පමා වී පිපුණු මල් 2

0
7450

“මල් නම් සර් මම කියන්නෙ ෆ්‍රෙශ් ෆ්ලවර්ස් විතරක්ම දාන එක පාඩුයි. ෆ්‍රෙශ් ෆ්ලවර්ස් එක්ක මික්ස් එකෙ ආටිෆිශල් ලීවස් ඇන්ඩ් ෆ්ලවර්ස් දාන එක ලාබයි. ෆොටෝස් වලට එහෙම කිසිම වෙනසක් පේන්නෙ නෑ සර්”

අරුණලීත් මෙනුකත් විවාහ මංගල උත්සවයේ මල් සැරසිලි කිරිම සඳහාත් තෝරගත්තේ අඩු වියදමින් සුන්දර මල් සැරසිලි කරන බවට ප්‍රසිද්ධ කුශී ෆ්ලවර්ස් ආයතනයි. මේ දිනවල විවාහ මංගල උත්සවයේ වැඩ රාජකාරි සමග කාර්‍යබහුල වන නිසාම මෙනුකත් අරුණලීත් උන්නෙ කිසිම විවේකයක් නොමැතිවය. 

“ඔයා මොකද හිතන්නෙ?”

මෙනුක අසන්නේ අරුණලි දෙස බලාගෙනය. කොහොමත් පිරිමි ලමයි විවාහ මංගල උත්සව සඳහා ගැහැණු පාර්ශ්වය මෙන් උනන්දු නොවන බව ඉතින් මෙනුකගේ විශ්වාසයයි. කුඩා අවදියේ සිටම විවාහ මංගල උත්සවය ගැනත්, එදිනට අඳින ඇඳුම.පැලඳුම ගැනත් සිහින දකින්නේ ගැහැණු ලමයින් ය. 

ඉතින් මෙතනදීත් මේ තීරණ වල වැඩි හිමිකාරීත්වය හිමිවන්නේ අරුණලීටය.

“ආටිෆිශල් ලීව්ස් දාන එක ඉශූ එකක් නම් නැහැ. ඒ උනාට ෆ්ලවර්ස් නම් ආටිෆිශල් ඒව දාන්න එපා මට ගොඩක් ෆ්ලවර්ස් ඕන නැහැ ඩෙකරේශන් එකකට. සිම්පල්, මෙන්න මේ වගේ උනානම් හොඳයි” කියා අරුණලී දුරකතනයෙන් විවර කරගත් පින්ටරස්ට් ඇප් එකෙහි තිබූ මල් සැරසිලි කිහිපයක් පෙන්වුවාය.

“ඕකේ මැඩම්, හැබැයි මේ වගේම මල් නම් අපිට මෙහෙ හොයාගන්න ලේසි වෙන්නෙ නෑ. ඒකට ඉශූ එකක් නැද්ද?”

“නෑ නෑ ඒක කමක් නෑ, හැබැයි මම ආසයි කලර්ෆුල් ෆ්ලවර්ස් යූස් කරන්න පුලුවන් නම්. අපේ වෙඩින් එක ගන්න ලොකේශන් එක ටිකක් අර කොලෝනියල් ලුකින් ප්ලේස් එකක්. ඒ නිසා ඩෙකරේශන්ස් වලින් තමයි අර කලර්ෆුල් බවක් අරගෙන එන්න පුලුවන්”

“නෝ වොරීස්, මම රෝසස්, ඇගපැන්තස්, ක්‍රිසන්තිමම් වගේ කලර්ෆුල් ෆ්ලවර්ස් යූස් කරන්න. ෆ්‍රෙශ් ලීවස් වල මැදට ආටිෆිශල් ලීව්ස් ඇඩ් කරන්නම්.

මැඩම්ලගෙ වෙඩින් එක ගන්න ලොකේශන් එක මොකද්ද?”

” ක්ලෝසන් බර්ග් හොටෙල් එක”

“ඕකේනයිස්. මම කෝකටත් ලොකේශන් එකෙ ඉමේජස් ටිකකුත් බලල මොන වගේ ඩෙකෝස් ඇන්ඩ් සෙටි බැක් එකක්ද එන්නෙ කියන එක රෙෆරන්සස් එවන්නම්”

මංගල මල් සැරසිලි ගැන කතා බස් කිරීමෙන් අනතුරුව මෙනුකත් අරුණලීත් නික්මුනේ දිවා ආහාරය ගනු පිණිසයි. 

