“ඉඳල ඉඳල කෝසලටත් හරි ප්‍රශ්නයක්නෙ උනේ නේද?”
කෝසලගේ ගරාජයේ හිමිකරු ආවේ දහවල් වරුවේය. ඒ එද්දීත් කෝසල උන්නේ උදේ වරුවේම කැස්ස නිසා ආ ඇඟේ පතේ අමාරු නිවාගන්නට මෙන් නින්දකට වැටීය. ඇඟට හයියක් ගෙන දෙන කෑමක් උයා පිහා දෙන්නට තිබුණා නම් අපූරු බව සිසිමාධවී සිතුවද හොඳ තෝර මාලු ටිකක්, මස් ටිකක් අරගන්නට මුදලක් අතේ නැත. අනික් අතට කෝසල ඇඳට වැටී හිඳින වෙලාවේ තියෙන සල්ලි ටික ඉතුරුකරගන්නට ඕනය. ඉතින් දවල්ට හැදුණේ කෝසලගේ අම්මලාගේ ගෙදර වත්තේ වූ කොස් ගසකින් කඩා ගත් පොලොසකුත්, ගොටුකොල සම්බෝලයකුත්, කරවල බැදුමකුත් ය. මෙහෙම වෙලාවක එහෙමවත් දෙයක් හදාගන්නට පුලුවන් උන එක ලොකු දෙයක් බව සිසිමාධවී සිතුවාය.
“අනේ ඔව් සර්, මොනව කරන්නද කරුමෙ තමයි?”
“අනේ මන්ද ලමයො, මින් ඉස්සරත් ඉතින් අපි එක්ක ඔය රස්සාවම කල කී දෙනෙක් හිටියද? මෙහෙම දෙයක් වෙනව තියා අහන්නවත් වෙලා නෑනෙ. වෙලාව තමයි”
ලෝබකමට සල්ලි පොදිගහනවායැයි කෝසලලා නිතරම කිව්වද කුලරත්න මහත්මයා එවෙලෙ ඒ සියල්ල කිව්වේ හැබෑවටම මනුස්සකමෙන්ද, මේ වෙච්ච දේ ගැන වේදනාවෙන්ද බව සිසිමාධවී සිතුවාය.
“අපේ ඉතින් වෙලාවට ආව කරුමක්කාර ලෙඩක් සර්. නැත්තම් මේ කාල බීල ඇඳල කරල හිටපු රස්සාව් නතර කරන්න වෙන විදියෙ ලෙඩක් හැදෙන්නෙ නෑනෙ” කියා අපහසුවෙන් වචන ටික කටෙන් පිටකරගත්ත කෝසල ඒ වචන ගාණටම හරියන්නට මෙන් බොහෝ වෙලාවක් කැස්සාය. වතුර වීදුරුවෙන් උගුරක් දෙකක් බිව් කෝසල කැස්ස නිසාම ආ මහන්සිය මග හැරගන්නට මෙන් ඉද්දී විනාඩියක් පමණ කිසි කතාවක් නැතුව කෝසල දෙසම බල උන් කුලරත්න අනතුරුව සිසිමාධවී එක්ක කතාකරන්නට සිතුවේය.
“දැන් ඇත්තටම ඔය ළමය මොකද්ද කරන්න බලාපොරොත්තු වෙන්නෙ? ජීවත්වෙන්න විදියක් තියෙන්නත් එපාය. අනික දැන් බෙහෙත් හේත් වලටත් සෑහෙන වියදමක් කරන්න තියෙනවනෙ”
ඒ ප්‍රශ්නය අසා එයට පිළිතුරක් බලාපොරොත්තුවෙන් මෙන් කුලරත්න කෝසලගේත් සිසිමාධවීගෙත් මුහුණ මාරුවෙන් මාරුවට බලමිනි. එහෙත් කෝසල ලඟවත් සිසිමාධවී ලඟවත් ඒ ප්‍රශ්නයට උත්තරයක් තිබුණේ නැත. තිබුණේ ප්‍රශ්නයක් පමණකි. උත්තරයක් නොදන්නා ප්‍රස්නයකි.
