුවන් තරම් සනීපයකින් නොවේ.
“ ඇයි කෝසල?” සිසිමාධවී ඇසුවේ වඩා බරැති හැඟිමකිනි.කෝසලගේ මුහුණින් පෙනෙන්නේ බොහෝ වේදනාවකි. බරකි. බියකි. උත්තරයක් නොලබාම සිසිමාධවී ඒ බයත්, බරත් තම හිතටද ගෙන්න ගත්තාය.
“උදේ ඉඳල ඇඟට පොඩ්ඩක් පණ නැතුවවගේ තිබ්බෙ. මං ඉතින් අද කලින් ආව”
“ඇයි ඒ? උණ ගන්න වගේද?” කියා සිසිමාධවී නළලටත් බෙල්ලටත් අත තබා බැලුවද උණක් නම් නැත. හැබැයි මුහුන හේබා ගොසිනි.
“අද නාන්න හෙම එපා. උණු වතුරෙන් ඇඟ ටිකක් තවල බත් කාලා ඔයා නිදියන්න” කියා කිව් සිසිමාධවී කෝසලව ඇඳේ ඉන්දවා කමිසයද ගලවා හනික කුස්සියට දුව ගෙන ආවේ වතුර හැලියක් ලිප තබන අදහසිනි.
වතුර එක ලිප තබා කෝසලගේ පිඟානට බත් බෙදාගෙන සිසිමාධවී කාමරයට එද්දීත් කෝසල උන්නේ පපුව අල්ලාගෙන පහත් වී හොඳටෝම කහිමිනි. සෙම ගතියක් නැති වියලි කැස්සක් වූ මෙය තවත් බලාගෙන ඉන්න හොඳ නැති බවට හිත රතු එලි දල්වද්දී සිසිමාධවී බත් පත පැත්තකින් තබා කෝසලගේ පිට අත ගෑවාය. මේ නම් කැස්සක් නොව මාරාන්තික වේදනාවක් බව කෝසලට හිතුණේ දෙනෙත් රතු වී කඳුලුද පනින තරමට කැස්සයින් පසුවය. පපුව ඇදුම් කන අතරම උගුර තිබෙන්නේ වේලී, තුවාල වී ගොසින් මෙනි.
“බේත් ටිකක් ගන්න හෙට උදේවත් යන්ද කෝසල?” සිසිමාධවී ඇසුවේ ඇත්තටම බයෙනි. කෝසල පසුගිය අවුරුදු අටක කාලය පුරාවටම එහෙමකට කියා ඔලුව කැක්කුමක්වත් හදාගත්තේ නැති මනුස්සයෙකි. ලොකුවට ඇහැට අහු නොවුනාට කෝසක වෙනදාට වඩා කෙට්ටු වී ඇති බවත් පිටේ ඇට පේන බවත් සිසිමාධවීගේ නෙතට අලුතෙන් අහුවුණාය.
“නිවාඩු ගන්න බෑ මදූ එදා ගෙදර වැඩවලටත් නිවාඩු ගත්තනෙ. නිවාඩු දෙකක් ගන්න අමාරුයි ළඟ ළඟ. හවස්වෙද්දිත් අමාරුව තිබ්බොත් යන්” කියා කෝසල කියද්දි එයට විරුද්ද වෙන්න හයියක් සිසිමාධවීට නැත. මොන දේ උනත් ගෙදර උපයන්නේ මේ මනුස්සයාය. රස්සාව නැති කරගෙනත් බැරි ය. එහෙත් එහෙමය කියා ලෙඩ පිටින් වැඩට යන්නත් බැරිය. රැවුලයි කැඳයි දෙකම බේරගන්න ඕන ය.
පස්සෙන්දා උදේ කෝසල නැගිට්ටේත් වෙනදට වඩා පරක්කුවෙලාය. උදේ තේක එක්කම සිසිමාධවී උදේම ඇහැරී බත් ඩිංගක් ඉව්වේ වෙනසකටත් එක්ක දරුවන්ට ඉස්කෝලෙ ගෙනියන්න වගේම කෝසලට ඇඟට පණක් එන්න යැයි හිතාය.වෙනදා උදේම කඩිසරව දුව පැන වැඩට යන්න කලින් දරුවන්ගේ පොත් බෑග් පවා අස් කරන්නට සිසිමාධවී ඉඩක් නොතිබුවේ කෝසලගේ ඇඟට තාම පණක් නැති බව පේන හන්දාය.
“නොයා බෑ නේද?” කියා අහන්නට නොඋන්නාට කටින් එය පිට උනේත් කැස්සත් පපුවෙ වේදනාවත් හන්දා කොන්ද ටිකක් නවාගෙන අපාසුවෙන් එහෙ මෙහෙ යන කෝසල දෙස බලාගෙනය.
“හවසට බෙහෙත් ඩිංගක් ගන්න යනවා” කෝසල කටෙන් වචනයක් පිට කරන්නේත් අමාරුවෙනි.කැහැලම උගුරු තුවාල වී ඇති හන්දා කෙල ගිලිද්දී අමාරුය.
“තනියෙන් යන්න එපා. මං වැඩපලට එන්නම්. අපි දෙන්නම යන්”
“දරුවො දාලා එන්නෙ කොහොමද මදූ?”
“මං අම්මට හරි සුබා අක්කට හරි කියන්නම් පොඩි දෙන්නව පැයකට විතර බලාගන්න කියල. තනියෙන් යන්න එපා. කලන්තයක්වත් දැම්මොත් කවුරුවත් ඇත්තෙත් නෑනෙ”
“ඔයා එහෙනම් පහ මාරට හයට වගේ එන්න” කියා කෝසල නික්ම යන අයුරු බලන්නට පසුගමන් ආ සිසිමාධවී උන්නේ බියකිනි. ඒ බියට හේතුව කුමක්ද කියා පැහැදිලි නොවුනත් හිත ඇතුලෙන් මේ ඉස්සරහට වෙන්න තියෙන අනතුරක, ව්‍යසනයක පෙර නිමිත්තක් බව අඟවන හඬ ඇසුණද සිසිමාධවී උන්නේ ඒ හඬ හිතා මතාම මගහරිමිනි. මේ බය බෙදාගන්න කාට හෝ කතා කරන්න තිබුණා නම් හොඳ නමුත් තමාට තමාගේ කියා ඉන්නේත් කෝසල සහ දරුවන් දෙදෙනා පමණක් නොවේද යන සිතුවිල්ල මහමේරුව මෙන් හිතේ තැන්පත් කරගත් සිසිමාධවී ආපසු හැරී ගෙට ආවේ කුස්සිය අස්පස් කර දමා වත්තේ පැලවලට වතුර දමන්න හිතාගෙනය.
මාස කිහිපයකට කලින් හිට වූ බණ්ඩක්කා පැල වල දැන් කරල් එන්නටද පටන් අරගෙනය. ඉන් ලපටි කරලක් දෙකක් කඩාගත් සිසිමාධවී ඉන් දවාලට බණ්ඩක්ක සලාදයක් හදන්නට හිතුවේ ගෙයි හරියේ උයන්න කියා වෙන එලවලුවක් දෙයක් තිබ්බෙ නැති හන්දාය. හැන්දෑවේ කෝසල සමග දොස්තර මහතා හමු වී එන අතරවාරයේ හන්දියෙ කඩෙන් එලවලුවක් ගන්නටත් ඇය ඒ එක්කම හිතුවාය.
හැන්දෑව ආවේ හිතුවට වඩා පමා වීය. දවාලේ පුෂ්පලතාට කිව් පරිදි චනුකත් දෙව්මිත් පුෂ්පලතා භාරයේ තබා සිසිමාධවී පයින්ම කෝසක වැඩකරන ගැරජය වෙත යද්දිත් කෝසල උන්නේ ඉතුරු වී තිබූ වැඩ වගයක් අවසන් කරමිනි. කෝසලව තරමටම සිසිමාධවීව දන්නා එරංග ආවේම “මොකෝ නංගි මේ පැත්තෙ?” කියාගෙනය.
“කැස්සක් හදන්නෙ අයියෙ. මං මේ කිව්ව බෙහෙත් ඩිංගක් ගන්න යන් කියල”
“ඔව් ඔව් ඊයෙ දවාලෙත් හොඳටම කැස්සයි ඇඟට පණ නැති ගතියයි කියද්දි මං තමා ජීවනී හිට හදල දුන්නෙ. වේලිච්ච කැස්සක්නෙ”
“ඔව් රෑත් හොඳටම කැස්ස”
“හතිය ආවොත් කේස් එක නංගි. ඉක්මනට කඩාගන්න තරමට හොඳයි. එහෙනම් අපි යනවා නංගි. කෝසල දැන් එයි” කියා එරංග පිටව යද්දීම කෝසල ආවේ පර්ස් එක සාක්කුවට ඔබමින් කමිස අත නවාගනිමිනි.
“ගොඩක් වෙලාද ඇවිත්?”
“නෑ විනාඩි දහයක් වගෙ. මං දැක්ක ඔයා වැඩ කර කර ඉන්නව. තාම පපුව රිදෙනවද?”
“හුස්ම ගද්දි තමා පොඩ්ඩක් අමාරුව”
“ටුක් එහෙක ගියොත් තුන්සීයක්වත් ගනීවි නේද?” කියා සිසිමාධවී ඇසුවේ නැතිබැරිකං ගැන ඉතින් ආයෙ අමුතුවෙන් කෝසලගෙන් වහං කරන්න ඕන නැතිහන්දාය. මේ වැඩ ඇරෙන වෙලාවේ බස් එකක යන එක කොච්චර අමාරුද කියා අමුතුවෙන් කියන්න ඕන නැත. විශේෂයෙන්ම කැහැ කැහැ පපුවත් අල්ලගෙන බස් වල ගොස් කෝසලගේ ලෙඩ වැඩිවෙන්න පුලුවන් බව දන්නව වුවද ත්‍රී රෝද රියකට දෙන්න කීයක්වත් අතේ නැත. තියෙන ටික බෙහෙත් වලට දෙන්න ඕනය.
“ටුක් ඕන නෑ. බස් එකේ යන් මධූ” කියා කෝසල කිව්වේත් ඒ ඇත්ත දන්න හන්දාමය.
“ඩොක්ටර් කුලතුංග ලඟට යන් නේද? නැත්තම් කෝපරේටිව් එකට යනවද?”
“කෝපරේටිව් එකේ දැන් හොඳ නොම්බර ඔක්කොම ගිහින් ඇති. අද කුලතුංග මහත්තය ලඟට යන්. බේත් වේලක් බිව්වම අඩු වෙයි” කියා කෝසල ආයෙ වරක් කැස්සේය. කෙල සමග ආ ලේ කැටිත්තක් සිසිමාධවීගෙන් වහං කරගන්නට මෙන් අඩියක් පොඩ්ඩක් පස්සට තැබූ කෝසල කාණුවට කෙල ගැසුවේය.