සෙනෙහස් අවාරේ 05

දොස්තර ළඟට ගොස් සිසිමාධවීත් කෝසලත් ගෙදර ආවේ රැගෙන ගියාට වඩා වැඩි බරක් හිසේ තියාගෙනය. ළය රෝහලෙන් පපුව ස්කෑන් කරගෙන එන්න යැයි කියන්නට තරම් කෝසලගේ කැස්ස දරුණු වූයේ කෙසේද කියා සිසිමාධවීට හිතාගන්නට අපහසුය.
දොස්තර මහතා ළඟ කෝපරේටිව් එකට වඩා සෙනගය කියා සිසිමාධවීට සිතුනේ වාඩිවෙන්නටවත් බංකුවක ඉඩක් නොතිබ්බ හන්දාත් ලැබිච්ච අංකය 12 හන්දාත්‍ ය. තමන්ට නම් හිටගෙන ඉන්න උනාට දුකක් නැත. පපුව අල්ලගෙන කහින අතරම ඇස්වලින් කඳුලු පිහින කෝසලට හිටගෙන ඉන්න වීම හිතට රිදුමකි.
හිතුවාට වඩා වෙලාවක් දොස්තර හමුවන්න ගියේ හිතවත් කෙනෙකු ආ ගිය විටෙක ආ ගිය තොරතුරු කතා කරන්න දොස්තර මහත්තයා වෙලාව ගන්නා නිසාවෙනි.
“කියන්න බලන්න ලෙඩේ?” කියා සිසිමාධවීත් කෝසලත් දෙස බලාගෙන උන් දොස්තර මහතාට කෝසලගේ ලෙඩ ගැන කියන්න ගියේ සිසිමාධවීය.
“ටික දවසක ඉඳල කැස්ස තියෙනව ඩොක්ටර්. පපුවත් රිදෙනව හුස්ම ගන්නත් අමාරුයි කියල කීප විටක්ම කිව්වා”
“සෙම තියෙනවද?”
“නෑ වේලිච්ච කැස්සක් තියෙන්නෙ”
“කහිද්දිද පපුව රිදෙන්නෙ, නිකන් ඉද්දිත් රිදෙනවද?”
“නිකන් ඉද්දිත් රිදෙනව, කහිද්දි ටිකක් වැඩිපුර අමාරුයි”
“එතකොට හුස්ම ගන්න අපහසුතාවය තියෙන්නෙ කැස්ස තියෙනකොට විතරද?”
“මුල් දවස්වල නම් කැස්ස තියෙන කොට විතරයි, හැබැයි දැන් දිගටම නිතරම වගේ ඒක තියනව” කියා කෝසල කියද්දී ස්ටෙතස්කෝපය පපුවත් පිටටත් තබාද අනතුරුව උගුර ද දිවද පරික්ශා කර දොස්තර මහත්තයා ඇහුවෙ එකම දෙයකි.
“කොහෙද වැඩ කරන්නෙ?”
“මේ හන්දියෙ ඔටෝ සේල්ස් ගරාජ් එකේ මහත්තය”
“මොනවද කරන්නෙ?”
“ස්ප්‍රේ පේන්ටර්”
ඒ වචන එතරම්ම කල්පනා කරන්න දෙයක් ද කියා සිසිමාධවී සිතා අනතුරුව රස්සාව ආදායම අනුව බෙහෙත් නියම කරනවා ඇතැයි සිතා සනසාගත්තාය. එහෙත් ඒ සැනසුම තිබුනේ මොහොතක් හෝ දෙකක් වගෙ පොඩි වෙලාවක් පමණකි.
“ම්ම්ම් ඉස්සෙල්ල චෙස්ට් හොස්පිටල් එකෙන් ස්කෑන් එකක් කරගෙන එන්න. අපි ඒක අරගෙන ආවම ඉතුරු ටික බලමු” කියා හිනැහී කිව්වද ඒ උත්තරේ බාරගත යුත්තේ එවන් හිනාවකින්මද කියා අදහසක් කෝසලටවත් සිසිමාධවීටවත් අදහසක් තිබුණේ නැත.
අනෙක් අතට ළය රෝහලට යන්නේ කාස ලෙඩ්ඩුය. ඒ හැඟීම හිත ගිනි තබන්නකි. දන්නා හැටියට තමන්ගේවත් කෝසලගේවත් පවුලේ කාස ලෙඩ්ඩු නැත. එහෙව් එකේ කෝසලට බෙහෙතක් නොදී ලය රෝහරෙන් ස්කෑන් එකක් කරගෙන එන්න කිව්වේ ඇයිද කියා හිතාගන්න සිසිමාධවීට අපහසුය.