“ඔන්න ඔය ළමය පිරිමි ළමේක් උනානම් හරි එහෙම නැත්තම් මේ කෝසලගෙ දරුවො කරදඬු උස් මහත් වෙච්ච ළමයි උනා නම් මොකක් හරි රස්සාවක් හදල හරි ගැරජ් එකේ දෙන්න තිබුණා. ගෑණුන්ට කරන්න පුලුවන් රස්සා මං ගාව නෑ. නැත්තම් මං මෙහෙම වෙලාවක උදව්වක් නොකර ඉන්නෙ නෑ. කෝකටත් මම බලන්න දන්න තැනක හරි මේ ළමයට ගිහින් කරන්න පුලුව මොකක් හරි රස්සාවක් තියෙනවද කියල” කියමින් කුලරත්න හිඳගෙන උන් පුටුවෙන් නැගිට්ටේය.
තේකක්වත් බොන්නට දෙන්නට බැරි වූ වග සිසිමාධවී ට මතක් වුණේත් එවෙලේය. ඔලුවෙ තියෙන කරදර හන්දාම සියලුම වැඩ රාජකාරි අමතක වී තිබේ.
“අනේ සර් බොන්න තේකක් දෙන්නවත් බැරි උනා. ඉන්න ඩිංගිත්තක් මං තේකක් හදාගෙන එන්නම්” කියා සිසිමාධවී කුස්සියට යන්නට තැනූ ගමන කුලරත්න නතර කලේය.
“එපා එපා මං මේ දවල්ට කෑව නොකෑවයින් ආවෙ. පස්සෙ වෙලාවක තේකක් බොන්න බැරිය. අනික මේ කරදර වෙලාවෙ තේ හදන්න ගෙදර තියන අඩුම කුඩුම නාස්ති කරගන්නෙ මොකටද? මෙතන තියෙනව කෝසලගෙ පහුගිය මාසෙ පඩිය. මම මේ මාසෙ ආව දවස් ගාණෙ පඩියත් එක්කහු කරා ළමයො. කෝසසෙනෙහස් අවාරේලට ආයෙ එන්න අමාරු බව මම දන්නවා. ඒත් ඉක්මනට සනීප වෙලා පුරුදු විදියට වැඩ ටික කරගන්න ඇහැක් වෙච්ච දවසක මම කෝසල දිහා නොබල ඉන්නෙ නෑ” කියමින් මුදල් පිරවූ ලියුම් කවරයක් සිසිමාධවී අත තබා කෝසලගෙන් ද සමුගත්තේය.
“ඒ මනුස්සය මතක් වෙලා ඇවිල්ල හරි සල්ලි ටික දුන්න එක කොච්චර දෙයක්ද නේද?” සිසිමාධවී කිව්වේ කෝසල දෙස බලාගෙනය. කෝසල උන්නේ අපරිමිත වේදනාවක් හිතේ පුරවාගෙනය. තමන්ට තවම වයස අවුරුදු තිස් එකකි. මෙලෙස පුටුවකට වැටී ලෙඩ ගානේ ඒ තරුණ විය ගෙවා දමන්නට අදහසක්වත් හැකියාවක්වත් නොවූ තැනක මෙහෙම ඉන්නට වීම කෙතරම් වේදනාවක්ද කියා සිසිමාධවී ට තේරුම් කරවන්නට තමාට නොහැකි බව කෝසල සිතුවේය.
“වැඩ කරපු ඒවයි සල්ලි ඔහොම හරි හම්බුණා.ඉස්සරහට අපිට කොහෙන්ද සල්ලි හම්බුවෙන්නෙ කියල මම කල්පනා කලේ මධූ” හඬන්නට මෙන් කෝසල කියද්දී ඔහු බදා වැළඳගෙන දෙදෙනා එක්ව එකට හඬන්නට තිබුණා නම් මේ හිත නිදහස් කරගන්නට තිබුණා නොවේද කියා සිසිමාධවී සිතුවාය. එහෙත් මේ හදවතින් කොතෙක් හැඬුවද මතුපිටින් ශක්තිමත්ව හිඳිය යුතු කාලයකි. තමන් හයිය බව ලෝකයට මෙන්ම කෝසලටද පෙන්වාලිය යුතු කාලයකි. තමන්ගේ ඇහෙන් වැටෙන එක කඳුලක් පවා ශරීරයෙන් අඩපණව හිඳින කෝසලව මානසිකවද අඩපණ කරන්නට හේතුවක් වන බව සිසිමාධවී දනී. ඉතින් කලයුතු හොඳම දේ ඒ කඳුලු කිසිවෙකුට නොපෙනෙන ලෙස හිතේ පතුලේම සිරකර තැබීමය.
“ඔයා දැන් ඒව ගැන හිතල මහන්සි වෙන්න එපා මහත්තයො. ඔයා මෙච්චර කාලයක් අපි වෙනුවෙන් නැහුණනෙ. දැන් මට පුලුවන් වෙන්න ඕන නේද ඔයාවයි දරුවො දෙන්නවයි බලාගන්න?”
“ඔයා කොහොමද මධූ පවුලක බර කරට ගන්නෙ? මට දරාගන්න අමාරු රාජ කුමාරිකාව වගේ සැප විඳින්න තිබුණ ජීවිතේ මං හින්ද නැති කරගෙන ඇවිල්ල ඔයා දුක් විඳින එක ගැන මධූ”
“ආයෙ ඔය කතාව කියන්න එපා. මට රාජ කුමාරිකාව වෙන්න ඕන නෑ. මට ඕන උනේ මැරෙනතුරා ඔයා ලඟ ඉන්න. මෙහෙම කරදරද මිනිස්සුන්ට වෙන්නෙ රත්තරං? මොන ප්‍රස්නෙ ආවත් අපිට අපි ඉන්නව තාම. හැමදාම. ඒකම කොච්චර වටිනවද? එහෙම එකේ ඔයා මේ මං විඳින දුකක් ගැන හිතල තව හිතෙන් වැටෙන්න එපා. ඔයා දැන් සම්පූර්ණ හිතන්න ඉක්මනට සනීප වෙන්න කියල. මට කරන දෙයක් කරන්න වෙන්නෙ ඔයා ආයෙ සනීප වෙනකං විතරනෙ රත්තරනේ.ඔයා ඔහොම දුකෙන් ඉන්න එපා. මට ඔක්කොටම වඩා දරාගන්න අමාරු ඒක”
ඇහෙන් කඳුලක් වැටෙන්න ඔන්න මෙන්න කියා තිබියදී සිසිමාධවී මෙතෙක් වේලා කෝසල ලඟ වාඩි වී හුන් තැනින් නැගිට්ටාය.
තමාට ඉස්සර මෙන් තවදුරටත් ගෙදරට වී හිඳින්නට බැරිබව සිසිමාධවී දනී. ඉතින් හොඳම දේ ස්තිර දෙයක් කරන්නට පෙර මේ මොහොතේ වැටී හිඳින වලෙන් ගොඩ එනු පිණිස ඉක්මන් මාර්ගයක් සොයා ගැනීමය.
“ඔයාට බත් බෙදල දෙන්නද?” සිසිමාධවී හැඳ පැළඳගෙන විත් අහද්දීත් කෝසල උන්නේ හිඳගෙන උන් තැනම හිඳ දහවලේ ගිනි අව්වට පිච්චෙන ගස් කොලං දෙස හිස් බැල්මකින් බලමිනි. ජීවිතය තිබෙන්නේත් අනපේක්ෂිත වැටුණු එවන් දැඩි හිරු රැස් කැරැල්ලකින් පිච්චෙමින් නොවේද කියාත් කෝසල සිතුවේය. ඒ පිච්චීමෙ වඩාත් දැවෙන්නේ තමාටත් වඩා සිසිමාධවී නොවේද කියා කෝසල සිතුවේය. සිසිමාධවීව පන්නාගෙන එද්දී ගෙදරදී ඇය ලද සැප සම්පත් වලින් අරික්කාලක්වත් දෙන්නට තමාට නොහැකි බව දැන උන්නද දෑත දෙපයේ වීරියෙන් කුමක් හෝ කර දෙන්නට හැකි උපරිම සැප දෙන්නට තමා කටයුතු කලා නොවේද? ඒ වූ කලී පිරිමියෙකුට දරාගන්නට අපහසු හැඟීමකි.
“ඔයා කොහෙ හරි යන්නද මධූ?” කෝසල ඇසුවේ කවදාවත් නැතුව ඇය මේ දහවලේ එලියට යන්නට මෙන් සැරසී හිඳිනු දැකය.
“වියහියදම් ටික බලාගන්නත් විදියක් තියෙන්න ඕනනෙ කෝසල. මම ගිහින් බලන්න කියල හැදුවෙ අර පීරිස් ලගෙ ගෙවල් ලඟ මොන්ටිසෝරිය අතුපතු ගාන්න ගෑණු කෙනෙක්ව හොයනව කිව්වනෙ. අන්න ඒ ගැන. උදේට ගිහිල්ල අස් කරල මට දරුවො දෙන්න ගෙදෙට්ට එන්න කලින් එන්නත් පුලුවන්. අනික මේ පයින් යන දුර නෙ”
වෙන දිනයක වූවානම් ඒ ගමන වලක්වාලන්නට හැකියාව තිබුණද තමාට අද එය කරන්නට අවශ්‍ය ශාරීරික හෝ මානසික ශක්තිය නොමැති බව කෝසල නොදන්නවා නොවේ. මුණිවත රැකුණේ ඒ හන්දාමය.
සිසිමාධවී වඩාත් දොඩමලු වූයේ ඒ නිහඬතාවය නිසාමය.
“ඔයා ඒක ගැන ඒ හැටි හිත කරදර කරගන්න එපා හොඳේ? හැමදාටම මං මෙහෙම වැඩකට යන්න ඉන්නව නෙවෙයිනෙ. ඔයා සනීප වෙනකං විතරනෙ. අනික හැමදාම ගියත් මොකෝ නේද? ළමයි උස්මහත් වෙද්දි වියදම් වැඩිවෙන එකේ ඔයා කියල කවද වෙනකම් තනියෙම මේ බර අදින්නද? මම හරි වැරදියි මෙච්චර කාලයක්වත් මෙහෙම ඔයාට තනියෙන් ඔක්කොම බර අදින්න දීල ගෙදෙට්ට වෙලා හිටපු එක. ඒකෙන් කමක් නෑ දැන්. ඔයා මේව ගැනත් හිතල තව හිත වට්ට ගන්න එපා. මම බත් එක බෙදල මේසෙ උඩ තිබ්බ. කන්න හොඳේ. නොකා ඉන්න එපා. ඉක්මනට කාලා බෙහෙත් බීල ඉක්මනට සනීප උනාම ඔයාගෙ මධූට ආයෙ ගෙදර ඉන්න පුලුවන්. මං දුකක් විඳිනව කියල හිතල හිත රිද්දගන්න එපා හොඳේ මහත්තයො? ඔයා සනීප වෙනකම් විතරනෙ” කියා සිසිමාධවී අව්වේම නික්මුණාය. ගෙදර දොර අද්දර හිටගෙන ගිනි අව්වේ පිච්චි පිච්චී බිඳෙන් බිඳ මැකී යන සිසිමාධවී ගේ රුව දෙස බලාගෙන කල්පනා කරන්නට බොහෝ දේ කෝසලට තිබුණද හිත නිරත්තරයෙන් කියූ එකම එක කාරණාවක් ඒ සිතුවිලි සියල්ල යටපත් කරගෙන උන්නේය.
“මට කවදාවත් සනීප වෙන එකක් නෑ කියල මට හිතෙනව මධූ” යන ඒ සිතුවිල්ල
දෙතොලින් එලියට නොආවද හදවතින් පැන නැගී මුලු ආත්මයම බියපත් කරමින් විහිද යන්නට විය.