“දැනටම සෑහෙන වියදම් වුනා නේද?” අරුණලී එසේ ඇසුවේ මෙනුක ඒ ගැන අමනාපයෙන් හිඳිනවාදැයි අසන්නට මෙනි. අරුණලීගේ පාර්ශ්වයෙන් විවාහ උත්සවය වෙනුවෙන් වියදම් කරන්නෙ තාත්තත් අම්මාත් වුවද මෙනුකගේ පර්ශ්වයෙන් විවාහය සඳහා වැඩි බර පැන දරන්නේ මෙනුකය. විවාහ උත්සවයෙන් පසුව දෙවන ගමන සඳහ විශේෂ උත්සව නොගන්නා මෙනුකත් අරුණලීත් මුලින්ම තීරණය කරගෙන උන් හ. 

“දෙපාරක් බඳින්නෙ නෑනෙ බබා. ඒ නිසා ගන්න එකම වෙඩින් එක අපි ලස්සනට ගමු”

මෙනුක පවසන්නේ දුරකතනයෙන් පික් මී යෙදවුම  ඔස්සේ දිවා ආහාරය ගන්නා තැනට යන්නට වාහනයක් ඇණවුම් කරමින් ය. 

“ආහ් කවුද දන්නේ?”

“මොකද්ද?”

“එකපාරයි බඳින්නෙ කියල”

“ආහ් දැන් එහෙමද එහෙනම් ලමයගෙ කල්පනාව?” කියමින් මෙනුක අරුණලීගේ බඳ වටා අත දමා කිති කවද්දී අරුණලී දෙපැත්තට හැරෙමින් මුකුලු කරන්නීය.

“අනේ එපා මෙනුක, මට කිති, ඔය දන්නවනෙ”

“මං ඔයාගෙ ඔය කිතිය ඉක්මනටම ඇරල ගන්නම්කො”

“ආහ් මෙයාට හොඳට එක්ස්පීරියන්ස් තියෙනව වගේ කෙල්ලන්ගෙ කිතිඇරල” කියල අරුණළී වාහනයට නගින අතරවාරයේ කිව්වද මෙනුක එයට මද සිනාවක් විනා කිසිත් ප්‍රතිචාරයක් දැක්වුයෙනැත. 

“ඔයා තරහ උනාද මෙනුක මම එහෙම කිව්වම්? සොරි අනේ..මම විහිලුවට කිව්වෙ”

“අයියෝ පිස්සුද අනේ, මම මොකටද තරහවෙන්නෙ.මං මේ කල්පනා කරන්නෙ ට්‍රැෆික් එකේ ගිහින් කීයට කන්න වෙයිද කියල”

“කමක් නෑ, ඔයාට හවස මොකක් හරි වැඩ තියෙනවද?” 

“නෑ නෑ, අව්ව හන්ද කිව්වෙ, පිච්චෙනව වගේනෙ”

“අනේ මේ ඔස්ට්‍රේලියා ගිහිල්ල මෙයා මේ කලු සුද්දෙක් වෙලා. බොරුව දාන්නෙ නැතුව ඉන්නව”

“හා හා හරි හිනා මට. මේ හලෝ තව මාස දෙක තුනකින් ඔයාටත් කලු සුද්දියක් වෙලා තමයි ඉන්න වෙන්නෙ. ගොඩය වගේ ඉඳල හරියන්නෙ නෑ ඔස්ට්‍රේලියා ගිහිල්ලා”

“ආහ් දැන් අපි ගොඩයො? මොකද දන්නෙ නෑ එහෙනම් නේද ගොඩයෙක්ව බඳින්නෙ?”

විහිලු තහලු මැද්දේ ගෙවුණ දවස අවසානයේ නිවස බලා ආ අරුණලී දවසේ විස්තර අම්මා සමග සුපුරුදු ලෙස බෙදාගත්තාය. නංගී උන්නෙ විශ්ව විද්‍යාලයේ විභාගයකට සූදානම් වන්නට මිතුරියකගේ බෝඩිමක නතර වීය. නංගී ආයෙම නිවස බලා එන්නේතව සති දෙකකින් පමණ නිසා මේ දිනවල ගෙදර තිබෙන්නේ බොහෝ සෙයින් නිහඬ වීය.