“ඇයි ද දන්නෙ නෑ නේද මධූ ස්කෑන් එකක් කරගෙන එන්න කිව්වෙ?” සල්ලි ගෙවා ඩිස්පෙන්සරියෙන් එලියට බහිද්දීම කෝසල ඇසුවේ සිසිමාධවීගේ හිතේත් කැරකි කැරකි තිබ්බ ප්‍රශ්නයමය.
“පපුව ඇතුලෙ ඉතින් කැස්සක් හරි මොකකට හරි හේතුවෙන දෙයක් තියෙද කියල බලන්න වෙන්නැතිනෙ මහත්තයො. බය වෙන්න ඕන නෑ” කියා ඇය කිව්වද ඇය ඉන්නේත් බයෙන් බව කෝසල තේරුම් ගත්තේ කලාතුරකින් සිසිමාධවිගෙන් කටින් වඩාත් ආදරය ද බයද දැනුන මොහොතක එලියට එන මහත්තයෝ යන වදන නිසාය.
මේ අවුරුදු නවයටම ඇය ඒ වදන කියා ඇත්තේ ඉතාම අල්ප අවස්තා කිහිපයක බව කෝසලට අමතක නැත.
මුලින්ම “අනේ මහත්තයො ඇවිල්ල මාව එක්කරගෙන යන්න, අපෙ අම්මල මගෙ ෆෝන් එකත් අරගෙන මට ඔයාට කතා කරගන්නවත් විදියක් නෑ” කියා අඬමින් කතා කල දිනයේය.
දෙවනුව නමට පමනක් මධුසමයක් වූ ඒ රාත්‍රියේ තමා ඇයව සහමුලින්ම තමාගේ කරගන්නට පෙර ඒ දෙනෙතට නැඹුරු වී අවසර පැතූ මොහොතේ “මට බයයි මහත්තයො රිදේවිද කියල” කියූ මොහොතේය.
තෙවනුව පුතා චනුක හම්බ වෙන්න රෝහල්ගත කල මොහොතේය.
ඇය මහත්තයෝ යන වදන භාවිතා කරන්නේ කුමන මොහොතකද කියා දන්නා තමන්ට දැන් ඇය හිඳින්නේ බයක් හිතේ ගුලිකරගෙන නමුත් තමාව ශක්තිමත්ව තබන අදහසකින් බව කෝසලට නොරහසකි.
බසයේ නැගී ගෙදර බලා එද්දීත් කෝසලත් සිසිමාධවීත් අතර කතාබහක් උනේ නැති තරම් ය. එහෙත් ඒ තරමටම හිත තිබුනේ තමන් එක්කම දොඩමලු වෙමිනි. දොස්තර මහතා නොකිව්වාට අකලට ආ තමන්ගේ මේ කැස්ස මාරාන්තික ලෙඩක පෙර දැනුම් දීමක්ද කියා කෝසලට නොසිතුනා නොවේ. එවෙලේ “කහිද්දි දෙතුන් වතාවක් ලේත් ගියා” කියා දොස්තර නොකිව්වේ සිසිමාධවී බය වේයැයි කියා නමුත් මෙවෙලේ “ඒකත් කියන්න තිබ්බෙ” කියා කෝසල සිතුවේය. එහෙත් දැන් ඒ වෙනුවෙන් කරන්න දෙයක් නැත. ස්කෑන් රිපෝට් එක අරගෙන ආපසු දොස්තර මහතා ලඟට ගිය දිනක ඒ බව කියනවායැයි සිතා කෝසල සිත අස්වසා ගන්නට තැනුවේය.
“හෙට දැන් ස්කෑන් එකට යන්න වෙන්නෙත් හවස නේද?” සිසිමාධවී දෙදෙනා අතර වූ නිහඬතාවය බින්දේ බසයෙන් බැස අඳුරු පාර දිගේ ගෙදරට පියනගන අතරවාරයේය.
“දවල් කෑම වෙලාවෙවත් ගිහින් එන්න බලනව”
“වැඩපලෙන් යන්න දෙයිද?”
“කියල බලනව”
“එහෙනම් තනියෙන් යන්න එපා, ඔයා උදේට බොස්ගෙන් අහල බලල මට පණිවිඩේ දෙන්න, මම එන්නම් එතනට” කියා සිසිමාධවී කියද්දි වෙනදාක නම් “ඔයා කරදර වෙන්නෝන නෑ” කියා කියන්න කටයුතු කරද අද කුමක් හෝ හේතුවකට “මධූත් ලඟ හිටියොත් හොඳයි” කියා කෝසල සිතුවේය.
අම්මාත් තාත්තාත් ගෙදර එනතුරු ආච්චි අම්මාගේ ගෙදරට වී හුන් චනුක සහ දෙව්මි දෑත් විදාගෙන දුව ආවේත් කෝසල් අමාරුවෙන් උනත් පහත් වී දෙදෙනාම වඩාගත්තේත් එකම වෙලාවේය.
“කෝ පුතේ බහින්න තාත්තගෙ අතෙන්, තාත්තට සනීප නෑනෙ” කියා සිසිමාධවී කියද්දී දෙව්මි වඩා තදින් තාත්තාගේ බෙල්ල බදාගෙන උන්නද චානුකට අහන්නට බොහෝ දේ තිබේ.
“ඇයි තාත්තෙ?”
“තාත්තට කැස්ස හැදිලනෙ පුතේ”
“බේත් දුන්නද ඩොට්ට?”
“ඔව්”
“තිත්ත බේත් ද?”
‘ඔව්, පුතා ඔන්න කැස්ස හදාගන්න එපා හොඳේ, පුතාටත් තිත්ත බේත් තමා බොන්න වෙන්නෙ එහෙම උනොත්” කියද්දි දණිපණි ගා තාත්තාගේ අතෙන් බිමට පනින චනුක අම්මා වෙත දුව යයි.
පස්සෙන්දා උදේ වැඩට ගිය කෝසල ආයතන හිමිකරුවෙන් පැයකට එලියට යන්නට කෑම පැයේ අවසර ගත්තේ ඇත්ත කතාවම පවසාය. අනතූරුව සිසිමාධවී අමතා එකට පමණ එන්න යැයි කියූ කෝසල එක කිට්ටු වෙද්දී සූදානම් වී උන්නේ සිසිමාධවී ආ ගමන් ස්කෑන් එක කරගෙන ආපසු යන බලාපොරොත්තුවෙනි.
දහවල් වරුවක් උනත් ලය රෝහල තිබුනේ සෙනග පුරවගෙනය. වැඩි හරිය විශ්ව විද්‍යාලයට යන්නට තේරී උන් මෙඩිකල් පුරවාගන්නට ආ දරුවන්‍ ය. පාට පාට ක්‍රොප් ටොප් ද ඩෙනිම් කලිසම් ද හැර සතුට උතුරා යන මුහුණුවලින් රස්තියාදු වෙමින් උන් කෙල්ලන්ගේ සතුට මෙයට අවුරුදු ගාණකට පෙර තමාටද උරුම වන්නට තිබූවක් බව සිසිමාධවී සිහිපත් නොකර උන්නේ ඉතා අසීරුවෙනි. පාසල් යන කාලයේ ප්‍රේමයක පැටලී අධ්‍යාපනය කඩාකප්පල් කර නොගත්තා නම් වේ වෙද්දී තමා විශ්ව විද්‍යාලයෙන් නික් මී හොඳ රැකියාවක් කරන්නියක වන්නට තිබුනා නොවේද කියා සිතුන සිතුවිල්ල පවා සිසිමාධවී හිත අස්සෙ හංග ගත්තාය.
කෝසල ස්කෑන් එකට ඇතුලට ගොස් ඉද්දී එලියේ බංකුවක වාඩි වී හුන් සිසිමාධවී එතන වාඩි වී හුන් සරසවි යන්න බලන් උන්නු කෙල්ලන්ගේ කතා අහගෙන උන්නෙ එක්තරා ආසාවකින් මෙන්ම තවත් විටෙක දුකකින්.
ස්කෑන් එක ඉවර කල කෝසල එළියට ආවෙ ඒ එක්කමය.
“ඉවරද?” කියා සිසිමාධවී නැගිට්ටාය.
“රිපෝට් එක දෙනකම් ඩිංගක් ඉන්න කිව්වා”
“ඔයාට වැඩපලට යන්න පරක්කු වෙයි නේද?”
“ඒකනම් එහෙම තමයි, ඒත් මොනව කරන්නද?”
“තව ඩිංගක් බලල ඔයා යන්න, මම රිපෝට් එක ඉල්ලගෙන එන්නම්”
“එහෙම දේවිද?”
“නොදෙන්න හේතුවක් නෑනෙ, ඔයා යන්න කලින් මෙතන ඉන්න ඇටෙන්ඩන්ට්ට කියල යන්නකො, ඔයාට යන්න වෙන බව” කියා සිසිමාධවීත් කෝසලත් බලා උන්නද ස්කෑන් රිපෝට් දෙන්න තව වෙලා යන බව කිව් හන්දාම කෝසල ගිය පසුවත් සිසිමාධවී එහි රැඳී උන්නේ ආයෙ දවසක මෙහෙ බඩගා නාස්ති කරන්න වෙලාවක් කෝසලට නැති හන්දාමය. අනික මේ ලෙඩක් හැදී තියෙන වෙලාවක ඒවයෙ හේතු දැනගන්න ප්‍රමාද වෙන එකෙන් හොඳ ප්‍රතිපලයක් ලැබෙන්නෙ නැත.
“කෝසල සිරිමෙවන්” කියා රිපෝට් එකක් උස්සගත් නර්ස් කෙනෙකු අඬගහද්දි සිසිමාධවී නැගිට ගියාය. “මගෙ මහත්තය” කියා කිව් පසුව මදක් කල්පනා කර හෙදිය “මැඩම් පොඩ්ඩක් එන්න කිව්වා” කියා සිසිමාධවීට ඉස්සර වී ළය රෝහලේ එවෙලේ රාජකරියට අනුයුක්තව උන් වෛද්‍යවරියගේ කාමරයට පියමැන්නාය.
“කෝසල සිරිමෙවන් කියන්නෙ හස්බන්ඩ් ද?” කියා වෛද්‍යවරිය ඇසුවේ මෙතෙක් වේලා රිපෝට් එක මතම යොමාගෙන උන් දෙනෙත සිසිමාධවී වෙතා මාරුකරමිනි.
“ඔව් මැඩම්”
“කොහෙද එයා වැඩකරන්නෙ?”
“ඔටෝ සේල්ස් එකේ මැඩම්”
“මොකද්ද එතන කරන්නෙ?”
“ස්ප්‍රේ ප්‍රේන්ටර් කෙනෙක් මැඩම්” කියා සිසිමාධවී කිව් පසුව මොහොතක් සිසිමාධවී දෙස එක එල්ලේම බලා උන් වෛද්‍යවරිය කණ්ණාඩිය ගලවා මේසය මත තබා වඩා බරැති හැඟීමකින් දෙනෙත් යුග පුරවා ගත්තාය.
“මිසිස් සිරිමෙවන් මම මේ කියන දේ අහල කලබල වෙන්න එපා හරිද. ජීවිතේ අපි බලාපොරොත්තු නොවෙන මොහොතවල් අනන්තවත් එනවනෙ. මේත් එහෙම මොහොතක් කියල හිත හදාගන්න තමයි අපිට වෙන්නෙ” කියා ඇය කියද්දී ඒ කියන්නට යන කාරණාව කුමක් වුවත් එය හොඳක් විය නොහැකි බව හිතුන හන්දාම සිසිමාධවී දෙනෙතින් වැගිරුණ කඳුලකට කම්මුල් දිගේ ඔහේ ගලා යන්නට ඉඩ හැරියාය.
“කෝසලට තියෙන්නෙ ලන්ග් කැන්සර් එකක්. ස්ටේජ් ෆෝ. එයාගෙ ජොබ් එකේ හැටියට ඒ යූස් කරන පේන්ට් වල තියෙන එක එක රසායනික ද්‍රව්‍ය, සොල්වන්ට්ස් වගේ දේවල් දීර්ඝ කාලයක් තිස්සෙ පෙණහලුවලට ගියාම තමයි මේ තත්ත්වෙ ඇතිවෙන්නෙ. ස්ටේජ් ෆෝ කියන්නෙ එක ලන්ග් එකක ඇතිවෙච්ච ඒ කැන්සර් සෙල්ස් දැන් අනිත් ලන්ග් එකටත් ස්ප්‍රෙඩ් වෙලා තියෙන්නෙ. ලන්ග් එකට විතරක් නෙවෙයි ඒ වටේ තියෙන ෆ්ලුයිඩ් එක වගේම ඩිස්ටන්ට් ඕර්ගන්ස් වලටත්. මට හරි දුකයි මෙච්චර තරුණ වයසකදි මෙහෙම දෙයක් උනා කිව්වම. ඒත් අපි හිත හයිය කරගමු”

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles