ප්‍රේමයේ මන්දහාසිනි 26

~ ~~ වර්තමානය ~ ~ ~

අපේ මුණ ගැසීමෙන් සතිය ඉක්මව යන විට මම අතිශය සැහැල්ලුවෙන්ද, මහේල ඉතා බරසාර ආතතියකින්ද පෙලෙමින් උන්හ. මහේලට මා වෙනුවෙන් වෙනම ඉඩ අවැසි විය.. අපේ ChOcO ManiA වෙනුවෙන් ඔහු තවත් වෙහෙසෙමින් උන්නේය.

ඉතින්, දැන් ඔබ මගෙන් විමසන්නට යන්නේ කුමක්දැයි මම දනිමි. මෙතෙක් කල් අසේකා පණ්ඩිතරත්න ට ChOcO ManiA යනු නිකම්ම නිකන් වචන විතරක්ම බව ඔබද දන්නේය. එහෙත් දැන් එය අපේ වී ඇත. ඉතින්, ඒක එහෙම බව විතරක් කියන්නට රුචිමි. මහේල අරන්දර සහ මා අතර වූ යමක් වීනම් එය සදාකාලිකවම වන්නට ඇත.

මහේලගේ මිතුරා වු තිලංක අයියා යලි විදෙස් ගත වීම මහේල යම් ආතතියකටද හෙලුවේය

” ඌ හිටියේ නැත්නම් මම මැරිලා ..”

දෙවෙනි බියර් කෑනයේ අවසාන උගුරට පසු මහේල කිවේය. ඔහුගේ දෑස් වල යන්තමට වන තෙතක් විය.

මහේලට නම් තිලංක අයියා හෝ සිට ඇත. එහෙත් මා සියල්ල දරා ගත්තේ තනිවමය. කොයි යම් හෝ මොහොතක , මට මුහුණවත් මතක නැති මිනිසෙක් පැමිණ මා පැහැරගෙන යාවිය යන බිය මුල් කාලයේ විය. පසුව අදාල මිනිසා නිහඬද ගිය නිසාත්, තාත්තා සහ නිර්මලී නැන්දා මා පිළිබඳව අවධානයෙන් සිටින බව වටහා ගත් නිසාත් ඒ බිය දුරු විය.

” ඔයා කොහොමද දන්නේ මම ඒ රෙස්ටෝරන්ට් එකේ වැඩ කියලා …”

මහේලගේ තුන් වෙනි බියර් කෑනයද අවසන් වෙමින් තිබුණි. ඔහු මා දෙස බලා අඩ සිනහවක් පෑවේය.

” මං නොදැන හිටියේ මොනවද අහන්න …”

මහේල ඉන් පසුව අඩමානයට පිළිතුරු දුන්නේය.

ඉන් පසුව මම කිසිත් විමසුවේ නැත.

සති දෙකක් ගෙවුණි. මා යලි අවන්හලේ සේවයට නොපැමිනෙන බව දැන්වු පසු එහි උන් සගයො එක දිගට මා ඇමතූහ. මහේල පිළිබඳව කිසිත් හෙලි නොවන පරිදි මම ඔවුන්ට පිළිතුරු දුන්නෙමි. මහේල පැවසුවේද, ඒ ලෙසින් සිදු කිරීම වඩා සුදුසු වගය.

ChOcO ManiA වෙනුවෙන් පලමු කොකෝවා තොගය ගෙන ආවේ අකුරැස්සේ වූ ගොවිපලකිනි. කර්මාන්ත ශාලාව තුළම කොකෝවා සැකසීම සඳහා වන ඉඩද තිබුණි.

අප කර්මාන්ත ශාලාවේ කොකෝවා සැකසුම් අංගනයට ඇතුලු වනවිටත් එහි කටයුතු ඇරඹෙමින් තිබුණි.

මහේලට මෙම චොකලට් විප්ලවය සඳහා රුහුණු විශ්ව විද්‍යාලගේ කෘෂිකර්ම විද්‍යා පීඨයේ නිලන්ත ලියනගේ නම් ආහාර තාක්ෂණය සම්බන්ධ යාවත්කාලීන මහාචාර්යවරයාගේ මඟ පෙන්වීම සහ නොම‍ඳ සහය ලැබී තිබුණි.

ඔහු පිළිබඳව අසා තිබුනද, මම ඔහු දැකගත්තේ අදය.

” මේ හිනාව එක්ක මිස්ටර් අරන්දරට මොනවා කරන්න බැරිද ?”

මහාචාර්යවරයා අප දෙදෙනා සමඟ ගත් සෙල්ෆි චායාරූපයෙන් පසු එලෙස පවසා සමුගත්තේය. මා උන්නේ අතිශය ප්‍රීතියෙනි.

මහේලගේ මිතුරෙකු වූ කෘෂිකර්ම ඇමතු මනුර ගේ පෞද්ගලික ලේඛම් වරයා ද කර්මාන්ත ශාලාවේ මුලික කටයුතු ආරම්බ විම වෙනුවෙන් මනුර ඇමතිවරයාගේ සුබ පැතුම් සමඟ පැමිණ උන්නේය.

අප උන්නේ සියල්ල නිවැරැදිව සිදු වීමේ ප්‍රීතියෙනි.

එක්වරම ආරක්ෂක නිළධාරියා ගේ බාධා කිරීමද නොතකමින් තරුණියක් අප උන් අංගනය දෙසට දිව එමින් උන්නාය.

” මහී … හායි හැන්ඩ්සම් ….”

විදෙස් සම්භවයක් සහිත ශ්‍රී ලාංකික තරුණියගේ ප්‍රහර්ෂණීය සිනහව සහ හැසිරීම මගේ හදවත මත ක්ශඹික බියක් සහ වේදනාවක් තැනුවේය. ඔබටද එය වැටහෙනු ඇතැයි සිතමි.

” ඕහ් නෝහ්……. ඈශ් ?…”

මා සිටිනා වගක්වත් අමතක ව ගිය සෙයින් මහේල අරන්දර මා පසු කර ඇය වෙත ඇවිද ගියේය. ඒ අඩි ඉතා ඉක්මන් විය. දිගුවිය. ඒ නිසාම ඒ අඩි මා වෙත කාන්දු කෙරූ වේදනාව දැඩි විය.

මහේල ඇයව වැලඳගත්තේය. ඇය මහේලගේ කොපුලක් සිප ගත්තාය. ඉන් පසුව ඇය මහේලගේ දෑතම සිපගත්තාය.

” හම්මෝ… මෙයාගේ ලස්සන … බ්ලූ ශර්ට් ..අහ්හ්…”

ඇය එලෙසපවසා මහේලගේ ළය මතට දෑතම තබනු පෙනෙද්දී මම ඉවතක බැලුවෙමි.

කඳුලු සියලුදෙනාගෙන්ම වසන් කරගෙන එතැන සිටීම අපහසුවුවද මට එතැනින් පිටවෙන්නට ක්‍රමයක් වූයේද නැත. මම වෙන් කර දමා තිබූ කොකෝවා මද දෙස බලමින් අවදානය වෙනතක තබා ගන්නට උත්සාහ කලෙමි.

” කවදාද ඈශ් ආවේ ? කොහොමද මෙහෙ හොයාගත්තේ ? මට නිකමටවත් කිව්වෙ
නෑනේ ළමයෝ….”

මහේල ඉංග්‍රීසියෙන් විමසුවේ හුස්මක් ගන්නට තරමේවත් ඉඩක් තබා නොගනිමිනි. මම යලි ඔවු දෙස බැලුවෙමි. මම නන්නාඳුනන එහෙත් මහේල හොඳින්ම හඳුනන බව පෙනෙන යුවතිය මහේලගේ අතක එල්ලී උන්නාය.මම යළි කොකෝවා මද මත දෑස් නැවතූවෙමි.

” ඉවසිල්ලක් නෑනේද ? ඉස්සර වගේම .? ස්ටුපිඩ් ….හෙමින් අහන්නකෝ…”

ඇය ඉතා දයාර්ද්‍ර ලෙසින් හුරුතල් වෙමින් උන්නාය.

ඉතින් රිදුනේ මටය. තවත් වේලා එතැන රැඳී සිටින්නට මට අවැසි වූයේ නැත. මම වහා මහේල උන් තැන පසු කරන්නට උත්සාහ කලෙමි.