මංගල්‍යයට කලින් මුහුණත් සමත් ලස්සනට තබාගත යුතු බව පවසා සැලෝන් එකේ තරුලි අක්කා විසින් ලබා දුන් රුව අලංකරණ ආලේපයන් මුහුණේ තවරාගත් අරුණලී කුස්සියට යද්දීත් අම්මා සිටියේ කුස්සිය අස්පස් කරමිනි.

“තාත්තා නැද්ද අම්මේ?”

“තාත්තා ගියානෙ අර මධුර අංකල්ට වෙඩින් කාඩ් දීල එන්න. ඒ මිනිස්සු රට ඉඳල ආවෙ දවස් කීපෙකට කලින් නෙ”

“ඒ අංකල්ගෙ පුතා ඉන්නෙ කැනඩා නේද?”

“ඔව් පුතා නිසා මධුරලටත් මාස කීපයක් විතර එහෙ ගිහින් ඉන්න පුලුවන්ලු. ඒකනෙ ඔය බැලුවොත් ඇත්තන් එහෙ යන්නෙ එන්නෙ”

“අම්මලටත් දැන් තියෙන්නෙ නිවාඩු කාලෙට ඔස්ට්‍රේලියා එන්න”

“ඉස්සෙල්ල ඔයා යන්නකො. පස්සෙබැරිය අපිට එන්න”

අරුණලී සිනාසෙන අතරම කම්මැලිකම දුරු කරගන්නට මෙන් කුස්සියේ වටයක් ඇවිද්දාය. තව මාස කිහිපයකින් තමා දුර ඈත රටක මෙයාටත් වඩා නවීන පන්නයේ නිවසක මුලුතැන්ගෙයක උයමින් සිටින ආකාරයත්, මෙනුක විත ඉණ වටා අත දමා තමාව තුරුලු කරගන්නා ආකාරයත් මතක් වී අරුණලීට සිනා ආවේ ඉබේටමය. ඒ සිතුවිලි පවා මෙතරම්ම සුවබර නම් ඒ ජීවිතය හැබෑවටම විඳ ගැනීම මොනතරම් සුවබර විය හැකිය යන්න අරුණලී නොසිතුවා නොවේ.

“නැන්ද කතා කරානෙ” අම්මා අමුතු විදියට හිනාවෙවී කියන්නේ ස්‍රීනි නැන්දා විසින් කියූ කුමක් හෝ කට කැඩිච්ච කතාවක් මතක් වී විය හැකිය. ස්‍රීනි නැන්දා කොහොමත් ඉන්නේ තමන්ට මොනවා හෝ කියන්නට මාන බලමින් බව පවුලේ සියල්ලන්ම දනී. තාත්තාගේ නැගණිය වුවද ඇය කිසිසේත්ම පවුලට ලැදියාව නැත්තියක බව අමුතුවෙන් කිව යුතු නොවේ.

“මොනවද කියන්නේ?”

“ලක්සෙට කොඩි දාලා වෙඩින් ගන්න යනව කියල අරව මේව කියනව” අම්මා කියන්නෙ සැහැල්ලුවෙන් සිනාසෙමිනි. 

“එයා ඉතින් කොහොමත් එහෙමනෙ. මතකනෙ ඉස්සර අපිට කිව්ව කතා. නංගිල දෙන්න තමයි දක්ශ අපි ගොන් කිය කිය. කට වහගත්තෙ මායි නංගියි කැම්පස් ගියයින් පස්සෙ”

“මෙනුක එක්ක යාලු කාලෙත් එක එක ඒව කිව්වනෙ. දන්නෙ නැද්ද දන්නෙ එයා භානු ක්ලාස් යනව කියල කොල්ලො එක්ක රවුන් ගහන ඒව. ඔයාලා ඕව කරානම් බලන්න තිබුනා”

“පිස්සුනෙ. වෙඩින් එක දවසට නම් ඔන්න එයාට පිස්සු කියවන්න එපා කියන්න හොඳේ” කියමින් අරුණලී කාමරයට ආවේ මුහුණේ ගෑ ආලේපය ඉවත් කරන්නට වෙලාව ආ නිසාවෙනි. මුහුන හොඳින් සෝදා පිරිසිඳු කරගෙන, ඇඟ පත දොවාගෙන සිනිදු රෑ ඇඳුම හැඳගෙන කාමරයට ආ අරුණලී නිදියන්නට සිතුවේ රෑ තිස්සේ අවදි වී හිඳීම නිසා ඇස් යට කලු උනොත් වෙඩින් එක දවසට කැතට පෙනේ යැයි තරුලි අක්කා කිව් නිසාය.

දුරකතනය ගෙන අලාර්මය තබා කාමරයේ විදුලි පහන් නිවා ආ අරුණලී දුරකතනය අතට ගත්තේ මෙනුකට තමා නිදියන බව කියන්නටය. කෙටි පණිවිඩය යැව්වද මෙනුකගෙන් පිලිතුරක් නැත. මෙනුක පිලිතුරු එවන තුරු අරුණලී ෆේස්බුක් වෙත ගොස් එහි උඩ පහල ගියාය. මෙනුක සමග උදේ අප්ලෝඩ් කර ස්ටෝරි එකකට “මෙනුක නේද?” කියා ඇඉත් තිබුණ මැසෙන්ජර් පණිවිඩය අරුණලී දුටුවේ ඒ මොහොතේය.

ඒ නොදන්නා ගිණුමකි. තමන්ගේ මුහුණු පොතේ මිතුරු හමුවේ නැති ගිණුමකි. තද කලු පාට ප්‍රොෆයිල් පික්චර් එකක් හැර වෙනත් කිසිම ජායාරූපයක් නැති ගිණුමකි.

“ඔව්, මෙනුක තමයි, ඔයා දන්නවාද?” කියා එයට පිලිතුරු දෙන්නට තමාට සිතුණේ ඇයිද කියා අරුණලීට සිතාගන්නට නොහැක.

එහෙත් තමාගේ පණිවිඩය ගිය සැනින් එයට පිළිතුරු ලෙස මහ හඬින් සිනාසෙන ඉමොජියක් එවන්නට හේතුවක් ද අරුණලීට සිතාගන්නට නොහැක.

“වයි ආර් යූ ලාෆින් ලයික් දැට්?” අරුණලී එවර පණිවිඩය යැව්වේ ඉංග්‍රිසියෙනි.

“මෙනුක ගැන දන්න ඕනම කෙනෙක්ගෙ රිඇක්ශන් එක ඉතින් ඕක තමයි” කියා ඒ ගිණුම් හිමියා ඕෆ්ලයින් යද්දීම මෙන් දුරකතනයට ඇමතුමක් ආවේ මෙනුකගෙනි. හිත තිබුනේ මදක් තිගැස්සී නොවේයැයි කියන්නට නොහැක. එහෙත් මෙනුකගේ ඇමතුමට පිලිතුරු නොදී ඉන්නට එය හේතුවක් නොවේ.

“සොරි බබා ඔයා මැසේජ් එක එවද්දි මම බාතෘම් එකේ හිටියෙ. නිදාගන්නද යන්නේ?”

තමාට දැන් ලැබුණ පණිවිඩය ගැන මෙනුකට කිව යුතු ද කියා අරුණලී වරක් සිතුවාය. විවාහයන් ලං වෙද්දී මෙවන් කඩාකප්පල්කාරී සිදුවීම් වන බව අසා තිබුනද එය තමා විෂයෙහි සිදු වේ යැයි අරුණලී කවදාවත් සිතුවේ නැත. 

මෙනුක සමග තමාට සබඳතාවය තිබෙන්නේ අද ඊයෙක සිට නොවේ. ඉතින් මේ නන්නාදුනන මිනිසෙකු කියූ පමණින් එය මෙනුකගේ හිතත් කලබල කරන්නට හේතුවක් නොකරගත යුතු බව සිතුවද හිතේ කෙලවරක වචනයෙක් කියන්නට නොහැකි අමුතුම හැඟීමක් සිරවී තිබෙන ආකාරය අරුණලීට දැනුනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here