” අහ් අසේකා … “

මහේල මා නවතන්නට උත්සාහ කරද්දී මම කලබලයක් පෙන්වමින් ඔහු පසු කලෙමි

” මගේ ප්‍රොජෙක්ට් පාර්ට්නර් ..”

මහේල එලෙසින් මා හඳුන්වා දෙනු ඇසුණු පසු සිතෙහි වූ අන්තිම ශක්ති බින්දුවද ක්ශීණ්ව ගියේය

මම අඩියට දෙකට කර්මාන්ත ශාලා පරිශ්‍රයෙන් එලියට ආවෙමි. කිසිවෙකු මා දුටුවේ නැත. දරාගන්නට නොහැකි තරමේ හැඬුමක් පාලනය කරගෙන ප්‍රධාන පාර වෙත ඇවිද ගියෙමි. ත්‍රී රෝද රියකට අත පෑවෙමි. කොහේ යා යුතුදැයි සිහි වූයේ නැත. එක්වරම තාත්තා සිහි විය

” නුගේගොඩට ….”

ඇති දුරද, වියදමද නොසිතා කීවෙමි. ත්‍රීරෝද රථය යු හැරවුමක් ගත්තේය. ඉතින් මගේ ජීවිතය ගත් යූ හැරවුම ක්ශයව ගියා නොවේද ? මහේල අරන්දර, එලෙස නම් ඔබ පළි ගන්නට තොරා ගත් විදිය එයය.

මගේ ආත්ම විශ්වාසය වූයේ අන්තිම අඩියේය. හිත කුඩුපට්ටමව ගොස් තිබුණි. මේ මොහොත සිහියෙන් පසු කරගැනීමට මොළයෙන් නැඟෙන පණිවිඩ එකක්වත් පිළිගන්නට මට හැකි වූයේ නැත. ත්‍රී රෝද රථයේ විවෘත දෙපසින්ම නැඟෙන සුළං නිසා ගත සීතලව යන බව දැනෙයි. ඒ සිතල ගත අභ්‍යන්තරයෙන් නැඟෙන සිතල හා මුහු වූ පසු දෙතොල් වෙවුලන වග මටම දැනෙයු. ඇඟිලි අග්ගිසි ගැහෙන බව පෙනෙයි.

ඔබද යන්තමින් දන්නා පරිදි මම මෙවන් මානසික පීඩාවන්ට මුහුණ දෙන පලමු වතාව මෙය නොවේය. එහෙත්, නොසිතූඇසිල්ලක අරන්දර මගේ ජීවිතය තුළ වූ සියලු දෝමනස්සයන්ට ඔසුව වී මතු වූයේය. මා සතුව තිබූ ඔසු සියල්ල පසෙකට විසි කර දැම්මේ මමමය. ඒ ඔහු ගැන වූ විශ්වාසයෙනි. දැන් මේ මොහොතට මා දැක්විය යුතු ප්‍රතිචාරය මටසිතා ගත නොහැක

මේ සිතුවිලි අතිශය වේදනාකාරි බව ඔබට දැනෙනට ලිවීම මා තවත් මරණීය කරවන බැවින් මම නොලියා වැලකෙමි. එහෙත් බලාපොරොත්තු බිඳ වැටුනාට පසු දැනෙන මේ ඉච්ඡාභංගත්වය හුස්ම හිර කරවන තරමටම වන වග ලියා තියමි.

මහේලට මගෙන් පලි ගන්නට අවැසි වූවායැයි මීට මොහොතක ට පෙර මමම කීවෙමි එහෙත් සැබැවින්ම ඔහුට එවැන්නක් අවැසි වූවායෑයි ඔබ සිතන්නේද ?

අනේ මා තනි නොකරන්නයැයි මම ඉල්ලමි. කතාවේ මුල මා චපල ස්ත්‍රියකැයි ඔබ සිතාවියැයි වූ බිය ගැන මම ඔබට කීවෙමි. එහෙත්, එය එලෙස නොවන වගට අංශුමාත්‍ර හෝ දැනිමක් දැන් ඔබට ඇත. අසේකා පණ්ඩිතරත්නට මේ මොහොතින් ගොඩ එන්නට පාරක් කියාදෙන්නට ඔබට හැකිද ?

| අපේක්ෂා ගුණරත්න |

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles